වඩා හොඳ අරමුදල් පාලනයක් සිදු කිරීමට තමයි අපි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගේන්නේ. මේකෙදි අධීක්ෂණය තවත් වැඩි වෙනවා. විශේෂයෙන් වගවීම තහවුරු වෙනවා. මේ කරුණුවලින් බැහැර වෙලා අපි කාටවත් කටයුතු කරන්න බෑ. මේ නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඉතාම වැදගත්.

ආර්ථීක පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ණය කළමනාකරණ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් තුන පසුගිය සතියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. මේවා කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සංදේශ මුදල් ඇමැතිවරයා වශයෙන් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූල්‍ය වැඩසටහනකට ද ඇතුළත්ව ඇති අතර මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරමින් එම ගමන් මගේ අප ගමන් කරමින් සිටිමු. මේ වැඩසටහන වසර හතරක කාලයක් පුරා දිවේ. ඒ අනුව අප විසින් තවදුරටත් කොන්දේසි සපුරමින් එම ආර්ථික දිශානතියේ ඉදිරියට ගමන් කළ යුතුව ඇත. මේ ගැන මහ බැංකුව ද සිය නවතම ආර්ථික විවරණ වාර්තාව මගින් ද අවධාරණය කර ඇත. මේ පසුබිම තුළ මේ අලුත්ම පනත් සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සමග අපි සාකච්ඡා කළෙමු. ඒ අනුව පහතින් සටහන් වන්නේ අප ඇසූ ප්‍රශ්නවලට ෂෙහාන් සේමසිංහ ඇමැතිවරයා පළ කළ අදහස්ය.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වී ඇති කොන්දේසි නීතිගත කිරීම සඳහා ද ආණ්ඩුව ආර්ථීක පරිවර්තන, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ණය කළමනාකරණ කියන පනත් කෙටුම්පත් තුන ගේන්නේ?

පිළිතුර – එහෙම නෙවෙයි. රජය තීරණාත්මක, ඉතාම වැදගත් පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ අතරින් එතරම් කතාබහට ලක් නොවන පනත් කෙටුම්පතක් තමයි මම අන්තිමට සඳහන් කළ ණය කළමනාකරණ කියන පනත් කෙටුම්පත. මින් පළමුවැනි එක තමයි, ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවකට ගේන එකක් නෙමෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ අවුරුදු දෙකක කාලය තුළ රටේ ආර්ථිකයේ සිදුවුණු මහා ආර්ථික කඩාවැටීම අවසන් කරලා දැන් අලුත් මඟකට රටේ ආර්ථිකය ගෙනත් තියෙනවා. එතුමාගේම සංකල්පයක් හැටියට තමයි, පළමුවැනි කෙටුම්පත ගේන්නෙ. අපේ රටේ විවිධ අවස්ථාවලදී අපි දැකල තියෙනවා රජයන් මාරු වෙද්දී, ඇමැතිවරු මාරු වෙද්දී ඉලක්ක වෙනස් වෙනවා. එතකොට නිශ්චිත වූ ඉලක්ක හෝ වැඩපිළිවෙළක් නැතුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේ අර්බුදයට තමයි 2022 දී අපි මුහුණ දුන්නේ. මෙන්න මේ වගේ අර්බුදයක් නැවත ලංකාවේ ඇති නොවෙන්න අවශ්‍ය නීති රාමුව මේ හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි ඇති කරගත්ත සමහර එකඟතා ඇතුළත් වෙනවා.

ප්‍රශ්නය – එතකොට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ගැන පනත් කෙටුම්පත?

පිළිතුර – ඔව් මේ පනත ඊට වඩා ටිකක් වෙනස් එකක්. මේ මූල්‍ය කළමනාකරණ පනත ගේන්නේ කලින් පැවැති 2003 අංක 03 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ අඩුපාඩු සම්පූර්ණ කර ගන්නයි. ඒ පනතින් අපේක්ෂා කළ දේ සිදු වුණේ නෑ. එහෙනම් අපි ඒකට අවශ්‍ය වෙනස්කම් කරලා වඩා හොඳ අරමුදල් පාලනයක් සිදු කිරීමට තමයි අපි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගේන්නේ. මේකෙදි අධීක්ෂණය තවත් වැඩි වෙනවා. විශේෂයෙන් වගවීම තහවුරු වෙනවා. මේ කරුණුවලින් බැහැර වෙලා අපි කාටවත් කටයුතු කරන්න බෑ. මේ නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඉතාම වැදගත්. මේ පනත රජය ගේන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි ඇති කරගත්ත එකඟතාවලට අනුව ගොඩක් හොඳට විනිවිදභාවයෙන් රටේ ආර්ථිකය සහ විශේෂයෙන් රාජ්‍ය ආදායම සහ වියදම කළමනාකරණය සඳහායි. ඒ සඳහායි ඒ පනත ඇති කරගත්තේ.

අපේ රටේ නැවත ආර්ථික කඩා වැටීමක් ඇති නොවන්න කටයුතු කරන කොට රාජ්‍ය මූල්‍ය ඉතා ශක්තිමත් විය යුතුයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉහළම මට්ටමක පවත්වාගෙන යමින්, වගවීම සහතික කරමින් කටයුතු කිරීම අනිවාර්ය කාරණයක්. නැත්නම් සිදු වෙන්නෙ නැවත ආර්ථික කඩා වැටීමක් සිදු වීමයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ගේන්නෙ ඒ තත්ත්වයට විසඳුමක් විදිහටයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරයෙන් අවධාරණය කළ කාරණයක් ද වෙනවා.

ප්‍රශ්නය – ආණ්ඩුව ගේන මේ පනත් කෙටුම්පත්වලට විපක්ෂය පැත්තෙන් තියෙන ප්‍රතිචාර මොනවා ද? ඔවුන් ඒවාට විරුද්ධ වුණොත් ඇති වෙන ආර්ථිකය බලපෑම් මොනවාද ඉස්සරහට?

පිළිතුර – රජයට අවශ්‍ය රට ඉදිරියට ගෙනියන්න. මේ වන විට අපි යම් ආර්ථික ස්ථාවරත්වයකට රට ගෙනත් තියෙනවා. දීර්ඝ කාලීනව රට යම් ආර්ථික ස්ථාවරයකට ආවට පස්සෙ මේ නීතිගත කළ ඉලක්ක සංශෝධනය කිරීම් ගැන හිතන්න පුළුවන්. එතෙක් මේ යායුතු ආර්ථික දිශානතියට රට ගමන් කරන්න වෙනවා කියන එකයි මගේ අදහස වෙන්නේ. ඒ නිසා නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවීමට මේ පනත් මගින් ඇති කරන පසුබිම හේතු වෙනවා. ඒ නිසා මේ පනත්වලට විපක්ෂයට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. මම හිතන්නේ. සංශෝධන තියේ නම් ඒවා කාරක සභා අවස්ථාවේ වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේවට මුළුමනින්ම විරුද්ධ වෙන්න ඕනෙ කියලා මම හිතන්නෙ නෑ. රජය අවංකව මේ වැඩ කටයුතු කරනවා. ජනාධිපතිතුමා පැහැදිලිව හැමෝටම ආරාධනා කළා. මේ ගමනට එකතු වෙන්න කියලා. පටු අරමුණු වෙනුවෙන් මේ වෙලාවේ වැඩ කරන්න බෑ. එහෙම වැඩ කරන එක අපට අනුමත කරන්නත් බෑ. මහ බැංකුවත් එම වාර්තාවෙන් කියන්නේ මේ කාරණයමයි. ඒ දිශාවට දිගටම ගමන් කළ යුතු බවයි.

ආයෙත් ආර්ථිකය නොවැටෙන්න මේ පනත් ගෙනාවා - මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව මේ පනත්වලට ඇති සම්බන්ධය කොයි වගේ ද?

පිළිතුර – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. ලෝකයම පිළිගත්තු, මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් පිළිගත් ප්‍රතිපත්ති. එහෙම නැතුව ආණ්ඩුව හංගලා කරන දේවල් හරි, අමුතුවෙන් විරුද්ධ වෙන්න ඕනෙ දේවල් හරි මෙතැන නෑ. අනෙක් පැත්තෙන් මේ කෙටුම්පත්වලට කවුරු හරි විරුද්ධ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන්.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කියන කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට අවධාරණය කරපු එකක්. ඒ අනුව අපි රාජ්‍ය ආදායම වර්ධනය කරගත යුතු වෙනව. වියදම් කළමනාකරණය කරගත යුතු වෙනවා. මේ රටේ නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයට මූල්‍ය කළමනාකරණය කරනකොට මේක ඉතාම වැදගත් නීතියක් වෙන බව සඳහන් කරන්න පුළුවන්.

ප්‍රශ්නය – මේ කෙටුම්පත්වල තියෙන කරුණු ඉතාම තාක්ෂණික ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට දැනෙන්නෙ ආර්ථික අර්බුදය කියන එකයි?

පිළිතුර – ඒත් මේ විෂය ගැන දැනුවත් අය දන්නවා, මේ පනත් කෙටුම්පත් දෙකේ තියෙන වැදගත්කම. මූලික වශයෙන් අපි ආණ්ඩුවක් විදිහට මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕන. එනම් අපේ රටේ නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන තැනට අවශ්‍ය නීති සම්පාදනය කිරීම තමයි අපි මේ කරන්නේ.

ප්‍රශ්නය – එතකොට දැන් කිසිම ආර්ථික අවදානමක් නෑ කියලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද?

පිළිතුර – ඔව්, සමහර අය හුවා දක්වනවා ආර්ථික අවදානමක් ගැන. ඒත් මට කියන්න පුළුවන්, මේ ගෙන යන මාර්ගයේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්න පුළුවන් වුණොත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියන එක. අප දැන් යම් හොඳ තැනකට ඇවිත් තියෙන්නේ. ඒකට සහයෝගය දීම රටක් විදිහට අනෙක් අයගෙත් වගකීමක් වෙනවා. මේ පනත් කෙටුම්පත් ඉක්මනින් සම්මත කරගෙන අපි මේ මාර්ගයේ ඉදිරියට යන්න ඕන. අපට රජය වශයෙන් මේ ගැන විශ්වාසයක් තියෙනවා. අනිත් අතට අපිට වෙන විකල්ප තියෙනවද? මම හිතන්නේ නෑ. මං දන්න තරමට නම් මේ දිශානතිය හැර එහෙම වෙන විකල්ප මොකුත් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට බලහත්කාරයෙන් ණය දෙන්න ආවේ නෑ. අපිටයි එයාල ගාවට යන්න සිද්ධ වුණේ. අපිටයි ඒක අත්‍යවශ්‍ය වී තිබුණේ.

ප්‍රශ්නය – රාජ්‍ය ආයතන රැසක් වසාදැමීමේ තීරණයේ අලුත් තත්ත්වය කොහොමද?

පිළිතුර – එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න වෙනවා. ඒ ක්‍රියාවලිය ඉස්සරහට යනවා. මේ වෙනකොට ඒ වගේ ආයතන සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා. ඇතැම් ඒවා දැනටමත් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මූලික අදියරේදී තියෙන්නෙ රාජ්‍ය ව්‍යාපාර. සමහර ඒවා තියෙනවා, සභාපති සහ කීපදෙනෙක් විතරයි ඉන්නෙ. එකම කාර්යය කරන්න ආයතන කීපයක් තියෙනවා. මේවා වෙනස් වෙන්නම ඕනෙ දේවල්. ඒත් රජයේ සේවකයන්ට අසාධාරණයක් නොවන පරිදි මේවා කරන්න අපි වග බලා ගන්නවා. එහෙම නැත්නම් මේවායේ බර අදින්න වෙන්නේ සාමාන්‍ය ජනතාවටයි.

සාකච්ඡා කළේ –
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment