පැවිදි ජීවිතය අර්ථවත් වීමේ ග්‍රහබලය

78

භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසගේ සහභාගිත්වයෙන් පෝෂණය වන මෙම සම්බුද්ධ ශාසනය තුළ පැවිදි ජීවිතයට සම්බන්ධ මෙහි මුල් කොටස් දෙකට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එම නිසා ගිහි ජීවිතයෙන් වෙන්වී මෙම පැවිදි ජීවිතයට පා තබන යම් කෙනෙක් වේද ඔහුගෙන් හෝ ඇයගෙන් සිදුවිය යුතතේ එම ජීවිතයේ අර්ථවත්භාවය එළිදක්වමින් එය ආරක්‍ෂා කර ගැනීමය. විශේෂයෙන් සංසාර විමුක්තිය සඳහා පළමුව “දුක” හැඳිනගෙන දෙවනුව දුක ඇතිවීමට හේතුව දැනගෙන, තුන්වෙනුව දුක නැති කිරීමේ මාර්ගය වටහාගෙන මේ සංසාර විමුක්තිය උදෙසා නිර්වාණ අවබෝධයට පා තැබීමේ ආරම්භය මෙම පැවිදි ජීවිතය වන අතර එය ඉහත කී ආකාරයට අර්ථවත්වීමට මනස හසුරුවන “ග්‍රහ බලය” ගැන පෙන්වාදීම මාගේ උත්සාහය වන්නේය.

පැවිදි ජීවිතය අර්ථවත් වීමේ ග්‍රහබලය

මෙම සම්බුද්ධ ශාසනය තුළ 84000 ක්වූ ධර්මස්කන්දය සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් පිටක තුනකට අන්තර්ගතවී ඇති අතර එය පිරිසිදු ඥාන ශක්තියකින් යුතුව ධාරණය කරගෙන ඉගෙනීම ලබා උපාසක, උපාසිකා සැදැහැවත් පිරිස යහමගට පමුණුවා සංසාර විමුක්තියේ පිරිසිදු මාවතට යොමු කිරීමේ අනභිභවනීය කාර්යය සිදුවන්නේ මෙම පැවිදි පක්‍ෂයෙන් නිසා, ඒ සඳහා පිරිසිදු චින්තනයක් මේ අය තුළ තිබිය යුතුය. එම අර්ථාන්විතභාවයට බලවත් ග්‍රහ බලයක් තිබිය යුතුය. එය අද වනවිට පිරිසිදු චින්තනයක් ඇති උගත් සංඝයාවහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධ පිංවතුන් ඉදිරියේ කරනු ලබන සංසාර විමුක්ති ධර්ම දේශනාවලින් පැහැදිලි වේ. පැවිදි ජීවිතය අර්ථවත් කරන එම ධර්ම දේශනා හුදෙක්ම සංසාරයේ විමුක්තිය සඳහාම වේ. නිවසේ රූපවාහිනිය ඉදිරියේ සුන්දර ලෝකයකට වශී වී සිටින අප සැමගේ ජීවිතයේ අතිශය භයංකාරත්වයට දුක්ගින්නට ගොදුරුවී සිටින ආකාරය එම දේශනා තුළින් මැනවින් පෙන්වා දෙන උගත් සංඝයා වහන්සේලා අද බිහිවී ඇත. කේන්දර බැලුවත් නොබැලුවත් එම උගත් භික්‍ෂූන් වහන්සේලාගේ උපතේදී ග්‍රහ පිහිටීම් ඉතා බලවත් ලෙස යෙදී ඇත. එය සක්සුදක් ලෙස අපට පෙනේ. පෙර භවයන්හි පුණ්‍ය බල මහිමයෙන් සුබදායක ලග්නයකින් උපත ලබා ගුරු යෝගකාරක ග්‍රහයකු වශයෙන් නවවැන්නේ හෝ ලග්නයේ යෙදීම, ගුරු ශනි සංයෝගය නවවැන්නේ යෙදීම, වෘශ්චික ලග්නය වී චන්ද්‍රයා සමඟ ගුරු නවවැන්නේ උපතින් යෙදීම, මේෂ ලග්නය වී රවි බුධ ගුරු ලග්නගත වීම සමඟ ශනි, චන්ද්‍ර නවවැන්නේ උපතින් යෙදීම, මිථුන ලග්නය වී ශනි, චන්ද්‍ර, සිකුරු උපතින් නවවැන්නේ යෙදීමත්, ගුරු දසවැන්නේ හා රවි බුධ තුන්වැන්නේ යෙදීම, සිංහ ලග්නය වී රවි බුධ, ගුරු ලග්නගත වී ශනි සිකුරු හයවැන්නේ යෙදීම, කන්‍යා ලග්නය වී ශනි සිකුරු නවවැන්නේ ද, ගුරු සිව්වැන්නේ ද රවි බුද ලග්නයේ ද යෙදී සිටීම, තුලා ලග්නය වී ශනි හා සිකුරු පස්වැන්නේ ද, ගුරු දසවැන්නේ ද, සඳු නවවැන්නේ ද යෙදී සිටීම, වෘශ්චික ලග්නය වී ගුරු සෙනසුරු පස්වැන්නේ ද, සඳු සිව්වැන්නේ ද, රවි බුධ දසවැන්නේ ද මෙම ග්‍රහ තත්ත්වය උපතින් යෙදී තිබීම ද ධනු ලග්නය වී ගුරු නවවැන්නේ ද රවි බුධ දසවැන්නේ ද සෙනසුරු ලග්නයේ ද සිකුරු තුන්වැන්නේ ද සඳු අටවැන්නේ ද උපතින් යෙදී තිබීම ද මකර ලග්නය වී සෙනසුරු සඳු ලග්නයේ ද, කටක රාශිය වූ හත්වැන්නේ ගුරු යෙදීම ද, රවි බුධ නවනැන්නේ සිකුරු පස්වැන්නේ ද, උපතින් යෙදී තිබීම ද, කුම්භ ලග්නය වී සඳු, ගුරු, සෙනසුරු උපතින් ලග්නගත වී තිබීම ද සිකුරු නවවැන්නේ, රවි බුධ හත්වැන්නේ රාහු සිව්වැන්නේ කේතු දසවැන්නේ උපතින් යෙදීම ද මීන ලග්නය වී ගුරු සඳු, සෙනසුරු ලග්නයේ යෙදීම ද, කේතු රවි බුධ නවවැන්නේ යෙදීම ද තුන්වැන්නේ රාහු සිකුරු යෙදීමත් කුජ එකොළොස් වැන්නේ යෙදී තිබීමත් මේ ආදී වශයෙන් උපන් ලග්නය අනුව ග්‍රහ පිහිටීම් යෙදීමෙන් පැවිදි ජීවිතය අර්ථවත් වන බව පෙන්වා දෙමි.

ලග්නය අනුව මා මෙතෙක් දැක්වූ කරුණු වලට අමතරව මෙහිදී විශේෂයෙන් ඔබට වටහා ගැනීමට අප මහා සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ග්‍රහ පිහිටීම් කටක ලග්නය අනුව පෙන්වා දෙමි. ලග්නයේ ගුරු උච්ච බලයෙන් යෙදී ඇත. චන්ද්‍රයා ලග්නයට අධිපති වශයෙන් සිව්වැන්නේ ද, කුජ හත්වැන්නේ උච්ච බලයෙන් ද, සෙනසුරු අටවැන්නේ කුම්භ රාශියේ බල සහිතව ද, කේතු හා සිකුරු ස්වක්ක්‍ෂේත්‍ර හා උච්ච බලයෙන් නව වැන්නේ පෙර පිං ස්ථානයේ ද රවි බුධ සමඟ දසවැන්නේ උච්ච බල සහිතව ද යෙදී ඇත. මෙලොව ජීවත්වන මානව සමූහයාගේ අනන්ත දුක් සහිත කටුක ජීවිතයේ දුක්ගින්න නිවාලීමටත් සංසාර විමුක්තිය සඳහා නිවැරදි මග හෙළිකර ගැනීමටත්, ඒ සඳහා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව ආදී ජීවිත අනිත්‍යතා ලක්‍ෂණ පැහැදිලි කර දෙමින් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට 45 වසරක් ධර්මය දේශනා කිරීමට මෙම ග්‍රහ තත්ත්වය හේතුවන්නට ඇත. මෙලොව ජීවත්වන යම් අයකුගේ උපන් මොහොතේ මේ හා සමානව හෝ ග්‍රහ දෘෂ්ටිය ලබමින් හෝ මා ඉහත පෙන්වා ඇති ආකාරයට හෝ ග්‍රහ බලය යෙදී තිබේ නම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වුවත් භික්‍ෂු භික්‍ෂුණියක් වීමේ වාසනාව ලබා එහි අර්ථවත් භාවය මැනවින් මෙම කටුක සසර තුළ පතුරුවා හැරීමේ බලය ලබනවා ඇත. එපමණක් නොව ඒ සදහා ‘දස ශීලය’ ආරක්‍ෂා කර ගැනීම ප්‍රධානම දෙය වන අතර ග්‍රහබලය ඊට ඉදුරාම සහාය වනු ඇත. ඒ සඳහා මනස හසුරුවන්නේ මෙම ග්‍රහ බලයෙනි.

පරපණ නොනැසීම, සොරකම් නොකිරීම, කාම මිථ්‍යාචාරයේ නොයෙදීම, බොරු නොකීම, මද්‍යපානය නොකිරීම, අවේලාවේ ආහාර නොගැනීම, නෘත්‍යගීත ආදිය නොබැලීම නොඇසීම, සුවඳ විලවුන් හා විලාසිතා නොපැලඳීම, උස් ආසනවල නොඉඳීම, රන් රිදී මුදල් ආදී දේ පරිහරණය නොකිරීම මේ ආදී දස ශීලයේ කොටස් ආරක්‍ෂා කිරීමට බලවත් සුබදායී ග්‍රහබලයක් මධ්‍යයේ මනස හැසිරවීමේ ශක්තිය තිබිය යුතුය. අව සඳු, ශනි, රාහු වෘශ්චික රාශියේ යෙදීම, කුජ හා සිකුරු කන්‍යා රාශියේ යෙදීම, බුධ, ශනි රාහු කටක රාශියේ යෙදීම, සිකුරු, ශනි, රාහු, සිංහ රාශීයේ යෙදීම කුජ, ගුරු, සිකුරු, කන්‍යා රාශියේ යෙදී තිබීම මෙවැනි අසුබ ග්‍රහ සංහෝගයක් කේන්ද්‍රයේ උපතින් 1, 4, 7, 10, යන කේන්ද්‍රස්ථානයක හෝ 5, 9 ත්‍රිකෝණස්ථානයක යෙදුණොත් දස ශීලය ආරක්‍ෂා නොවන අතර පැවිදි ජීවිතයට යම් විටෙක පත්වුවහොත් බුද්ධ දේශනාවට නිගාවකි. පැවිදි ජීවිතයේ අර්ථය විනාශවීම සිදුවේ. මෙම ග්‍රහ තත්ත්වයේ අරිටුභවාය නිසා මොවුන්ගේ මනස පාපී සිතුවිලි වලින් පිරී දස ශීලය විනාශ වේ. පැවිදි ජීවිතයට පත්වීමේදී දරුවකුගේ උප්පත්ති කේන්ද්‍රයේ මෙම අසුබ ග්‍රහ තත්ත්වය යෙදී තිබේදැයි පරීක්‍ෂා කරන්නේ නම් බුදුන්ගේ පිවිතුරු නිර්මල ධර්මය තවදුරටත් ආරක්‍ෂා වනු ඇත.

ජ්‍යොතිෂයේ පවතින සුබ ග්‍රහයෝග අතුරින් සිකුරු කේන්ද්‍රස්ථානගත වී බලවත් වීමෙන් යෙදෙන මාලවි යෝගය පවතින කේන්ද්‍ර පැවිදි ජීවිතයට ඉතාම අසුබ බව මා ලැබූ අත්දැකීම් අනුව පවසමි. එම යෝගය පිහිටා ඇති කේන්ද්‍ර හිමියන් ලෞකික සැප සම්පත් ලබමින් ජීවත්වනවා විනා සසර දුක ගැන වැටහීමක් නැත. සියලු සැප සම්පත් අනිත්‍ය බව එවැනි අය නොදනිති. කතා කළොත් එම අය කියන්නේ ඉන්නකන් කාල බීල ඉන්නවා, සතුටින් ඉන්නවා කියාය. කියන්න කනගාටුයි, බුදුන්ගේ නිර්මල ධර්මය එම අයට පැහැදිලි කරන්නවත් බැරි අවස්ථාවල කේන්ද්‍ර බැලීමේදී මා හට හමුවී තිබෙනවා. එම නිසා අර්ථවත් වූ පැවිදි ජීවිතයකට දරුවකු යොමු කිරීමේදී ඉහත කී කාම භෝගී ග්‍රහයෝග ගැන අනිවාර්යයෙන් සොයා බැලිය යුතුය. ඒ සඳහා මේ දක්වාත් ප්‍රමාද වූවා වැඩිය.

කෙසේ නමුත් ලිපිය අවසන් කිරීමට මත්තෙන් යමක් කිව යුතුය. මෙම මනුෂ්‍ය ජීවිතය සසර තුළ මැරි මැරී නැවත උපත ලබමින් විදින්නේ දැඩි දුකකි. ලෞකික සැපය නමැති ව්‍යාජ ප්‍රෝඩාවට සියලුදෙනා ග්‍රහණය වී ඇත. ඉපදීමේ පටන් මරණය දක්වාත්, ඉන් පසුවත් කරන ලද හොඳ නරක අනුව සසර තුළ විවිධ ආකාරයෙන් සැරිසරනු ඇත. නිර්මල වූ මෙම බුදුදහම අදහන අප සියලුදෙනා එය දනිති. එසේ නම් පැවිදි ජීවිතයක් ලබන්නේ මේ සසරේ කෙළවරක් දැක එයින් ගොඩවීමේ පරමාර්ථයෙනි. පැවිදි ජීවිතයකට යොමුවීමෙන් පමණක් එය සිදු නොවේ. බුදුන්ගේ අමා ධර්මයට ගරු කරමින් එය ආරක්‍ෂා කරමින් ඊට අනුකූලව මනස ක්‍රියාත්මක විය යුතුය. එසේ වීමට නම් සුදුසු ග්‍රහ බලයක් තිබිය යුතුය. ඒ අනුව පැවිදි ජීවිතය අර්ථවත් වන්නේය.

ජ්‍යෝතිර්වේදී ජේ. ගුණපාල
170, පාදුක්ක පාර,
අරමණාගොල්ල, හොරණ
දුරකථන අංකය- 0774347574

advertistmentadvertistment
advertistmentadvertistment