කුඩු කුඩේ කුඩු කරන යාන්ත්‍රණය කෙසේ විය යුතුද?

962

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා කෝට්ටේ පාර අතර පසුගිය 27 වැනිදා දුම්රියක් පීලි පැන්නේය. පසුව අනාවරණය කරගත් පරිදි මේ අනතුරට හේතු වී ඇත්තේ කුඩුකාරයන් විසින් රේල් පීලිවල ඇණ ගලවාගෙන යෑමය. මේ දිනවල යකඩ කිලෝව මිලෙන් ඉතා ඉහළය. යකඩ ඇණ ගලවාගෙන ගොස් බෝතල් පත්තර කඩවලට විකිණීම හෝ පරණ යකඩ මිලට ගන්නා කඩවලට විකිණීමෙන් හොඳ ආදායමක් උපදවාගත හැකිය. අනෙක මේ ආදායම ඉපදවීම සඳහා සත පහකවත් ප්‍රාග්ධනයක්වත් යොදනු නොලැබේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන මූලික නිෂ්පාදන සාධක හතරෙන් රේල් පාරේ ඇණ ගැලවීම සඳහා වැය වන්නේ ශ්‍රමය පමණි. පරණ යකඩ කඩවල්වලින් කුඩුකාරයන්ගෙන් මිලට ගන්නා මේ ඇණ කුඩුකර යකඩ බඩු තනනු ලැබේ. මෙහිදී වැදගත් ප්‍රශ්නයක් මතුවන්නේය. එනම් යකඩ ඇණවලට අමතරව රේල් පීලිත් ගලවාගෙන ගොස් නොවිකුණන්නේ මන්ද යන්නය. කුඩ්ඩා ඇණයක් හොරකම් කළාට පීලි හොරකම් කරන්නේ නැත. ඊට වැදගත් හේතුවක් තිබේ. රේල් පීලි එකිනෙකට යාකරන ඇණ හදන්නේ සාමාන්‍ය යකඩවලිනි. ඒවා උණු කළ හැකිය. රේල් පීලි සාදනු ලබන්නේ High Corbon යකඩවලිනි. සාමාන්‍ය යකඩ උණු කළාට හයි කාබන් උණු කිරීමේ තාක්‍ෂණයක් ශ්‍රී ලංකාවේ නැත. අඩුම වශයෙන් හයි කාබන් රේල් පීල්ලක් දෙකට කැපීමේ තාක්‍ෂණයවත් ලංකාවේ නැත. මේ නිසා රේල් පීලි ටික බේරෙයි. දුම්රිය අනතුර සිදුවූ බේස්ලයින් හා කෝට්ටේ පාර අතර ප්‍රදේශය කුඩුකාරයන් පිරී ඉතිරී ගිය පෙදෙසකි. පසුගියදා පාර්ලිමේන්තුවට යන පාරේ පාලමක විශාල ඇණ කුඩ්ඩන් විසින් ගලවාගෙන ගොස් තිබිණ. ඒ ඇණ කිලෝ එකේ සිට කිලෝ දහය දක්වා බරය. පරණ යකඩකාරයා මේ එක ඇණයක් රුපියල් 2500ක් පමණ ගෙවා මිලට ගනී. මීට අවුරුදු 25කට පෙර රුපියල් 200ට තිබූ තත්ත්වයෙන් ඉතාම බාල කුඩු පැකට්ටුව මේ වනවිට රුපියල් 2000කි. එක ඇණයක් වික්කොත් කුඩු පැකට්ටුවක් මිලට ගෙන තවත් ගානක් ඉතිරිකර ගැනීමට ද පුළුවන. ඉදිරියේදී මේ කුඩුකාරයන් කෝච්චි පෙට්ටිද ගලවාගෙන ගොස් පරණ කඩයට වික්කොත් පුදුම නොවන්න. කෝච්චි පෙට්ටි සාදා ඇත්තේ හයි කාබන්වලින් නොව සාමාන්‍ය යකඩවලිනි. මේ රටේ තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කළත් කුඩු බිස්නස් එක පැරදවීමට කිසිම කෙනකුට බැරි විය. කුඩු බිස්නස් කරන පුද්ගලයකු කිසියම් පොලිසියක ඕඅයිසී කෙනකුට තර්ජනය කරන ආකාරය අඩංගු හඬපටයක් පසුගිය දිනවල රූපවාහිනි චැනලයක් මගින් ප්‍රචාරය කරන ලදී. එහිදී පොලිසිය ද අසරණ කරමින් කුඩුකාරයා කියා සිටියේ පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීමට අදාළ සාක්‍ෂි තමන් සතුව ඇති බැවින් ඒවා ප්‍රසිද්ධ කරන බවය. මෙවැනි විටක අපට කල්පනා වන්නේ මදූෂ් වැනි පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය ගන්නා තීරණය ඉතාම සාධාරණ බවය. රටේ පොලිසිය පාලනය කිරීමට කුඩු වෙළෙන්දෝ තැත් කරති. ඒවාට විරුද්ධ වන පොලිස් නිලධාරීන්ට සිදුවන්නේ වෙඩි කන්නටය. ඉතින් පොලිසිය කරන්නේ කුමක්ද? ඔව්හු කුඩ්ඩා තමන්ට වෙඩි තැබීමට පළමුව කුඩ්ඩාට වෙඩි තබති.

මේ රටේ කුඩු සහ රත්‍රං යන දෙකම සමාන මාකට් එකක් ඇති ද්‍රව්‍ය බවට පත්ව තිබේ. කුඩු කිලෝවක් හා කැරට් 22 රත්‍රං කිලෝවක් අතර පවතින මිල එක සමානය. වෙළෙඳපොළ වටිනාකම පැත්තෙන් බලන කල මේ ද්‍රව්‍ය දෙක අතර ඇති වෙනස වන්නේ රත්‍රං උකස් තැබීමට හැකි වුවත් කුඩු උකස් තැබීමට බැරිවීමත් පමණි. අපට හැඟෙන පරිදි මේ රටේ වෙළෙඳුන් රත්‍රං බිස්නස් එකෙන් උපයන මුදලට වැඩි මුදලක් කුඩු වෙළෙන්දෝ කුඩු විකුණා උපයති. රත්‍රං මිල කොතරම් ඉහළ ගියත් ඊට විකල්පයක් නැත. එහෙත් කුඩු මිල ඉහළ යනවිට මිල අඩු මත් ද්‍රව්‍ය වෙළෙඳපොළට එයි. කුඩු යනු ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් වන අතර එම කර්මාන්තය සඳහාම කැපවුණු කර්මාන්ත ශාලා සහ විද්‍යාත්මක පර්යේෂණාගාර ලොව පුරාම තිබේ. විශේෂයෙන් ආසියාවේ පාකිස්තානය හා තායිලන්ත දේශසීමාව අවටත් දකුණු ඇමරිකාවේ කොලම්බියාවේත් කුඩු සම්බන්ධව විවිධ පර්යේෂණ කරන විද්‍යාගාර ඇත. මේ ලැබ්වලින් දිනෙන් දින අලුත් බඩු එළියට දමනු ලැබේ. කුඩු කිලෝවක නිෂ්පාදන මිල ඉතා ඉහළය. ඊට හේතුව ඇතැම් කුඩු වර්ගයක ග්‍රෑම් 200ක් නිෂ්පාදනය කිරීමේදී අබිං කිලෝවක් අවශ්‍ය වීමය. මේ නිසා අබිං කිලෝවක් ද මිලෙන් ඉතාම ඉහළය. මේ නිසා කුඩුවල මිල ද අත්‍යන්තයෙන්ම ඉහළ යයි. අබිං කළු පාට වන අතර කුඩු සුදු පාටය. එසේ වර්ණය වෙනස් වීමට හේතුව වන්නේ අබිං දිගින් දිගටම පිරිපහදු කරමින් කුඩු නිෂ්පාදනය කරන බැවිනි. මේ ලෝක ව්‍යාප්ත කර්මාන්තය මේ වනවිට විශාල ව්‍යාපාර අධිරාජ්‍යයක්ව පවතී. කවුරුත් නොහිතන අය පවා කුඩු බිස්නස් කරති. මේ ව්‍යාපාරය බිඳ දැමීමට නම් ලෝකයේ සෑම රටකම මත්ද්‍රව්‍ය නාශක කාර්යසාධක බළකායක් පිහිටුවිය යුතුය. කුඩු වෙළෙන්දාට, කුඩු නිෂ්පාදකයාට සහ කුඩු බෙදාහරින්නාට දුටු තැන වෙඩි තැබීමට හැකි නීති රීති සෑදීමට පුළුවන් නම් කුඩු නිෂ්පාදනය මර්දනය කළ හැකිය. ලනිත් ඇමරිකාවේ කොලොම්බියාව නමැති රටේ කුඩු මර්දනය කිරීම සඳහා දැනටමත් මේ ආකාරයේ වැඩපිළිවෙළක් අරඹා ඇත. ඒ රටේ පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට කුඩුකාරයන් වෙඩි තබා මැරීමේ බලය තිබේ. එවැනි වෙඩි තැබීම් සිදුකරන ආරක්‍ෂක නිලධාරීන් වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් මගින් ආරක්‍ෂා කරනු ලැබේ. එහෙත් මෙවැනි ක්‍රමවේදයක් ලංකාවට හඳුන්වා දුන්නොත් සිදුවන්නේ 88, 89 ජවිපෙ භීෂණය යොදාගෙන විවිධ පුද්ගලයන් පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට කළ සංහාර ක්‍රමවේදය නැවත වතාවක් ක්‍රියාත්මක වීමය. ඒ නිසා කුඩු මැඬීම සඳහා හඳුන්වා දිය යුතු වෙනත් ක්‍රමයක් ගැන මොළේ තිබෙන කට්ටිය කල්පනා කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment