චීනයේ අලුත් සිතියම

654

ඉන්දියාව හා චීනය අතර පවතින දේශසීමා ගැටුම් වලින් ජීවිත හානි වාර්තා වූයේ වසර 45 කට පමණ පසුවය. ඒ ලඩාක් හි ගල්වාන් නිම්නය මතය.

මෙහිදී ඉන්දීය සොල්දාදුවන් විස්සකට වැඩි ප්‍රමාණයක් මරණයට පත්විය. ඉන්දීය භට කණ්ඩායම් දේශ සීමාව පසුකර දෙවරක් පැමිණ චීන සොල්දාදුවන් “කුපිත කළ” බවටත් “තම සෙබළුන්ට පහර දුන්” බවටත් චීනය චෝදනා කර තිබිණි. මෙම ගැටුමෙන් චීන සොල්දාදුවන් පිරිසක් මරණයට පත්ව තිබුණද ඒවා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ නැත. ඉන්දිය ආරක්ෂක හමුදා පවසන පරිදි මෙම ගැටුමේදී ගල්මුල් සහ යකඩ පොලු වලින් මෙන්ම අතින් පයින් පහර දීම් සිදු වී තිබේ. එක තුවක්කුවක් හෝ පත්තු වූයේ නැත. කිලෝමීටර 3440ක් දුර විහිදෙන දෙරටේ දේශසීමා කලාපය තුළ චීන හමුදාව මෙන්ම ඉන්දීය හමුදාව ද ස්ථානගත කර සිටිති. අවස්ථා කිහිපයකදීම මෙම හමුදා සොල්දාදුවෝ මුහුණට මුහුණලා සටනට සැරසී තිබිණි. ඇත්තෙන්ම ඉන්දියාව සහ චීනය යුද ගැටුමකට අවතීර්ණ වූයේ එක් වතාවක් පමණි. ඒ 1962 දීය. එහිදී ඉන්දියාවට අන්ත පරාජයක් හිමිවිය. හිටපු අගමැති නේරු මරණයට පත්වූයේ ද මේ පරාජය නිසා ඇතිවූ සිත් වේදනාව නිසා බව කියවේ.

මේ අතීතය මතක් කළේ යළිත් ඉන්දියාව හා චීනය අතර සිතියමක් සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන ඇති නිසාය. එය දිල්ලියේ බ්‍රහ්මණයින් කුපිත කිරීමට සමත්ව තිබේ. රාහුල් ගාන්ධි පවසන්නේ චීනය ඉන්දිය භූමිය ආක්‍රමණය කර ඇති බවත් අගමැති මෝදි නිහඬව බලා සිටින බවත්ය.

චීනයේ අලුත් සිතියම

චීන ආණ්ඩුවේ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මගින් මෙම නව සිතියම ප්‍රකාශයට පත් කර තිබුණේ පසුගිය සඳුදා දිනයේදීය. එයින් සතියකට පමණ පෙර චීන හා ඉන්දියානු නායකයන් දකුණු අප්‍රිකාවේ හමුවී තිබුණු නමුදු දෙරටේ ගැටුම අනවරතය. එය සීතල යුද්ධයකි. නව සිතියමට අනුව තායිවානය චීනයට අයත් ප්‍රදේශයකි. එසේම ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ අක්සායි චින් සානුව නිල චීන භූමි ප්‍රදේශයක් ලෙස පෙන්වීමත් සමඟ නව දිල්ලිය කලබලයට පත්ව තිබේ. ඉන්දිය විදේශ ඇමැති ජයිශන්කර් පවසා තිබුණේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. නමුත් චීනය දිල්ලිය ප්‍රකෝප කරන්නේ මන්ද? අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසියානු තරගාවලිය සඳහා චීනයට යන ක්‍රීඩකයින්ට එරට තානාපති කාර්යාලයෙන් නිකුත් කරන්නේ ස්ටේපල් ගැසූ වීසාවකි. මෙයින් කියන්නේ චීනය අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිනොගන්නා බවයි. චීනය කියන්නේ ඉන්දියාව තම භුමියෙන් වර්ග කිලෝමීටර් 90000ක් අල්ලාගෙන සිටින බවත් අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය යනු දකුණු ටිබෙටය බවයි. පසුගිය අප්‍රේල් මාසයේදී චීන ප්‍රකාශිකාවක් සඳහන් කර තිබුණේ දකුණු ටිබෙටය සැමවිටම තමන්ගේ භූමිය බවයි.

මේ අතර ඉන්දියා විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය හා ටිබෙටය බටහිර චීනයට සම්බන්ධ කරන ඉහළ උන්නතාංශ උපාය මාර්ගික කොරිඩෝවක් වන අක්සායි චින් ඉන්දියාවට අයත් බවත්, චීනයේ මායිම් පිළිබඳ ප්‍රශ්නය සංකීර්ණ බවත්, මෙලෙස දේශ සීමා සිතියමක් නිකුත් කිරීම කිසිදු පදනමක් නොමැති බැවින් මෙම සිතියම ප්‍රතික්ෂේප කරන බවයි. ඉන්දියාව සමග එක්ව මැලේසියානු රජය විසින් ද මේ සිතියමට එරෙහිව විරෝධය පළකර ඇත්තේ තම මුහුදු සීමාවේ කොටසක් ද මේ හරහා චිනය විසින් එක්කරගෙන තිබෙන නිසාය. සැප්තැම්බර් 09 හා 10 දෙදින තුළ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ජී 20 සමුළුව සඳහා චීන ජනපති ශී ජින්පින් සහභාගි වීමට නියමිතව ඇති නමුත් මේ සිතියම් අර්බුදයට විසඳුමක් නැත. ඉන්දියාව චීනය කොටුකරගැනීමට දඟලන අතර චීනය ද දිල්ලිය ආණ්ඩුව එකවිට වික්ශිප්ත කරයි. චීනය හොලවන්නට උඩඟු බ්‍රහ්මණයන්ට නොහැකිය. එය ප්‍රකට සත්‍යයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment