කොටි සැමරුවොත් නීතිය තදින් – නීතිපතිගෙන් උසාවියට ප්‍රතිඥාවක්

49

මියගිය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයා ඇතුළු සාමාජිකයන් අනුස්මරණය කිරීමට ඕනෑම සංවිධානයක් හෝ පුද්ගලයකු උතුරු නැගෙනහිර ප්‍රදේශවල නීති විරෝධී ආකාරයෙන් මහවිරු සැමරුම් පවත්වන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව පියවර ගන්නා බව පොලිස්පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා හා ජාතික බුද්ධි අංශ ප්‍රධාන සුරේෂ් සලෙයි යන මහත්වරුන් වෙනුවෙන් නීතිපතිවරයා ඊයේ (24දා) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ලබන මස 27 වැනිදා සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිත නීති විරෝධී මහවිරු සැමරුම් පැවැත්වීමට එරෙහි නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන ආනන්ද ජයමාන්න මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් එම ප්‍රතිඥාව ලබා දුන්නේය.

යම් යම් සංවිධාන හා පුද්ගලයන් රටපුරා යළි ජාතිවාදය ප්‍රචලිත කිරීමේ පටු අරමුණින් මහවිරු උත්සව පවත්වා මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ දරන බවත් ජාතිවාදය පිළිබිඹු කරන එවැනි සැමරුම් මගින් වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රටට හිමිකර දුන් සාමය යළි බිඳවැටී ජාතිවාදී යුද්ධයක් එම ප්‍රදේශවල පමණක් නොව රට පුරාම ඇතිවීමේ තර්ජනයක් මතුවනු ඇතැයි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම විශ්‍රාමික හමුදා නිලධාරියා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි. කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම ලබන 1 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment