බන්ධනාගාර නිලධාරීන් මැයි 20 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කර තිබුණි. වැටුප් ඉහළ නොදැමීම, නිලධාරී හිඟය ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් බන්ධනාගාර නියාමකවරුන්ගේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු විය. ඔවුන් උත්සාහ කළේ මෙරට විගණකාධිපති වාර්තා ඇතුළු වාර්තා ගණනාවකින් පෙන්වා දී ඇති, තමන් දිගටම මුහුණදුන් ගැටලුවක් සමාජගත කරන්නටය. අන්තිමේ දැන් සිදුව ඇත්තේ විනය පියවරවලට සහ රැකියා නැති කිරීමේ අවදානමට මුහුණ දෙන්නටය.

එහෙත්, නිර්නාමිකව සිටීමට කැමැති බන්ධනාගාර නිලධාරීන් කීවේ තවදුරටත් මේ රැකියාව කරනවාද, නැද්ද යන ගැටලුවට ඔවුන් මුහුණදෙමින් සිටින බවය. දැවැන්ත මානසික පීඩාවක් සමග ඔවුන් රැකියා කරමින් සිටී. මේ තත්ත්වය පුපුරා ගියහොත් ඉදිරියේදී මහා පරිමාණයෙන් බන්ධනාගාර නිලධාරීන් රැකියා අත්හරිනු ඇත. අඩු වැටුපට ඔවුන් විඳින්නේ දැඩි පීඩනයකි.

කෙසේ වෙතත්, මාධ්‍ය හරහා සමාජගත වුණේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බන්ධනාගාරවල රැඳවියන් උසාවිය සඳහා රැගෙන යෑමට, පවුලේ අයට බන්ධනාගාර රැඳවියන් මුණගැසීමේ ක්‍රියාවලියට බාධා එල්ල වූ බවය. එහෙත්, එම වෘත්තීය ක්‍රියාමාර්ගයට පාදක වූ මහා අර්බුදයත්, ඒ නිසා බන්ධනාගාර ක්‍රියාවලියට බාධා එල්ල වී ඇති තරමත් කාගේවත් සාකච්ඡාවට ලක් වුණේ නැත.

අයුක්ති සහගත, අසාධාරණ තත්ත්වයන් පවත්වාගෙන යන අතරතුර, ඒවා ප්‍රශ්න කිරීම වරදක් බවට පත් කිරීම දැන් ආණ්ඩුවේ පුරුද්ද බවට පත් වී තිබේ.

ඔවුන් සැලසුම් කර තිබුණු ක්‍රියාමාර්ගය වුණේ මැයි 20 සිට 22 දක්වා සියලුම ශ්‍රේණිවල බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වීමය. බන්ධනාගාර අධිකාරී සහ සහකාර අධිකාරීවරුන්ටත් එයට සම්බන්ධ වෙන ලෙස ඉල්ලා තිබුණි. බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට සම්බන්ධ නිලධාරීන් වන නිසා, එම ක්‍රියාමාර්ගය සැලසුම් කිරිමේදී වෘත්තිය සමිති නායකයන් හැකි තරම් තමන්ගේ අනන්‍යතාව පිටතට ගෙන නොඒමත් දක්නට ලැබුණි. වැලිකඩ, ගාල්ල සහ මාතර බන්ධනාගාරවල නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වී තිබුණි.

‘ජීවිත තර්ජන ඇතුළු දහසක් දුක් කම්කටොළු මැද කැපවීමෙන් රැකියාව කරන ඔබ අප සියලුදෙනාට කැපවීම සහ මහන්සියට ප්‍රමාණවත් වැටුපක් නොලැබීම හා ලැබෙන සොච්චම් වැටුප තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා පවුලේ කටයුතු සඳහා ප්‍රමාණවත් නොවීම.’ අසනීප නිවාඩු ක්‍රියාමාර්ගයට හේතුව ලෙස බන්ධනාගාර නිලධාරීන් අතර සාකච්ඡාවට ලක් වි තිබුණි.

එයින් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මැයි 20 වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර තිබුණේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන වහාම අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසය. එයින් පසු බන්ධනාගාර කොමසාරිස්වරයා 21 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත්වරයාව මුණගැසී තිබුණි. එහිදී එම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ විනය පියවර ගන්නා ලෙස නියෝග කර තිබුණි. ඒ අනුව, අධිකරණ ක්‍රියාවලියට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය බාධාවක් වීම, එම ක්‍රියාමාර්ගයට එරෙහි පියවර ගැනීම සඳහා මාර්ගයක් වී තිබේ. මෙම අධිකරණමය ස්වරූපයේ ක්‍රියාමාර්ගය ගැනත්, මෙයට අදාළව නීති ක්‍රියාත්මක කිරීම ගැනත් අපට කිව හැකි දේ සීමිතය. ඒ අනුව මෙහි අධිකරණමය ස්වභාවය ගැන නොමැතිව, අදාළ ක්‍රියාමාර්ගයට පසුබිම් වූ තත්ත්වය ගැන අපගේ අවධානය යොමු වේ.

‘අද දින බන්ධනාගාර නිලධාරීන් සුළු පිරිසක් ලෙඩ නිවාඩු දමමින් සේවයට වාර්තා නොකිරීමත්, සේවයට වාර්තා කළත් ලෙඩ නිවාඩු සහ අනෙකුත් හේතු ඉදිරිපත් කරමින් අධිකරණයට වාර්තා නොකිරීමක් වාර්තා වෙලා තියෙනවා. ඉතා සුළු පිරිසක් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ග ගැනීම අප තරයේ හෙළා දකිනවා. සම්බන්ධ වෙන සුළු පිරිසට විනය හා නීතිමය කටයුතු කිරීමට අපි නොපසුබටව කටයුතු කරනවා.’ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක ප්‍රකාශ කර තිබුණි.

මෙම ක්‍රියාමාර්ගය ඉහළ නිලධාරීන් සමග සුහදව සාකච්ඡා කොට විසඳා නොගත්තේ මන්දැයි කෙනෙකුට විමසිය හැකිව තිබුණි. එයට පිළිතුර බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ඉහත අදහස් දැක්වීමෙන් ද පැහැදිලි වෙයි.

‘මූලස්ථාන නිලධාරීන්ට පහළ අපේ දුක වැඩක් නෑ. ඔවුන්ට අවශ්‍ය තම තනතුරු බේරාගෙන ඉදිරි තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කිරීම. ඉහළ නිලධාරීන්ටත් මේ වගේ සොච්චම් වැටුපක් හම්බවුණත් ඔවුන්ට විවිධ මාර්ගවලින් මුදල් ලැබෙන ක්‍රම බන්ධනාගාර තුළ පවතින හෙයින් පොඩි මිනිහාගේ දුක තේරෙන්නෙ නැහැ.’ යනුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය සමිති සාමාජිකයකු අප වෙත කීය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසිය.

‘අපි එම නිලධාරීන්ට ප්‍රශ්නයක් තියෙනවාය කියන එක හඳුනාගෙන තිබුණා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් සම වැටුප් මට්ටමක පොලිසිය එක්ක ඉඳලා තියෙන්නේ. 2013න් පස්සේ ඒක නැති වෙලා තියෙනවා. පොලීසියට දීමනා වැඩිවෙලා තියෙනවා. ඔවුන්ට දීලා තියෙනවා. රුපියල් 30,000ක විතර පරතරයක් ඇති වුණා. ගිය අවුරුද්දේ ඒ ප්‍රශ්නයට අදාළ කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ දාපු දවසේම අයවැය සාකච්ඡාව ගත්තා. හැමෝටම 10,000ක් ගත්තා. ආර්ථික ප්‍රශ්නය නිසාත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිත් නිසා වැටුප් වැඩි කිරීම අසීරුයි. මේ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කීවා. 20,000ක් ඉල්ලලා තිබුණා. අඩු තරමේ 15,000ක් වැඩි කිරීමට ඉල්ලුම් කළා. වර්ජනයේ යෙදීමට බන්ධනාගාර පනත අනුව අයිතිය නැහැ. අධිකරණයට සහයෝගය දැක්වීම සඳහා ඉන්නවා. අධිකරණයට නියමිත සැකකරු ඉදිරිපත් නොකිරීම අධිකරණ රාජකාරියට බාධාවක් විදියට මහෙස්ත්‍රාත් නියෝගයක් දීලා තියෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව චෝදනා කිරීමට උත්සාහ කරන බව කියනවා. කැබිනට් මණ්ඩලයට දැනුම්වත් කිරීමක් කළා පෙරේදා. තීරණයක් ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. ඉදිරිපත් කළාම සලකා බලනු ඇති. සතියකින් දෙකකින් ඉදිරිපත් කරනවා. 15,000ක් වැඩි කළත් රුපියල් බිලියනයක් විතර වසරකට වැය වෙනවා.’

මේ සියල්ල පසුපස පොලිස් නිලධාරීන්ට වැටුප් ලබා දීමත් ඇත. පොලිස් නිලධාරීන්ට වඩා බන්ධනාගාර නිලධාරීන් සිටින්නේ අඩු සංඛ්‍යාවකි. මේ වෙද්දී පොලිස් නිලධාරීන්ගේ සහයෝගය රජයට අවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට පමණක් වැටුප් වැඩි කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. බන්ධනාගාර නිලධාරීන්ගෙන් එවැනි ප්‍රයෝජනයක් නැත. වැටුප් වැඩි කරන්නේත් නැත. ඒ අනුව, තමන්ට අවැසි සේවාවන්ට පමණක් දීමනා ලබා දීමත්, අනවශ්‍ය වෙලාවට ආර්ථික අර්බුදය ගැන කියමින් ලබා නොදී සිටීමත් ආණ්ඩුවේ සෙල්ලමක් වී තිබේ. මේ අවිධිමත්කම විසින් වැටුප් විෂමතා සහ වැටුප් තලයන්හි ගැටලු ඇති කළත් ආණ්ඩුවට එය අදාළ නොවන බව පෙනේ.

වැටුප් වැඩි කිරීමක් සලකා බලන බව කී අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය පිළිබඳ බන්ධනාගාර නිලධාරී එකමුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කළ ලිපියක මෙසේ තිබුණි.

‘අපගේ වැටුප් ගැටලුව මුල් කරගෙන මැයි 20 දින සිදු කරන ලද අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධව ඔබතුමන් සහ අමාත්‍යතුමන් අතර සිදු වූ සාකච්ඡාවේදී ලබාදුන් පිළිතුර අනුව රුපියල් 15,000ක දීමනාවක් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට කටයුතු කරන බව දන්වා ඇත.

නමුත් මීට පෙරද කිහිප වතාවක් නිලධාරීන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා සකස් කරන බවට සඳහන් කළත් මෙතෙක් ප්‍රතිඵලයක් සිදු වී නොමැත. ඔබතුමන් විසින් අවසන් වරට කැබිනට් අනුමැතිය ලබාගන්නා බවට අප වෙත සඳහන් කර වසරකට ආසන්න කාලයක් ගතව ඇති නමුත් මේ වන තෙක් එය ඉටු කොට නොමැත.

ඔබගේ නිවේදනය පරිදි මින් පෙර යොමු කළ කැබිනට් පත්‍රිකා රජය සතුව මුදල් නොමැති වීම හේතුවෙන් අවලංගු කළද එම කාලයේ පොලිස් නිලධාරීන්ගේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම සඳහා පමණක් මුදල් තිබූයේ කෙසේද යන්න අප නිලධාරීන්ට ගැටලුවක් පවතී.

එබැවින් ඔබතුමන් විසින් ප්‍රකාශ කළ මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඉටුවේවි යන්න සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකුගේ විශ්වාසයක් නොමැති බැවින් ගරු අමාත්‍යාංශ ලේකම්ගේ හෝ ඔබතුමන් විසින් නිලධාරීන් වෙත මෙම වැටුප් වැඩිවීම ලබාදෙන නිශ්චිත දිනයක් සඳහන් කරන මෙන් හා එතෙක් 2024 ජුනි මස වැටුප සිට රුපියල් 15,000ක අතුරු දීමනාවක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.’

ඒ අනුව නිලධාරීන් රුපියල් 15,000ක දීමනාවක් පමණක් ඉල්ලා සිටී. ඒ සඳහා අයවැයට එකතු වන්නේ රුපියල් බිලියනයක මුදලක් පමණි.

අපි කීවා වගේ රජය තමන්ට ඕනෑ තැන්වලදී පමණක් සිදු කරන වියදම් අතරින් එකක් වන, තීරුබදු රහිත වාහන බලපත්‍රය මන්ත්‍රීවරුන්ට ලබා දීමෙන් රජයට අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 4ක් බව 2016 දී කියැවිණි. ඒ අනුව, දැන් ඒ අහිමිවන ආදායම ඊටත් වඩා වැඩි වනු ඇත. බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් ගෙවන්නට වැය වන්නේ ඊට අඩු මුදලකි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, මෙරට සුපිරි ධනවතුන් විසින් පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියනයේ ඒවා දහසකට ආසන්නය. කැසිනෝ බදු පැහැරහැරීම් පමණක් වුව අය කරගතහොත් රජයට මෙම නිලධාරීන්ගේ වැටුප ගෙවා දැමිය හැකිය. ජනාධිපති වැය ශීර්ෂය පවා මේ නිලධාරීන් දහස් ගණනකට 15,000 ගණනේ ගෙවන්නට වැය වන මුදලට වඩා වැඩිය.

අනෙක් පැත්තෙන් බන්ධනාගාර පද්ධතියෙන් අපේක්ෂා කරන අරමුණු ඉටු කර ගන්නට නම්, එහි සේවය කරන මානව සම්පත්වලට ඉහළින් සැලකීම රජයේ වගකීමකි. දැනටමත් බන්ධනාගාරවල ඇති අරාජික තත්ත්වය විගණකාධිපති වාර්තා කිහිපයක මනාව පෙන්වා දී තිබේ. ඒ නැතත්, අප බාහිර අත්දැකීම්වලිනුත් ඒ ගැන හොඳින් දැන සිටින්නෙමු.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1844 අංක 18 දරන බන්ධනාගාර ආඥා පනත මඟින් විධිමත් ලෙස ස්ථාපනය කරන ලද දැනට වසර 177 ක පමණ ඉතිහාසයක් ඇති දෙපාර්තමේන්තුවකි. මෙය මුලින් දඬුවම් කරන ආයතනයකි. දැන් එය පුනරුත්ථාපනයත් සිදු කළ යුතු ආයතනයකි. එහෙත්, එයට අවශය පහසුකම් නම් නැත. පුනරුත්ථාපනය වෙනුවට සුළු වැරදිවලින් ඇතුළට යන අය පවා අපරාධකරුවන් ලෙස එළියට එන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවම පෙන්වා දී ඇත. අඩු තරමේ සිරකරුවන් ඒ ඒ වැරදි හා දඬුවම් අනුව වර්ගීකරණයක්වත් නැති තැන, සුළු දෙයකට සිරගත වී මහා අපරාධකරුවන් බිහි විය හැක. විගණකාධිපති වාර්තා පැත්තකට දමමු, සළිඳු මලිෂ්ක නම් තරුණයා, ‘කුඩු සළිඳු’ කෙනකු වූයේ ඔහුටත් සුළු වරදකට බන්ධනාගාරගත වන්නට සිදු වූ නිසා බව මාධ්‍යවලින්ම ලියා ඇත.

1973 වසරේ පත් කරන ලද එල්.පී.සිල්වා වැටුප් කොමිසමේදී යෝජනා කර ලබා දුන් වැටුප් ශ්‍රේණිය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැටුප් තලය පොලිස් දෙපාර්තමේන්තුවට වඩා ඉහල මට්ටමක තබන ලදි. 2006/06 තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසම් වාර්තාව මඟින් බන්ධනාගාර සේවාව පොලිස් සේවය සමග එකම වැටුප් තලයකට පත්කිරීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ පැවති වැටුප් තලය අඩුවෙන ලදි. පසුව පොලිස් දෙපාර්තමේන්තුවට 40% ක වැටුප් වැඩිවීම හා තවත් දීමනා රැසක් මෙවර අයවැය යෝජනා තුළින් ද වැඩිකර ඇතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඒ හා සමාන කිසිදු වැටුප් දීමනාවක් වැඩිකර නොමැත. ඒ අනුව, පසුගිය කාලයක් තිස්සේ එම නිලධාරීන් වැටුප් වැඩිවීම් ඉල්ලා තිබුණි.

ඔවුන් මුහුණදෙන එකම ගැටලුව වැටුප් සහ දීමනා ප්‍රමාණවත් නොවීම පමණක් නොවේ. සේවක පුරප්පාඩු අනෙක් බරපතල අවුලයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ 2022 වසරට අදාළ වාර්ෂික විගණන වාර්තාව අනුව 2022 දෙසැම්බර් 31 වන විට අනුමත නිලධාරීන් සංඛ්‍යාව 7,872ක් විය. එහෙත් තත්‍ය නිලධාරීන් සංඛ්‍යාව 6,268ක් පමණක් විය. පුරප්පාඩු 1617ක් තිබුණි. ඒ අනුව නිලධාරීන්ට තමන්ට හිමි වැඩ කොටසට වඩා වැඩ කරන්නට සිදු වී තිබේ.

ඒ මදිවාට මේ නිලධාරීන්ට වැඩ කරන්නට සිද්ධ වී තිබෙන්නේ හද්දා පරණ චක්‍රලේඛවල සඳහන් දිරි දීමනා ගෙවීම් සමගය. ඒවා අද ආර්ථිකයට ඔබින ඒවා නොවේ. එක් උදාහරණයක් කීවොත් 2018 උක්ත විගණන වාර්තාව අනුව මාසික කල්කිරියාවට ලැබෙන දිරි දීමනාව රුපියල් 500ක් පමණ වේ. රුපියල් පන්සීයකින් කල්කිරියාවක් දිරිමත් වෙන්නේ කෙලෙසඳ?

අප මේ කතාව තුළ, බන්ධනාගාරවල ඇති දුක්ඛිත තත්ත්වය ගැනත් කියන්නට ඕනෑය. විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023 දී නිකුත් කළ විශේෂ විගණන වාර්තාව අනුව බන්ධනාගාර ධාරිතාව ඉක්මවා රැඳවියන් විශාල ප්‍රමාණයක් රඳවා සිටී. 14,124ක රැඳවියන් සංඛ්‍යාවක් ධාරිතාව ඉක්මවා රඳවා සිටී. වැලිකඩ බන්ධනාගාරයේ 1,422ක් පමණක් රඳවා තබාගත හැකි නමුත්, එහි 2490ක් රඳවා සිටියේ නියමිත සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න වෙමිනි. මැගසින් බන්ධනාගාරයේ ඉඩ තිබුණේ 493කට පමණක් වුණත්, එහි රැඳවියන් 1,282ක් රඳවා තිබුණි. මහර ඉඩ තිබුණේ 1000කට පමණි. එහි 2907ක් රඳවා තිබුණේ නියමිත සංඛ්‍යාව මෙන් තෙගුණයක් රඳවා තබමිනි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රැඳවියන් සඳහා ඉඩකඩ නොතිබුණි.

ඒ අනුව වර්ග අඩු ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක ඉඩකඩ මදිකමක් තිබුණි. වැසිකිළි 187ක අඩුවක් සහ වැසිකිළි 278ක් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවක් තිබුණි. රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම් වෙනුවට නිවාස අඩස්සියේ තැබීම වැනි විකල්ප යෝජනා විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇතත් ඒවා ක්‍රියාත්මක නැත. නව බන්ධනාගාර සංකීර්ණ හැදීමේ යෝජනා ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට අපට අසන්නට ලැබුණු අලුත්ම කරුණ වන්නේ බෝගම්බර බන්ධනාගාරය හෝටල් සංකීර්ණයකට විකිණීමට නියමිත බවය. මිනිසුන්ගේ වේදනා, මරණ ආදියට සාක්ෂ්‍ය දුන් බෝගම්බර බිත්ති මැද විවේක සුවය ලැබිය හැක්කේ කෙලෙසද යන්න වෙනම කතා කළ යුතු කරුණකි. එහෙත්, තිබෙන බන්ධනාගාරවල ඉඩ නැති පසුබිමක, අලුත් බන්ධනාගාර වෙනුවට ඉතිරි ටිකත් හෝටල්වලට හැරවීම එම පද්ධතිය ගැන රජයේ ප්‍රතිපත්ති මැනවින් කියාපාන්නකි. ඉතින් මෙවැනි විගණකාධිපති වාර්තාවල බන්ධනාගාරවලට අවශ්‍ය පහසුකම් නොලැබීම ගැන පෙන්වාදෙන කරුණුවලම දිගුවක් ලෙස ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ටත් ඇති අඩු පහසුකම් පිළිබඳය.

‘නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කර බන්ධනාගාර ආයතනවල දෛනික රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම, විශිෂ්ට රාජ්‍ය සේවාවක් ලබාදීම සඳහා බන්ධනාගාර නිලධාරීන් දිරි ගැන්වීම හා පුහුණු කිරීම සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සුවිශේෂ වූ නව සේවා ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම.’ බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ 2018 සැප්තැම්බරයේ නිකුත් කළ විශේෂ විගණකාධිපති වාර්තාවේ නිර්දේශ කර ඇති කරුණකි.

‘බන්ධනාගාර නිලධාරීන් දිරි ගැන්වීම සඳහා හා වෙනත් ආකාරවලින් මුදල් ඉපයීම අවම කර ගැනීම සඳහා රාජකාරී ස්වභාවය හා නිවාඩු මත පදනම්ව ගෙවනු ලබන දීමනා වෙනුවට කාර්යක්ෂමතාව හා දෙපාර්තමේන්තුවට එකතු කරනු ලබන වටිනාකම මත පදනම්ව ගෙවනු ලබන දිරි දීමනා ක්‍රමයක් හඳුන්වාදීම හා අනුමත කර ගැනීම.’ එම වාර්තාවේ නිර්දේශ අතර තිබෙන කරුණකි. ‘බන්ධනාගාර නිලධාරීන්ගේ පුරප්පාඩු නිසිකලට විධිමත්ව පිරවීම, පුහුණු කිරීම මෙන්ම ඔවුන් ඇගයීම හා දිරි ගැන්වීම තුළින්
රැකියා තෘප්තිය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බව නිගමනය කරනු ලැබේ.’ යනුවෙන් එහි නිගමන අතර සඳහන් වේ.

‘නිලධාරීන් වෙත පැවරී ඇති රාජකාරී බහුලතාව මත බොහෝ නිලධාරීන් මානසික පීඩනයෙන් පෙළීමත්, අභ්‍යන්තර ස්ථානමාරු ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක් ඇති වීමත්, බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ අධීක්ෂණයට නිලධාරීන් ප්‍රමාණවත් නොවන බැවින් බන්ධනාගාර තුළ විවිධ අක්‍රමිකතා, දූෂණ සිදුවීමත්, ආරක්ෂණ රාජකාරී සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොවන බැවින් සිරකරුවන් පලා යෑම සිදු වීමත්, නිලධාරීන්ට පුහුණු හා පාඨමාලාවන්ට යොමු වීමට ඇති දුෂ්කරතා තිබීමත් යනාදී අඩුපාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව හා බාධාවකින් තොරව ඉටු කළ නොහැකි වී ඇති බව නිරීක්ෂණය විය.’ මේ තවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක තිබූ කරුණකි.

මේ සියලු වචන විගණන භාෂාවෙන් සාමාන්‍ය මනුෂ්‍ය හැඟීම් තුළට පරිවර්තනය කර ගනිමු. බන්ධනාගාර තුළ ඇති දුෂ්කර තත්ත්වයන් දකිමින්, බන්ධනාගාර තුළ මනුෂ්‍යත්වයේ වටිනාකම් පහළට ඇදවැටුණු තත්ත්වයන්ට මුහුණ දෙමින්, ඔවුන්ට මුහුණදීමට ඇති මානසික පීඩනය කෙතරම් විය හැකිද? එය නැවත රැඳවියන් වෙත ඔවුන්ගේ සැලකීම් තුළින් ප්‍රක්ෂේපණය නොවනු ඇතිද?

අනෙක් අතට, මේ ආකාරයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කිරීම කෙතරම් අසාධාරණද? එහි නීතිමය පැත්ත පසෙක දමා දේශපාලනික සහ මානුෂීය පැත්ත සලකමු. ඒ අනුව ආණ්ඩුවට නීතියෙන් දඬුවම් කිරීමට හැකි වුණත්, නැතත් මෙවැනි ක්‍රියාමාර්ගයකට දඬුවම් නොකර සිටීම උචිත බව අපගේ යෝජනාවය.

කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නියක වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එරෙහිව පියවර ගැනීම ගැන මෙසේ අදහස් දැක්වීය.

‘වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගත්තාම සාමාන්‍යයෙන් නීතිමය පියවර ගන්නේ නැහැ. වෘත්තීය සමිති ආඥා පනත යටතේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එරෙහිව සිවිල් නීති ක්‍රියාමාර්ග ගන්න බැරි බව. ඒක තීරණය වෙන්නේ ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය. සාමූහික ගිවිසුම් තියෙන තැන්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට කලින් නෝටිස් එකක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් පියවර ගත හැකියි. බන්ධනාගාර නිලධාරීන්ට සාමූහික ගිවිසුම්. බන්ධනාගාර නිලධාරීන් වර්ජන ක්‍රියාමාර්ගයකට යන්නේ කලින් දැනුම් දීමයි. විනය පියවර ගැනීම ඔවුන්ගේ වෘත්තීය අයිතියට බාධාවක්. මේ වෙලාවේ, ජාත්‍යන්තර නීතිය තුළත් සාකච්ඡා වෙන දෙයක් තමයි වර්ජනයට අයිතියක් තියෙනවාද කියන එක. එක් අදහසක් තියෙනවා වර්ජනයට අයිතියක් නෑ කියන එක. දෙවැන්න තමයි වර්ජනයට අයිතියක් නොමැතිව වෘත්තීය සමිතිගත වීමේ අයිතියෙනුත් තේරුමක් නැහැ කියන එක. මෙම ක්‍රියාමාර්ගයේදී බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය පියවර ගෙන තියෙනවාද කියන එක වෙනම කාරණයක්. ලංකාවේ ලොකු වෘත්තීය සමිතිවලින් ආවරණය වෙන්නේ සුළු පිරිසක්. ඒකට හේතුව වෘත්තීය සමිති කඩා බිඳලා දැමීම. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට මෙය බරපතල හානියක්.’

අධිකරණයට අපහාස කිරීමේ පදනම හෝ වෙන කිසිදු පදනමක් මත පියවර ගැනීමට වඩා ජනතාවාදී රජයක් කළ යුත්තේ එම ක්‍රියාමාර්ගවලට පසුබිම් වූ තත්ත්වයන් නිවැරදි කිරීමය. එසේ නොවී, ආණ්ඩුව හිතුවක්කාර සහ බලහත්කාර ලෙස හැසිරුණහොත් දැනටමත් යම් දුරකට අරාජික ආයතන පද්ධතියක් වන බන්ධනාගාර තවත් අරාජික වනු ඇත.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment