පාඨලීට එරෙහි නඩුව අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි

93

කොළඹ රාජගිරිය ප්‍රදේශයේ දී 2016.02.26 වැනිදා අපරීක්ෂාකාරීව රිය පදවා තරුණයකු රිය අනතුරකට පත් කර පොලිසියට වාර්තා නොකොට පලා යෑම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ අංක තුන මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (24 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පාඨලි චම්පික රණවක මහතා විසින් තම අධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරු එම අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.

නීතිපතිවරයා විසින් සිය සේවාදායකයාට එරෙහිව එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව චෝදනා කරමින් නඩු පැවරීම නීතියට එකඟ නොවන බව කියමින් පාඨලි චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝගය කොළඹ මහාධිකරණයට නිකුත් කළේය. පාඨලි චම්පික රණවක මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් විවාදය ලබන මාර්තු 4 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment