එන්නත් ‘කුලප්පුවෙන්’ කෝටි 36ක පාඩුවක්

64

බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලට භාවිත කරනු ලබන (Meropenem Injection) නමැති ඖෂධය ප්‍රමාණවත් පරිදි රෝහල් පද්ධතියේ හෝ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදී මෙකී ඖෂධයෙන් එන්නත් කුප්පි හාරලක්‍ෂ පනස් දහසක් (450,000ක්) හදිසි මිලදී ගැනීම යටතේ වැඩි මිලට මිලදී ගැනීම නිසා රජයට රුපියල් තිස්හයකෝටි අසූනව ලක්ෂ පනස්පන්දහසක (368,955,000) පාඩුවක් සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී එන්නත් කුප්පියක් සාමාන්‍ය ඇණවුම් යටතේ රුපියල් 1075.60ක මිලකට මිලදී ගත හැකිව තිබිය දී හදිසි මිලදී ගැනීම යටතේ එන්නත් කුප්පියක් රුපියල් 1895.50ක මුදලකට මිල දී ගෙන තිබුණි. මෙකී එන්නත් තොගය හදිසි මිලදී ගැනීම යටතේ ඇණවුම් කිරීමේ දී සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව මගින් 2022 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා වන විට කිසිදු තොගයක් නොමැති බව සඳහන් කර තිබුණි. එහෙත් 2022 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා වන විටත් එන්නත් කුප්පි 488,590කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ හෝ රෝහල් පද්ධතියේ පැවැති බව විගණනය මගින් අනාවරණය කර තිබුණි. මේ හේතුවෙන් මෙම ඖෂධය හදිසි මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී සැපයුම්කරු විසින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ලැබී සති දෙකකදී ඖෂධ සැපයීමට එකඟ වුවත් ඖෂධ සැපයිය යුතු දිනයේ සිට දින 06ක් හා දින 41ක ප්‍රමාද කාලයකින් ඖෂධ සපයා තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment