විවාහය ප්‍රමාද හා ඉටුනොවීමට ජ්‍යොතිෂයේ වන බලපෑම මෙහෙමයි

565

වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍ය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කල යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලබෙන විවාහය මිනිස් ජීවිතයේ අතිශයින් වැදගත් සාධකයකි. එබැවින් සාර්ථක විවාහයක් සඳහා ස්ත්‍රියක හා පුරුෂයෙකු ගැලපීමේදී ඔවුන්ගේ කේන්ද්‍ර තුළ ඇති ග්‍රහ ගැලපීම් නොගැලපීම් දෙස දැඩි අවධානය යොමු කිරීම උගත් වැදගත් ජ්‍යොතිෂවේදීයාගේ මහඟු යුතුකමකි. පොරොන්දමට පමණක් සීමාවී ග්‍රහ ගැලපීම් නොබැලීම තුළ අද වන විට ලංකාවේ දික්කසාද පෝලිම දිනෙන් දින දිගු වෙමින් පවතී.

විවාහය වනාහි ආත්මීය බැඳීමකි. සංසාරගත බැඳීමක සොඳුරු ඵලය විවාහයයි… විවාහය ආත්ම හතක බැඳීමක් බව හින්දුන්ගේ මතයයි. ආත්ම ගණනාවක් පාරමී දම් පුරමින් එකට එන සිදුහත් යශෝදරා විවාහය සසර දුකින් අත් මිදෙන අවසන් භවය තෙක්ම එකිනෙකා පතාගෙන ආ සොඳුරු බැඳීමකි. එය ගෞරවයෙන් සිහිකළ යුතුය.

මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු පුද්ගලයාගේ දෙවන උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපතද රැඳී ඇත්තේ විවාහය තුළයි. කෙනෙකුට විවාහය කරුමයකි. තවත් කෙනෙකුට විවාහය රාජ උරුමයකි. එසේම සාර්ථක පුරුෂයකු පිටුපස යහපත් ස්ත්‍රියක් සිටිනවා සේම සාර්ථක ගැහැනියක් පසුපස යහපත් පුරුෂයකු ද සිටිය යුතුය.

කෙනෙකුගේ විවාහය නිසි කලට නිසි ලෙසට නිසි වයසටම සිදු වෙනවා. විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. සියලු දේ ලැබෙනවා ඔවුන් සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. විවාහයෙන් පසුව ටිකෙන් ටික දියුණුව සැලසෙනවා. වාසනාවන්ත දරු සම්පත් ලබනවා. ඒත් තව කෙනෙකුගේ විවාහයේ මේ කිසිවක් නෑ. නිසි වයසත් ටිකෙන් ටික ගෙවිලා යනවා. රූපයෙන් අඩුවකුත් නෑ. දේපළ රැකියාව වැනි දේත් සම්පූර්ණයි. නමුත් විවාහ වාසනාව තවම ලැබී නැහැ. නමුත් අර සියල්ල නැති අයත් ඉක්මනින් විවාහ වෙලා නේද?

මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවි තිබෙනවා. ඒක හරිම පුදුම සහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඉසිවරු අතට පත් කරන්නට ඇත්තේද යහපත් මිනිස් සමාජයක් ගොඩ නැගීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල් වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතුවයි. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය තුළටද අපට මේ ජ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහා ගත හැකියි. අප විසින් පෙර භවයේ සිදුකරන ලද කිසියම් අකුසල කර්මයක එල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල් වීමට, බිඳ වැටීමට හෝ ප්‍රමාදයකට මුහුණ දීමට, උරුම නම් එකී කාරණා කල් වේලා ඇතිව දැන ගැනීමටත් එයට නිසි පිළියම් යෙදීමටත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමාගේ ජන්ම පත්‍රයයි.

එය පලපුරුදු උගත් පින්වත් මුදල් මතම නොයැපෙන ජ්‍යොතිෂවේදියෙකුගෙන් විග්‍රහ කර ගැනීම තුළ විවාහයක ආත්මගතවූත් සංසාරගතවූත් බැඳීම එකිනෙකාට ඇති හුරුපුරුදු බව මනා ලෙස හඳුනා ගත හැකියි. කර්ම චක්‍රය උපතේදීම සටහන්ව ඇති ජන්ම පත්‍ර පරීක්ෂාව මගින්ද යහපත් විවාහ දිවියක් ගත කිරීම සඳහා දෙදෙනා අතර සංසාරික හුරු පුරුදු බවක් පැවතීම විවාහක යුවලගේ හෝ විවාහ වීමට අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍රවල ඇති ගැලපීම් නොගැලපීම් මගින් දෙදෙනාගේ ආත්මීය හුරු පුරුදු බවද අනාවරණය කර ගත හැකිය.

එසේ නම් විවාහ ප්‍රමාද වීම්, විවාහ ගැටලු, දික්කසාද, වැනි විවාහ බිඳ වැටීම් වන්නේ ඇයි?

ඒකට මෙන්න මේ වගේ විවාහ දෝෂ රාශියක් බලපානවා

● 7 අධිපති හෝ සිකුරු 22 වන දෙර්කාණාධිපති වීම

● භෞම දෝෂය – ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1 2 4 7 8 12 යන ස්ථානවල කුජ ග්‍රහයා සිටීම.

● බේමඥම දෝෂය

● විෂ කන්‍යා යෝගය

● කඩහන්දි යෝගය

● වෛවධ්‍ය දෝෂය

● ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මාර යෝග

● පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මාර යෝග

● නාශාංශක දෝෂය

● අති ධාවන කාම යෝග

● බහු විවාහ දෝෂ

● සිකුරු 7 අධිපති පාපකර්තරී වීම

● සිකුරු 7 අධිපති 64 වන නවාංශකාධිපති වීම

● වඳ දෝෂ

● 07-08 පරිවර්තන යෝගය

● 07 අධිපති 8 වැන්නේ සිටීම

● විවාහ කාරක සිකුරු /7 අධිපති 6 8 12 රාශි ගත වීම

● ශනි මංගල යෝගය -සෙනසුරු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම

● චන්ද්‍ර මංගල යෝගය – සඳු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම

ඒ අතරින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහ කාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතුරින් 22 වන දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ඡන්ම පත්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා යනු ඉතාමත් අශුභවාදී ග්‍රහයා ලෙස සැලකේ. ඒ අනුව යම් ඡන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයකු එම කේන්ද්‍රයේ ඉහත 22 වන දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථානවලට දැඩි බාධාකාරි බලපෑම් එල්ල වෙයි. විවාහ ස්ථාන වන 7 වැන්න හා සම්බන්ධ වූ විට එම විවාහ පලවලට එල්ල වන බලපෑම් පහත කේන්දර අනුසාරයෙන් සාකච්ඡා කරමු.

මෙම 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා විවාහ ස්ථානය වන 7 වැන්නේ තැන්පත් වීම 7 අධිපති වීම 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෝ 7 වැන්නා සමග යෝග වීම හා කුමන ආකාරයෙන් හෝ විවාහ ස්ථාන හා සම්බන්ධ වීම මේ සඳහා මූලික වෙයි.

මෙසේ තමන්ගේ කේන්ද්‍රය තුළ 22 දෙර්කාණාධිපති ග්‍රහයා විවාහයට අසුභ ආකාරයට පිහිටා විවාහය දෙදරාගිය අවස්ථා මෙන්ම විවාහ දිවියට ඇතුළු වීමට වාසනාව නොලද අවස්ථාද අප වෙත පැමිණෙන සේවාදායකයන්ගේ කේන්ද්‍ර පරීක්‍ෂාවේදී බොහෝ ප්‍රමාණයක් හමු වී ඇත. පහත දැක්වෙන්නේ එයින් එක් සත්‍ය සිදුවීමක් ආශ්‍රය කොට ගනිමින් ගොඩ නැඟූ උදාහරණයකි.

විවාහය ප්‍රමාද හා ඉටුනොවීමට ජ්‍යොතිෂයේ වන බලපෑම මෙහෙමයි

ඉහත මෙම කේන්ද්‍ර හිමි ස්ත්‍රී පුරුෂ දෙපළ 2010 අගෝස්තු මාසයේදී විවාහ මංගල යෝජනාවක් අනුව විවාහයට එළඹිණි. මෙහි පුරුෂ කේන්ද්‍රයේ වෘශ්චික ලග්නය තුලා නවාංශකයයි. එහි 22 වන දෙර්කාණාධිපතියා වූයේ 7 අධිපති සිකුරු ග්‍රහයායි. එම සිකුරු මෙම කේන්ද්‍රයේ ස්වක්ෂේත්‍ර බල සහිතව තැන්පත්ය. සිකුරු 7 වැන්නේ සිටීම බැලූ බැල්මට ප්‍රබලය. නමුත් 22 වන දෙර්කාණාධිපතියා වීම හේතු කොට ගෙන එම සිකුරුගේ බල බිඳී ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇත.

ස්ත්‍රී කේන්ද්‍රයේ කටක ලග්නය කටක නවාංශකයයි. එහි 22 වන දෙර්කාණාධිපතියා වූයේ 7 වැන්න අධිපති ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාය. එම සෙනසුරු මෙම ස්ත්‍රී කේන්ද්‍රයේ බලගතුව සිව්වැන්නේ සිටී. ඒ අනුව මෙම යුවලගේ 7 අධිපතියා වූයේ සිකුරු හා සෙනසුරු වන 22 වන දෙර්කාණාධිපතියන්ය. ස්ත්‍රී කේන්ද්‍රයේ ද ශනි උච්ච බල සහිතව සිටී.

මීට අමතරව පුරුෂ කේන්ද්‍රයේ සිකුරු 12 වැන්නාධිපතියා වැය ස්ඨානාධිපති වෙයි. ස්ත්‍රී කේන්ද්‍රයේ 8 වැන්නාධිපති හෙවත් මාරක ස්ථානාධිපති ද වෙයි. මෙම දෙපළගේ නැකැත් අනුව (දෙට හා රේවතී) පොරොන්දම් බැලීමේදී 75% ශුභ තත්ත්වයේ විය. ඒ අනුව ඔවුන් විවාහ වූ අතර විවාහයෙන් 7 මසක් ගත වීමට පෙර විවාහයේ විවිධ ගැටලු ඇති වන්නට විය. දෙදෙනා අතර විටින් විට බහින්බස් වීම් ද ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වර්ෂයේ නොවැම්බර් මාසයේදි මෙම දෙදෙනා විවාහයෙන් වෙන් විය. එම වෙන්වීම සිදුවන නොවැම්බර් මාසය වන විට මෙම දෙදෙනාගේ මහ දශා/අතුරු දශා/විදශා පිළිබඳ අවධානය යොමු කිරීමේදි පුරුෂ කේන්ද්‍රයේ රාහු මහ දශාවේ ශනි අතුරු දශාවේ සිකුරු විදශාව පැවති අතර ස්ත්‍රි කේන්ද්‍රයේ කුජ මහ දශාවේ හා ශනි අතුරු දශාවේ ශනි (සෙනසුරු) විදශාව පැවතියේය.

මීට අමතරව දෙදෙනාගේම ග්‍රහ ගෝචරය (ග්‍රහ ගමන) 2012.11.25 වන විට කාලසර්ප යෝගය පැවති අතර ස්ත්‍රී කේන්ද්‍රයේ 64 නවාංශකාධිපතියා ද සෙනසුරු විය.

මේ අනුව ඉහත සඳහන් කරුණු සලකා බැලීමේදි අපට නිගමනය කළ හැකි ඉතාම පැහැදිලි සාධකය වන්නේ මෙම යුවලගේ විවාහය කඩාබිඳ දැමීමට මෙම 22 වන දෙර්කාණාධිපතියා ඉතා ප්‍රබල ලෙස දායක වී ඇති බවයි.

කිසියම් ජ්‍යොතිෂවේදියකු විසින් කිසිදු ශාස්ත්‍රීය කරුණු සොයාබැලීමකින් තොරව ඉතා අපරීක්‍ෂාකාරී ලෙස ග්‍රහ ගැලපීම් හා මෙම 22 වන දෙර්කාණාධිපති තත්ත්වයන් නොසලකා හරිමින් ඊනියා පොරොන්දමට පමණක් සීමා වෙමින් මෙම විවාහයට උපදෙස් දීම තුළ අද එම යුවල පමණක් නොව දෙමාපියන්ද දැඩිපීඩාකාරී තත්ත්වයටත් අසහනයටත් මානසික බිඳ වැටීමටත් විශාල ලෙස ධනය විනාශ වීමටත් ලක්ව දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇත.

ඒ අනුව ඉතා පැහැදිලි ලෙස පැවසිය හැක්කේ ජන්ම පත්‍රයක 22 වන දෙර්කාණාධිපතියා කිසියම් භාවයක සිටී නම් එම භාවයට අදාළ කරුණුවලට දැඩි බලපෑමක් එල්ල කිරීමේ අවදානමක් ඇති බවයි. මීට අමතරව එම 22 වන දෙර්කාණාධිපතියාගේ මහ දශා/අතුරු දශා/විදශා ඉතාම අපලකාරී බව අපට ඉහත උදාහරණයෙන් නිගමනය කළ හැකිය. එම 22 වන දෙර්කාණාධිපතියාගෙන් කියවෙන සියලු කරුණු සඳහා දැඩි බාධා හා බලපෑම් ඇතිවේ.

ඉහත දැක්වූ ජන්ම පත්‍ර හිමි යුවලගේ විවාහය දික්කසාදයකින් නිමා වීමටත් ප්‍රබල හේතුව ලෙස දැක්විය හැක්කේ සාම්ප්‍රදායික පොරොන්දමට පමණක් සීමා වීම තුළ වෙනත් ග්‍රහ තත්ත්වයන් හා දෝෂ සලකා නොබැලීමයි. මෙම විවාහය දැඩි ප්‍රශ්න හා ගැටලු මැද පැමිණ දෙදෙනාගේම අදාළ 22 වන දෙර්කාණාධිපතියාගේම විදශාව ක්‍රියාත්මක වන විට වෙන්වීම සිදුවීම තුළ එම 22 වන දෙර්කාණාධිපතියාගේ ප්‍රබල අසුභත්වය අපට මැනවින් වටහා ගත හැකිය.

මෙම විවාහ බිඳ වැටීමට ප්‍රධාන හේතූන් ලෙස දැක්විය හැක්කේ,

1). දෙදෙනාගේම 7 වැන්න අධිපති 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා වීම.

2). පුරුෂ කේන්ද්‍රයේ 7 අධිපති (22 වන දෙර්කාණාධිපතියා) විවාහ ස්ථානයේ සිටීම.

3). ස්ත්‍රී කේන්ද්‍රයේ 7 අධිපති (22 වන දෙර්කාණාධිපතියා) සිව්වැන්නේ සිටීම හා චන්ද්‍රයාගෙන්ද 7 වැන්නේ සිටීම.

4). දෙදෙනාගේම 22 වන දෙර්කාණාධිපති ග්‍රහයාගේ විදශාවන් ක්‍රියාත්මක වීම.

5). පුරුෂ කේන්ද්‍රයේ චන්ද්‍රයාගෙන් 8 වැන්නේ සෙනසුරු ඒරාෂ්ටකව ගමන් කිරීම හා සෙනසුරුගේම මහ දශාවක් හා අතුරු දශාවක් පැවතීම.

6). ස්ත්‍රී කේන්ද්‍රයේ ග්‍රහ බල තත්ත්වයන්ට වඩා පුරුෂ කේන්ද්‍රයේ ග්‍රහබල තත්ත්වයන් දුර්වල වීම.

7). පුරුෂ කේන්ද්‍රයේ ලග්නයේ මෙන්ම නවාංශකයේ ද විවාහයට අදාළ අඟහරු හා සිකුරු ග්‍රහයන් බල රහිත වීම.

8). ස්ත්‍රී කේන්ද්‍රයේ අඟහරු හා සිකුරු යන ග්‍රහයන් පුරුෂ කේන්ද්‍රයේ තත්ත්වයන්ට නොගැලපෙන ලෙස ඉතාමත්ම ප්‍රබල තත්ත්වයේ වීම.

9). පුරුෂ කේන්ද්‍රයේ 11 වැන්නේ කුජ හා ශනි යන ග්‍රහයන් යෝග වී සිටීම හා ස්ත්‍රී කේන්ද්‍රයේ එවැන්නක් නොවීම.

10). ස්ත්‍රී කේන්ද්‍රයේ චන්ද්‍රයාගෙන් 8 වැන්නේ කුජ බලගතුව සිටීම හේතුවෙන් පුරුෂ කේන්ද්‍රයේ සඳුගෙන් 8 හි පිහිටි කුජ දෝෂය භංග නොවීම.

විශේෂයෙන්ම සමහර අවස්ථාවල මෙම 22 වන දෙර්කාණාධිපති ඇතැම් ලග්න හිමියන්ට යෝග කාරක ග්‍රහයකු විය හැකි අතර කේන්ද්‍රයට බලවත්ව ද පිහිටා තිබිය හැකිය. එවැනි අවස්ථාවලදී මෙම 22 වන දෙර්කාණාධිපතියාගේ පාපීබව යම් ප්‍රමාණයකට අඩු වී සුභ ඵල ලබාදීමෙහි හැකියාවක් ඇත. එබැවින් 22 වන දෙර්කාණාධිපතියා සෑම අවස්ථාවකදීම අසූභව ප්‍රතිඵල ලබාදෙන ග්‍රහයකු ලෙස නොසැලකිය යුතු අතර ඒ පිළිබඳව ගැඹුරින් තර්කාණුකූලව විමර්ෂණය කළ යුතුය. එම නිසාවෙන් විවාහයක් සඳහා දෙදෙනෙකුගේ ජන්මපත්‍ර ගැලපීමේදී මෙම බාධාකාරී 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීම තුළ විවාහයේ ගැටලු හා ප්‍රශ්න අඩු ශ්‍රී සෞභාග්‍යයෙන් පිරි යහපත් විවාහ ජීවිතයක් අපේක්‍ෂා කළ හැකිය.

විවාහය ප්‍රමාද හා ඉටුනොවීමට ජ්‍යොතිෂයේ වන බලපෑම මෙහෙමයි

බණ්ඩාරගම,
සම්පත් එස්. කල්පගේ
ජ්‍යොතිෂවේදී, “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම.
දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment