කෝටි 2 ක හොර සිගරැට් සමග 3ක් දැලේ

39

නීති විරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි එක්ලක්ෂ විසිදහසක් සමග සැකකරුවන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේදී පෙරේදා (16 වැනිදා) විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී මෙම දුම්වැටි සහ සැකකරුවන් කොටු වී තිබේ. මෙරටට හිමිවිය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් රුපියල් කෝටි දෙකකට ආසන්න වෙළෙඳපොළ වටිනාකමක් ඇති විවිධ වර්ගයේ නීති විරෝධී දුම්වැටි එක්ලක්ෂ විසිදහසක් හොර රහසේ ඉතා සූක්ෂමව මෙරටට ගෙන්වා දිවයින පුරා බෙදාහැරීමට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි

මාලිගාවත්ත සහ කොළඹ 10 ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 – 45 අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සහ එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment