කටුනායකට ආ යානා 4ක් දැඩි මීදුම නිසා මත්තලට හා ත්‍රිවේන්ද්‍රම් වෙත යවයි

44

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ඊයේ (07) අලුයම පැවති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් එහි ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක නියමුවන්ට කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා එම යානා මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළවල් වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

ඒ අනුව ඊයේ අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට ඊයේ අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.-730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් වෙත හරවා යවා තිබුණි.

මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙත ඉන්ධන ලබා දී තිබූ අතර එම යානාවල පැමිණි ගුවන් මගීන් පිටතට බස්සවා නොතිබුණි.

කෙසේ වෙතත් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ සියලුම ගුවන් යානා ඊයේ උදෑසන 09.00 පමණ වනවිට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේම ඊයේ උදෑසන 07.00 පමණ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවැති මීදුම් තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර ඉන්පසුව පැමිණි සියලුම ගුවන් යානා ආපසු හරවා යැවීමකින් තොරව සාමාන්‍ය පරිදි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

කටුනායක ටී.කේ.ජී. කපිල


advertistmentadvertistment