ගුවන් විදුලි නිෂ්පාදකවරයාගේ මරණය අභිරහසක්

1834

සිරුරේ කොටස් රස පරීක්‍ෂකට…

මරණය ගැන විවෘත තීන්දුවක්…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘විදුල’ ළමා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ ඉඳුනිල් ජයවර්ධන මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

ගුවන් විදුලි ළමා වැඩසටහන් නිෂ්පාදකවරයාගේ මළසිරුර 04 වැනිදා උදේ හමුවූයේ මෝදර ලෙල්ලම ධීවර වරාය ප්‍රදේශයේ ගොඩගසා තිබියදීය.

ඔහුගේ සිරුර හමුවන අවස්ථාවේ උඩුකයේ ටීෂර්ටය නොතිබූ බවත් ඩෙනිම් කලිසමක් ඇද සිටි බවත් බඳ පටියක් පැලඳ තිබූ බවත් පසුපස සාක්කුවක පසුම්බිය රැගෙන බැලීමේදී ඔහුගේ ජාතික හැඳුනුම්පත තිබී හමුවූ බවත් මෝදර පොලිසියේ ප්‍රකාශකයෙක් කීය.

එම ජාතික හැඳුනුම්පතේ සඳහන්ව තිබූ පිළියන්දල ලිපිනයට අනුව පිළියන්දල පොලිසිය දැනුවත් කර ඔහුගේ පවුල වෙත දැනුම් දුන් බවද එම නිලධාරියා කියා සිටියේය.

අනතුරුව ඔහුගේ බිරිඳ පැමිණ මෘත දේහය හඳුනාගත් බවද හෙතෙම කීය.

සිය සැමියා ජුනි 03 වැනිදා නිවසින් පිටව ගිය බවත් පසුව ඔහු ගැන කිසිදු තොරතුරක් දැනගන්නට නොතිබූ බවත් ඇය පැවසී යැයි පොලිසිය කියයි.

ඉඳුනිල් ජයවර්ධන මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (06දා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිදුකිරීමට නියමිතව තිබිණි.

ඔහුව කිසියම් පිරිසක් පැහැරගෙන විත් ඝාතනය කළේද? එසේත් නොමැති නම් ජීවිතය ගැන කලකිරී මොහු මුහුදට පැන සියදිවි නසාගත්තේද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පවසයි.

ඉඳුනිල් ජයවර්ධන මහතා මියයන විට 43 වැනි වියේ පසුවිය.

මොහු වසර ගණනාවක සිටම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අනන්‍යතාවය රැකදෙමින් ළමා වැඩසටහන් කීපයකම නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළේය. ස්වදේශීය සේවයේ ‘ළමා පිටිය’, ‘ළමා රංග පීඨය’, ගුවන් විදුලි ළමා නාට්‍ය ඇතුළු වැඩසටහන් රැසකම නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඔහු ගුවන් විදුලියේ ක්‍රියාශීලි චරිතයක්ද විය. පාසල් දූ දරුවෝ පවා ඔහුට ආදරය කළහ.

එසේම ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේදී දරුවන් වෙනුවෙන් ඇප කැපවෙමින් බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කළහ.

ගුවන් විදුලියට සම්බන්ධවීමට පෙර ඔහු පෞද්ගලික මාධ්‍ය නාලිකා කීපයකම ඔහු සේවය කර තිබිණි.

මේ පිළිබඳව මෝදර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී.එස්.ආර්. සංජීව මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ.පී.එල්. අනුර කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් සඳරුවන් (103394) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

මේ අතර මියගිය ඉදුනිල් ජයවර්ධන මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (06දා) උදේ කොළඹ අධිකරණ වෛi නිලධාරී කාර්යාලයේදී සිදුකෙරිණි. එය පැය දෙකකට අධික කාලයක් තිස්සේ සිදුකෙරුණු අතර, මරණයට අදාළව හේතුව සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ සිරුරේ කොටස් රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට තීරණය කෙරිණි. අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. කේ. ටී. කේ. ජයවීර මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව දේහය ඔහුගේ බිරිඳට භාරදීමට කටයුතු කළේය.

ඒ අනුව මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කෙරිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment