කර්මයෙන් වන අපල ධර්මයෙන් පිටුදකිමු

718

මෙලොව වසන සැමටම සුබ අසුබ දෙකම බලපායි. මෙහි සුබ, සපල ලෙසින් ද, අසුබ, අපල ලෙසින් ද අර්ථ දක්වා තිබේ.

මෙම අපල

  1. උප්පත්තියෙන්ම බලපාන අපල
  2. ගෝචර ඵල වශයෙන් බලපාන අපල යනුවෙන් දෙයාකාරයි.

අප මෙහිදී විග්‍රහ කරනු ලබන්නේ අපල සම්බන්ධවයි. අපල යනු ගිය ආත්ම භවයන්හිදී සහ මේ ආත්මයේදී කරන අසුබ, අයහපත් කටයුතුවල අස්වැන්න වේ. ක්‍රියාවකට ප්‍රතිඵලයක් සේ මේ අසුබ ඵල අපට ඇතිවේ. ඒ අනුව අපලවලට බලපාන්නේ කර්මයයි. සියලුම විiාවන්ගෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේ නිතර මෙනෙහි කළ යුතු කරුණු 5 ක් දේශනා කර ඇත. එහි සඳහන් පස්වැනි කරුණ මෙසේය.

“කම්මස්සකොම්හි කම්මදායාදෝ
කම්මයෝනි කම්මබන්ධු කම්ම පටිසරණො
යං කම්මං කරිස්සාමි
කල්‍යාණං වා පාපකංවා
තස්ස දායාදෝ බවිස්සාමිතී
අභිණ්හං පච්ච වෙබ්බිතබ්බං
ඉත්ථියා වා පුරිසේන වා
ගහට්ඨේන වා පබ්බජිතේන වා”

මෙහි තේරුම මෙසේය.

මෙම කර්මය අයත් කොට ඇත්තෙමි. කර්මය උරුම කොට ඇත්තෙමි. කර්මය සුවදුක් ලැබීමේ හේතුව කොට ඇත්තෙමි. කර්මය නෑකොට ඇත්තෙමි. කර්මය පිහිට කොට ඇත්තෙමි. මේ බව ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුයි.

මෙයින් අපට වැටහෙන්නේ අපල සපල ජීවිතයට දායාදවීම කර්මය මූලික කොට සිදුවන බව බුදු දහමේ සඳහන් වන බවයි.

පෙර ආත්මවලදී කරන ලද කර්මය අනුව අපල ඇතිවන බව, ලෙඩ රෝග ඇතිවන බව බටහිර ලෝකයට කාවැදුණේ ඇමරිකානු ගත්කතුවරයකු වන ජිනා සෙර්මිනාරා විසින් ලියන ලද “මෙනි මෙන්ෂන්ස්” නමැති කෘතිය නිසයි. එහි බෞද්ධයකු නොවන එඩ්ගා කේශි නමැති ඇමරිකානුවා ස්වයං මෝහනයට පත්වී යෝගී ඥානයකට සමාන ඥානයකින් රෝගීන්ගේ ලෙඩට හේතුව පිළිබඳ කර්මය ආශ්‍රයෙන් විග්‍රහ කර, ඒ හේතුව නැති කළ පසු රෝගීන් සුවපත් වූහ. සමහර රෝග සුවපත් කිරීමට බැරි බව කී එඩ්ගා කේසි ඊට හේතු වන කර්මය ආශ්‍රිත හේතුව ද විග්‍රහ කළේය.

ජිනා සෙර්මිනාරා මේ වාර්තා එකතුව මෙනි මෙන්ෂන්ස් යනුවෙන් පළකළ අතර මෙහි සිංහල පරිවර්තනය “සංසාර මන්දිර” යනුවෙන් කන්නිමහර සුමංගල හිමියන් විසින් පරිවර්තනය කර ඉදිරිපත් කර තිබේ. මෙහි මෙන්ෂන්ස් යන වචනයේ පරිවර්තනය “නේක මන්දිර” විය යුතු නමුත් “සංසාර මන්දිර” යන නාමයෙන් ඊට වඩා ගැඹුරු පණිවිඩයක් අපට කියයි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන විට තෝදෙයිය බ්‍රාහ්මණයාගේ පුතා වන සුබ මානවකයා විසින් අසන ලද ප්‍රහ්නවලට පිළිතුරු වශයෙන් “චූලකම්ම විභංග’ සූත්‍රය දේශනා කරන ලදී. එහිදී මිනිසුන් දුප්පතුන් වීමට හා ධනවතුන් වීමට, අවලස්සන වීමට හා ලස්සන වීමට දීර්ඝායුෂ වීමට හා මන්දායුෂ වීමට, රෝගීන් වීමට හා නිරෝගී අය වීමට වැනි විවිධ අවස්ථාවන් යටතේ උපත ලැබීමට හේතුව කර්මය ලෙස දේශනා කළ සේක. එහි විසිවන ඡේදයේ මෙසේ කියයි.

“සත්ත්වයෝ තමන්ගේ කර්මයේ අයිතිකරවෝ වෙති. එහි උරුමකරුවෝ වෙති. ඔවුන් උපත ලබන්නේ එහි ප්‍රතිඵල වශයෙනි. ඔවූහු තමන්ගේ ක්‍රියා සමඟ බැදී සිටිති. තම ක්‍රියා ස්වකීය සරණ ලෙස පවත්වා ගනී. සත්ත්වයන් උසස් හෝ පහත් වන්නේ කර්මයේ ප්‍රතිඵලයක් ලෙසිනි.”

ජ්‍යොතිෂයේ අපල ලෙස හඳුන්වන්නේ ඉහත සඳහන් කර්මවල ප්‍රතිඵලයක් ලෙසිනි.

මූලික උපත පමණක් නොව ජීවන ගමනේ වරින් වර ඇතිවන ප්‍රතිඵල ද කර්මය හා බැදී ඇති බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් හෙළිවේ. මුගලන් හිමි, අංගුලිමාල හිමි රහත්ව සිටියදීත් පෙර කළ කර්ම විපාක දී ඇත. සොරුන්ගේ පහරදීමෙන් මුගලන් හිමියන් පිරිනිවන් පෑ අතර අංගුලිමාල රහතන් වහන්සේ පිණ්ඩපාත වඩින විට ගල් පහරවල් වැදී ලේ ගලන තුවාල සහිතව ආපසු විහාරයට වැඩි බව හෙළිවේ.

ධම්මපදයේ කියැවෙන ලෙස අහසේ හෝ මුහුද මැද හෝ පර්වත ගුවාහක හෝ සැඟවී සිටියත් පාපකර්ම හෙවත් අපලවලින් මිදිය නොහැක. බුදු සසුනේ ශ්‍රාවකයන් වන චක්ඛුපාල මහ රහතන් වහන්සේගේ ඇස් අන්ධ වූයේ පූර්ව කර්මයක් නිසාය. පූතිගත්ථතිස්ස හිමිගේ සිරුර කුණුවී දුඟද හැමුවේ පෙර කර්මය නිසාය. ජීවිත කාලය පුරාම කුස පුරා ආහාරයක් නොලද ලෝසක තිස්ස හිමියන්ට හරිහැටි දානයක් නොලැබුණේ පෙර කර්මයක් නිසාය.

බුදු සසුනේ සිටි ශ්‍රාවකයන්ට පමණක් නොව බුදුරජාණන් වහන්සේට ද කර්මය බලපෑ බව උන්වහන්සේම දේශනා කර ඇත. උන්වහන්සේ නිතර හිස රුදාවකින් පෙළුණි. එසේ වීමට හේතුව පෙර ආත්මයකදී ධීවර කුලයක උපත ලබා දරුවකුව සිටියදී ගොඩගසන ලද වේදනාවෙන් උඩ පනින මාළුවන් දැක සතුටට පත්වූ නිසාය. උන්වහන්සේගේ කොන්ද රුදාව ඇතිවීමට හේතුව පෙර භවයක මල්ලව නම් යෝධයා සමඟ කල මල්ලව පොරයකදී එම යෝධයාගේ කොන්ද බිම ඇන මහත් වේදනාවට පත්කළ නිසාය. ඒ අවසන් කාලයේදී ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවීමට හේතුව පෙර භවයක වෛiවරයකු වශයෙන් සිට වංචාකාරීව සිටුවරයකුට ප්‍රතිකාර කිරීමේදී විෂ ද්‍රව්‍යයක් දීම නිසාය.

ඉහත සඳහන් සියල්ලම පෙර කර්ම පල වශයෙන් පැමිණ ජ්‍යෙතිෂයේ අපල වශයෙන් අපට පෙනේ.

උප්පත්තියෙන් ඇතිවන දේ පමණක් නොව දශා ක්‍රමය අනුව, ප්‍රගමණය අනුව, ගෝචර ඵල අනුව, යම් යම් අවස්ථාවල ඇතිවන කරුණු ද ජ්‍යොතිෂයේ න්‍යායන් අනුව සිදුවන බව අපදාන පාලියේ සඳහන්ව තිබේ.

බුදුරජාණන් වහන්සේ සයවසරක් දුෂ්කර ක්‍රියා කිරීමට හේතු වූ අපලය කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් පෙර කාලයේදී ඇතිවූ සිදුවීමක ප්‍රතිඵලයක් බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබේ. උන්වහන්සේ ජෝතිපාල නමින් බමුණු කුමරකුව ඉපිද තාවකාලිකව මිත්‍යාදෘෂ්ටිකයකුව සිටි නිසා එහි ප්‍රතිඵලයක් ලෙස සයවසරක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවිය. උන්වහන්සේ දොළොස්වන වස් කාලයේ වේරංජා පුරයේ ගතකරන විට උදය නමැති බ්‍රාහ්මණයකුගේ දානමානාදිය ලැබීමට නියමිතව තිබුණත් ඒ ආරාධනාව බමුණාට අමතක වීම නිසා මාස තුනක කාලයක් අශ්වයන්ගේ ආහාරයට සුදුසු යවහාල් වළඳමින් සිටීමට හේතුව ඵුස්ස බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දානය සම්බන්ධයෙන් දොස් පැවරීමක් නිසා බව කියැවේ. උන්වහන්සේ සුන්දරී පරිබ්‍රාජිකාව වෙතින් අපහාස විඳීමට හේතුව සරභු බුදුරජාණන් වහන්සේ කාලයේදී මුනාලි නමින් පුරුෂයකුව ඉපිද උන්වහන්සේට අපහාස කිරීම නිසා බව සඳහන් වේ.

මේ සියලුම කරුණු අනුව පෙනී යන්නේ ඔබට යෙදෙන ග්‍රහ අපල යනු සංසාරගතව අපි කළ අසුබ ක්‍රියාවල ප්‍රතිඵලයක් බවයි. එසේ නැතිනම් මේ ආත්මයේදී අප විසින් සිදුකරන අසුබ ක්‍රියාවල ප්‍රතිඵලයක් බවයි. හැකිතරම් දැහැමි ලෙස ජීවත්වීමෙන් සිත ධනාත්මකව අවදි කර ගැනීමෙන් මේ අපල තනුක කර ගැනීමට පුළුවන. එසේත් නැතිනම් එහි ඇති රෞද්‍රභාවය අඩුකර ගැනීමට පුළුවන. සාන්ද්‍ර අම්ලයකට ජලය එක්කළ විට ඒ අම්ලයේ ඇති ඛාදන ස්වභාවය අඩුවී යයි. තිත්ත කෂායකට සීනි හෝ මී පැණි මිශ්‍ර කළ විට එහි ඇති දැඩි තිත්ත ගතිය අඩුව පානය කිරීමට හැකි ඖෂධීය පානයක් ලෙස සකස් වේ. මෙහි ජලය හෝ සීනි හෝ මී පැණි වන්නේ ඔබ මේ ආත්මයේදී ජීවත්වන දැහැමි රටාවයි.

කර්මයෙන් වන අපල ධර්මයෙන් පිටුදකිමු

හේළි සරත් රාජකරුණා
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment