කලාඔයෙන් දිය බීමට පැමිණෙන වන සතුන් මරණ අමුතුම ජාවාරමක් – විල්පත්තුව හා තබ්බෝවේ කඳවුරු බැඳ දඩයම් කරලා

129

13ක් වනජීවීයට කොටු

විල්පත්තුව වන උද්‍යානය හා තබ්බෝව අභය භූමිය තුළ දින ගණනක් තිස්සේ රැඳී සිටිමින් වන සතුන් දඩයම් කළ 13 දෙනකු දඩයම් කිරීමට භාවිතා කළ ගිනි අවි හා තියුණු ආයුධ සමග වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවී කාර්යාල ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට සමත් වේ.

වනාතවිල්ලව, පුත්තලම ඇතුළු ප්‍රදේශ කීපයක සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

නියඟය හේතුවෙන් දිය සොයා විල්පත්තුව ජාතික වන උද්‍යානය හා තබ්බෝව අභය භූමියට මැදින් පිහිටි කලාඔයට පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා දින ගණන් කඳවුරු බැඳ වන සතුන් දඩයම් කිරීමේ නිරත වන පිරිසකගෙන් 13 දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වනජීවී නිලධාරීන් කියයි.

වියළි ආහාර රැගෙන වන උද්‍යාන තුළ නීති විරෝධීව රැඳී සිටිමින් මෙසේ කලක සිට වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක අදාළ සැකකරුවන් නිරත වී ඇති බව හෙළි වී ඇත.

වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවී නිලධාරීන් සිදුකළ මෙම එකාබද්ධ මෙහෙයුමේදී කොටන ගිනි අවියක් හා බෝර 12 ගිනි අවියක්, පිහි, විදුලි පන්දම්, මූනිස්සම් පුරවන පතොරම් කොපු, මූනිස්සම්, අහස්කූරු, යතුරුපැදි 7 ක්, යතුරුපැදිවලට සුළං ගැනීමට භාවිතා කරන උපකරණයක්, කූඩාරම්, සැකකරුවන් සතු ජංගම දුරකථන ඇතුළු තවත් දෑ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි 72 හැවිරිදි සැකකරුවකු වසර 40 කට ආසන්න කාලයක් තබ්බෝව හා විල්පත්තුව වන උද්‍යානවල මුවන්, ගෝනුන් හා වල් ඌරන් දහසකට අධික සංඛ්‍යාවක් දඩයම් කළ සැකකරුවකු බව වනජීවී නිලධාරීන් හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව වැටලීම අතරතුරදී තවත් සැකකරුවන් 8 දෙනකු පලා ගොස් තිබූ අතර එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට වනජීවී කණ්ඩායමක් යොදවා ඇති බව කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

පුත්තලම දිස්ත්‍රික් වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගේ උපදෙස් මත කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වනතාවිල්ලුව වන සත්ව අඩවි සහකාර එම්.පී.එල්.එස්. මාරසිංහ, වන සත්ව නියාමක එච්.එම්.එල්.සී. හේරත්, වන සත්ව ක්ෂේත්‍ර සහකාර චින්තක අනුරාධ සිවිල් ආරක්ෂක නිලධාරීන් වන එච්.ඒ.ඒ.පී. හෙට්ටිආරච්චි, ආර්.එම්.පී.එස්. රත්නායක, එම්.එස්.එස්. සෑනි, බහුකාර්ය සහායකයන් වන එල්.ආර්.එල්. ශ්‍රීමාල්, ආර්.අයි. ඩේකර් ඇතුළු පිරිසක් වැටලීමට එක්ව සිටියහ.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment