කොවිඩ් දැන් සාමාන්‍ය ලෙඩක් ලොකුවට මෙහෙ චෙක් කරන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

88

නිව්මෝනියා උණ රෝගී තත්ත්වයෙන් අසාධ්‍යව රෝහල්ගත වන රෝගියකුට කොවිඩ් වැලඳී ඇත්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකරන මුත් කොවිඩ් රෝගීන් හඳුනාගන්නා කොවිඩ් පරීක්‍ෂණ පෙර පරිදි දැන් සිදුනොකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (14දා) පැවසීය.

කෙසේ වෙතත් කොවිඩ් රෝගීන් තවමත් රට තුළ හමුවන බවත් හෙතෙම කීය.

මේ වනවිට මුඛ ආවරණ නිසිලෙස පැලඳීම, සබන් හෝ විසබීජනාශක දියර භාවිතා කර දෙඅත් සේදීම, මීටරයක පරතරය තබාගෙන කටයුතු කිරීම ඇතුළුව තවත් නිර්දේශ අඩංගු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කර ඇති බවත් හේ කියා සිටියේය.

තවදුරටත් සමාජය තුළ කොවිඩ් රෝගීන් ඇති නිසාවෙන් තම තමන්ම ස්වයංව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කළේය.

කොවිඩ් රෝගය දැන් ලෝකය තුළ සාමාන්‍යකරණය වී ඇති බවත් දැන් මෙම රෝගී තත්ත්වය උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට පත්වී ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයා කීය.

කොවිඩ් වසංගත තත්ත්වය පැවති කාලසමය මෙන් ගම් මට්ටමින් කොවිඩ් පරීක්ෂණ සිදු නොකෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment