කුලියාපිටිය තරුණයා ඝාතනයේ සැක 10දෙනා යළි කූඩුවට

810

කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට අදාළ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි සැකකරුවන් දස දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ තරුණයකුගේ ඝාතනය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය මගින් ගොනු කර තිබූ නඩුව ඊයේ (27දා) නැවත කැඳවූ අවස්ථාවේ එසේ නියෝග කෙරිණි.

උදය ප්‍රසන්න, තිළිණ කීර්තිරත්න, හිල්ඩා ප්‍රනාන්දු, ඉලුක්හේන දොන් චන්ද්‍රසිරි, පඩිවෙල ඇන්ටන් ප්‍රනාන්දු, සුජිත් ප්‍රනාන්දු, දිලානි ශානිකා, චාරුක දේවින්ද, මනෝධ්‍යා ෂෙරංගි සහ සුරංග පද්මකුමාර යන කැප්පෙටිපොල, වස්සාවුල්ල, පඩිවෙල හා හම්මලව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් දස දෙනෙක් එසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

නඩුව කැඳවූ අවස්ථාවේ පොලිසිය සිය පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළේය. සිඟිතිගේ මස්සිනා ඇතුළු කීපදෙනකුට සැඟව සිටීමට උපකාර කළැයි කියන 10 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන යාපා මහතා පොලිසිය කරුණු දක්වන ආකාරයට තම සේවාදායකයා ඝාතනයෙන් පසුව සැකකරුවන්ට උපකාර කර ඇති බවත් ඔහුට එල්ලකර ඇති මිනීමැරුම් චෝදනාව සංශෝධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරුවන් දස දෙනාගෙන් කවුරුන් කොහේදී, කෙසේ තරුණයා ඝාතනය කළාද යන්න මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ ඇති බවත් ඔහුගේ මළසිරුර පිළිබඳ හලාවත මූලික රෝහලේ සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයද මේ වනතෙක් අවසන්ව නොමැති බවත් පොලිසිය පැවසීය.

එමෙන්ම මෙම ඝාතනය මනාව සැලසුම් කර සූක්ෂ්මව සිදුකර ඇති බවත් විමර්ශන අවසන් නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

දෙපාර්ශවයේම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඉදිරි දිනයේ විමර්ශන ප්‍රගතිය කැඳවමින් සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කළේය.

කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ රත්නායක, සැරයන්වරුන් වන සෝමවීර (35170) සහ කොස්වත්ත(33892) යන මහත්වරුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මෙම නඩුවේ සැකකරුවන් වෙනුවෙන් නීතිඥ චන්දන යාපා, අනුජ කරුණානායක යන මහත්වරු පෙනී සිටියහ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment