ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරිය ඝාතනයට ජේලර්වරියගෙන් කොන්ත්‍රාත්තුවක්

478

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා ජේලර්වරියක් රැඳවි කාන්තාවකට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (14දා) ගාල්ල පොලිසියට නියෝග කළේය.

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.

විවිධ අපරාධ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවි කාන්තාවකට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වේ. බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරීම සඳහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට රැඳවි කාන්තාව විසින් වෙනත් කාන්තාවකට පවසා ඇත. ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි. රැඳවි කාන්තාව විසින් මෙම කොන්ත්‍රාත්තුව භාරගෙන නොමැති බව ද පොලිසිය පවසයි.

ඒ අනුව බන්ධනාගාර නියාමකවරිය විසින් මේ පිළිබඳ ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලිකොට ඇත. බන්ධනාගාර නියාමකවරියගෙන් සහ ජේලර්වරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි. අධිකරණය මගින් නියෝගයක් ලබාගෙන බන්ධනාගාරගතව සිටින රැඳවි කාන්තාවගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. උසස් වීමට බාධා කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවට පොලිසිය පවසයි.

ගාල්ල බන්ධනාගාරය මගින් ද මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භකොට ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතාගේ මෙහෙයවීම යටතේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ද සිල්වා මහතා සමග උප පොලිස් පරීක්ෂක විදුර මහතා අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල, අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment