නට්ටන් පාරිතෝෂය

168

ඉක්බිති මඤ්ඤංලන්ත රජ්ජුරුවෝ නුගගොඩු දනව්වට නොදුරු මැරහේන නම් පසල් දනව්වේ සිය පුඟුලික නිවස්නයෙහි ඉදිරි අංගනයට මුහුණ ලා ඇති ආලින්ද ගෘහයෙහි ඇලැවුම් අසුනෙක පාසුයෙන් හිඳ වක් කැරැගත් සුරත හිස වටා ගෙන ඊට වාරුවැ අසුනෙහි පසු ඇලැවුම් ඇන්දට හිස තබා ඉදිරියෙන් පෙනෙනා වූ මායිම් පවුරද දොරටුපාලයන් දෙදෙනකු පමණෙක් රැකවල් කෙරෙනා මහ ද්වාරය දෙස ද නෙත් හෙලාගෙනැ විවේක සුවයෙන් පසුවනුයේ එකවර නැගුනා වූ සැඩ ස්ඵෝටන ධ්වනියකින් අවට වාතය කැළැඹී යනුදැ ඒ හා නැගුණු කාකයන්ගේ අතොරක් නොවූ කාක නාදයෙන්ද අසල ගම් සතෙක පමණ වූ සුනඛයන්ගේ මහා බිරුම් නාදයෙන්ද පරිසරය ගිගුම් දෙවූ කල්හි මේ වනාහී කවර වූ විපතෙක්දැ? දෙව් පුදට ගිය බැතිමත්හු එල්ල කොට පුපුරුවා ලූ තවත් ගිනි බිඳුමෙක්දැයි නිනව් නොමැත්තේ ප‍්‍රිය දේවිය යහතින්දැයි දැකැගනු වස් වහා නැගිට ගිනිහල් ගෙය දිසාවට දිවෙනාහ. එසේ කොට ළහිවැ මුළුතැන් ගෙයි ද්වාරයෙන් හිස යොමා බලනුයේ දේවිය කිසිදු විකිරියාවෙක් නොමැත්තේ තුමූ පාඩුවේ ළිප් කුස තුළට දරාදිය දමමින් පහත්වැ මුව උල් කොට පිඹ ගිනි අවුළුවා ගැනුමට වෙහෙසෙමින් හිඳිනා අයුරු දැකැ, ”දේවිය, නුඹ සවන් බිහිරිවැ ගොස් ඇතිදැ? සුළු වේලායෙකට පෙර ඇසුණු මහා ස්ඵෝටන හඬ නුඹට නොඇසුනේදැ?’යි මහත් විමතියෙන් අසනාහ. දේවියද සන්සුන්වැ, ”හිමියනි, රජ සබයට නෑසෙනා වූ එකී හඬ නුඹ වහන්සේට ඇසුණේ අද දින වුවද සකළ මඤ්ඤං වැසියනට සෑහෙන කලෙක සිට එකී ශබ්දය ඇසෙන්නේයැ. ඒ වනාහී රටවැස්සන් නිවෙස්හි ජීව වායු බහලූම් පිපිරෙනා හඬ යැ. අප නිවහනෙහිදැ එකී ජීව වායු බැහැර කොට දරාදියෙන් පිසුම් කෙරෙනා බැව් නුඹ වහන්සේට නොපෙනේදැ?’යි අසන්නීයැ. රජ්ජුරුවෝද අයාගත් මුව පියා ගැනුමට ද කල්පනායෙක් නොමැතිව මඳ වේලාවෙක් සිටිනුයේ සිහි එළවා, ”ඉදින් දේවිය, මෙසේ දරාදියෙන් පිසුම් කොට නොහැකි නුවරාසන්න මහල් නිවාසාදියෙහි වැසියන් ඉවුම් කෙසේ කරනේදැ?’යි අසනුයේ දේවිය, ”ස්වාමීනී, උන් වෙන කළ හැක්කක් නොමැත්තේ දෙවි දේවතාවුන් ද සකළ රජසභිකයන්ගේ මෑණිවරු ද සිහි කොට දිවි පරදු කොට තබා මර බියෙන් එකී ඉවුම් කටයුතු කරනායැ’යි පහදා දෙන්නායැ.

රජ්ජුරුවෝ ද විළියෙන් රක්ත වූ මුවෙන් ගිනිහල් ගෙයින් නික්මැ ආලින්දයට පැමිණ, ‘මේ සා වූ පැනයක් රටෙහි පවත්නා බැව් තෙල අමන කේවට්ටයින් මා දැනුවත් නොකෙරනායැ. මෙයින් වන්නේ මා කෙරෙහි ජනයින් තුළ අප‍්‍රසාදයක් නැගීමයැ. සිදුවන්නා වූ දෑ කුමුතුරුණක්දැයි සැකයැ’යි වූ කල්පනායෙන් ආලින්දයෙහි එකල මෙකල සක්මන් කරනුයේ පා හඬක් ඇසී ඉදිරි අංගනය දෙස බැලූ කල්හි එක් කේවට්ටයකු ළහි ගමනින් පැමිණෙනු දැකැ උහු අංගනයට ගොඩ නැගුමටත් පෙරමැ, ”එම්බල අමනය, රටේ තන්හි තන්හි නිවස්නයන්හි ජීව වායු බහලූම් පිපිරෙනා බැව් තෙපි නොදන්නේදැ? වහා එහි වත්මන් තතුත්, ඊට හේතුත් පහදව’යි ගුගුලනාහ. කේවට්ටයා ද මඳක් ගල්බීතව හිඳ සිහි එළවා, ”පැනයෙක් නොමැත්තේයැ ස්වාමීනී, නව තතු වනුයේ ජීව වායු බහලූම් අධිපතියන් හා රාජ සභිකයන් පිපිරුම් හේතු කවරේදැයි මෙකල්හි මහා වාදයකයැ. මැදි වැද්දන් එකල මෙකල දිවෙමින් උන්ගේ කතා අඬ බෙර හඬවා පතුරනා හරිනායැ. එකී වාදය නිමා වන කල්හි මෙකී පිපිරුම් වදය ද නිමා වෙන්නායැ’යි කියනායැ. රජ්ජුරුවෝද මවිතවැ, ”ඒ කෙසේදැ කේවට්ටය? කෙසේ වෙද වරදකරුවන් හෙළි වූ කල්හි උනට දඬුවම් කළයුත්තේයැ’යි කී කල්හි කේවට්ටයා, ”ඇවැසි නැත ස්වාමීනී, පැනැ නැගෙමින් පවත්නා අහර හිඟය හේතුවෙන් පිසිය යුත්තක් නොමැති බැවින් ඉදිරියේදී ජීව වායු ඇවැසි නොවන්නේයැ. තවද ඇවැසි නම් කොමිසමයමක් පත් කොට කල් මැරිය හැක්කේයැ. එකල්හි එකී පැනය යටි බිම්ගත වන්නේයැ. පොහොර පැනය බිම්ගත වූ පරිදිමයැ. පැනදෝරා පත් තිරු පැනයට වූ දෙය පරිදියැ’යි පිළියම හෙළි කරනායැ.

රජ්ජුරුවෝද කීමට කිසිත් නොමැත්තේ මුව අයා ගෙනැ කේවට්ටයා දෙසම බලා හිඳ මුහු නම් යකෙකැ යි කල්පනායෙන් යළි ඇලැවුම් අසුනෙහි හිඳ ගන්නාහ. එසේ ජීව වායු පැනය විසැª කේවට්ට තෙමේ රජු අසළින් ඇනබා හිඳ, ”රජතුමනි, තවත් පැනයෙක් පැනැ නැගැ ඇත්තේයැ’යි රැල් බුරුල් හරිමින් නව කතාවක් අරඹනායැ. රජ්ජුරුවෝද ඉවත බලා, ”සිහසුනට වන් තැන් සිට පැන ම යැ. කියව. කියව. පෙම්දස් සජිතයා සිහසුන ඩැහැගනු වස් යළි උපා යොදත්දැ?’යි ඇසූ කල්හි කේවට්ටයා, ”උහු දන්නා වූ උලව් උපායෙක් නොමැත්තේයැ. නින්දෙන් නැගිට මැදි වැද්දන් කැඳවා වෘෂභ වාචකයක් නිකුත් කොට යළි නිදි වැදීම හැර උහු කරනා වූ උලව්වක් නොමැත්තේයැ. උහුගේ වෘෂභ වදන් කවුරු අසත්දැ? පැනය වන්නේ ඉන්දන මිල ඉහළ යැවුම යැ’යි කේවට්ටයා කී කල්හි රජ්ජුරුවෝ, ”ඉදින් තෙල පොට්ටු ලේකමා වූ සාගරයාට කියව. උහු එකී පැනය ගෙම්බන්පිලයා පිට පටවා අප බේරනු ඇත්තේයැ’යි පවසනාහ. එබස් ඇසූ කේවට්ටයා, ”රජතුමනි, පැනය වන්නේ එකී මිල නැංවුම කොට ඇත්තේ කහවනු ඇමැතෑංසය වීමයැ. එකී කහවනු ඇමැට්ටා වනාහී නුඹ වහන්සේගේ බෑයා වීමයැ. ඉදින් සාගරයා මුක පූට්ටුවැ හිඳිනායැ’යි ඉවත බලාගෙන කියනායැ. රජ්ජුරුවෝ එකල්හි, ”ඉදින් උද්ධමනය, කහවනු හිඟය ආදී වූ දෑ පවසා ජනයාට තේරුම් කොට දියයුත්තේ නොවේදැ?’යි ඇසූ කල කේවට්ටයා, ”එසේය, එසේ වුවද එතුමන්, එතුමන්ගේ මාතෘ භූමිය වූ අමරික්ඛ දේශය බලා ගොස්යැ’යි කියනායැ. රජතුමා එවදන් අසා තුෂ්ණිම්භූතවැ ගොස්, ”එම්බල, මා බෑයා වනාහී පලායන්නායැ. උහුට පලා යෑම් ඉතිහාසයක් ඇත්තේයැ. මුහු පෙරළා ඒදැයි සැක සාංකා ඇත්තේයැ’යි පවසනාහ. ”ස්වාමීනී, පැනය ඉන් නිමා නොවන්නේයැ. එකී ඉන්දන මිල හේතුවෙන් සකළ දෑ මිල උන් උන් හිතූ හිතූ ලෙස ඉහළ දමන්නාහ. පිෂ්ඨාහාර වෙළෙඳුන් දැනටත් එබැව් ආරම්මණ කොට ඇත්තේයැ. පසුවැ සකළ ආහාරපානයැ. ගමනාගමනයැ. තෙල අස්ලීලයාද ගස් බමුණාද දැනටමත් අනතුරු හඟවනායැ’යි කේවට්ටයා පැනය ඌන පූරණ කරනායැ.

රජ්ජුරුවෝ අඤ්ඤකොරෝසවැ කිසිත් පවසාගත නොහී හිඳිනා කල්හි, ”එපමණක් නොවේයැ. වෙළඳුනට ඇවැසි ඇවැසි දේ කෙරුමට හැක්කේ නම් රජකු කුමටදැයි හුදී ජනයා අසනායැ’යි මුළුතැන්ගෙයින් හඬක් ඇසී බැලූ කල්හි දේවිය බැව් දැක රජතුමා මහත් සේ උකටලීවැ හිඳිනුයේ දේවියගේ හඬ යළි ඇසෙනායැ. ”එපමණක්මැ නොව ස්වාමීනී, සැණකෙළි සමයට නුඹ වහන්සේ ජනයිනට දුන් පාරිතෝෂය නිසා බුකී වැසියන් නුඹ වහන්සේට පටබැඳි නාමය දනීදැ? වහා බුකී වනයට වැදැ බලනු මැනව’යි වූ දේවියගේ හඬත් සමගමැ රජ්ජුරුවෝ වාරු අහිමිවැ ඇලැවුම් අසුන මත්තෙහිමැ ඇද වැටෙනායැ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment