දැන දැනම පිරමීඩ උගුලට හසුවීම

3486

මුදල් ඉපයීමට අපට කායිකව හෝ මානසිකව වෙහෙස මහන්සි වීමට සිදු වේ. එහෙත් ලෙහෙසියෙන් මුදල් උපයන ක්‍රම ගැන නොයෙකුත් ප්‍රවර්ධනයන් ද සිදු වෙමින් තිබේ. කොරෝනා කාලයේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ආකාරයෙන් මෙවැනි ප්‍රවර්ධන කරළියට පැමිණීමේ වර්ධනයක් සිදු වූ බව ද අපට නිරීක්ෂණය කළ හැකිය. එසේම ඔබ දන්නා හඳුනන අය ද කෙටි කලකින් පහසුවෙන් මුදල් ඉපයිය හැකි නොයෙකුත් ආයෝජන ක්‍රම (යෝජනා ක්‍රම) ගැන ඔබට කරුණු කියා ඇතුවා ද විය හැකිය. මේවා අතර නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ද තිබේ. එවැනි ජාවාරම් ප්‍රවර්ධනය කිරීමට ද පිරමීඩ ජාවාරම්කරුවෝ පසුගිය කොරෝනා කාලයේ සිටම කටයුතු කළහ. කොරෝනා වසංගත තත්ත්වයෙන් සහ ඉන් පසුව අප මුහුණ දුන් ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගෙන් බහුතරයක් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් වූ බව ද අපි දනිමු. ඔවුන්ගේ ආදායම් මට්ටම් අඩු විය. ව්‍යාපාර කටයුතු බොහොමයක් බිඳ වැටිණි. මේ තත්ත්වයන් නිසා ද ඇතැම් අය මෙවැනි පහසුවෙන් මුදල් ඉපයිය හැකි බවට සිදුකරන රැවටිලිකාර ප්‍රවර්ධනයන්ට හසු වූවා විය හැකිය. ඇතැම් දැනඋගත් අය පවා මේවායේ ගොදුරු බවට පත්ව තිබේ.

මේ පසුබිම තුළ අපට කිව හැක්කේ මේ පිරමීඩ ජාවාරම් මැඬලීම සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම නිරන්තරයෙන්ම මහජනයා දැනුවත් කිරීම යන දෙකම අතිශයින් වැදගත් බවයි. නීතියෙන් පමණක්ම පිරමීඩ ජාවාරම් මැඬලීම සිදුකළ නොහැකි බව ද අපි පිළිගනිමු. මේ නිසා මේ සම්බන්ධයෙන් මහජනයාගේ දැනුම, මූල්‍ය සාක්ෂරතාව ද ඉතා වැදගත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙන්ම මාධ්‍යවේදීන් වශයෙන් අප විසින් ද මේ සමබන්ධයෙන් වරින් වර කොතෙකුත් මහජනයා දැනුවත් කළත් මේ ජාවාරම්වලට හසුවෙන පිරිසක් ද සිටිති. ඒ නිසා දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් ද නොවේ. අඩු තරමේ පවතින නීතිය හෝ දැඩිව ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිකර ගත යුතු වේ.

පිරමීඩ ජාවාරම් මර්දනය කිරීම

දැන දැනම පිරමීඩ උගුලට හසුවීම

මේ පිරමීඩ ජාවාරම් සියයට සියයක්ම මර්දනය කළ නොහැකි බව ඇත්තය. ඒවා කළින් කලට නොයෙකුත් නම් වලින් හා ස්වරූපයන්ගෙන් කරළියට එයි. එහෙත් මේ පිරමීඩ ජාවාරම් මැඬලීම සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම මේවාට හසු නොවී සිටීමට මේ ගැන නිරන්තරයෙන්ම මහජනයා දැනුවත් කිරීම යන ක්‍රියාමාර්ග දෙකම වැදගත් වන්නේ මේ නිසාය. එමගින් මේවාට ගොදුරු වන පිරිස් සැලකිය යුතු දුරකට අඩුකරගත හැකි බව අපගේ අදහසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙන්ම මාධ්‍යවේදීන් වශයෙන් අප විසින් ද වරින්වර මහජනයා දැනුවත් කළත් නීතිය ක්‍රියාත්මක වීම නම් හරිහැටි සිදුවෙන බවක් පෙනෙන්නට නැත. එහි බලවත් අඩුපාඩුවක් තිබේ. ඒ ගැන ද අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

පිරමීඩ යෝජනා ක්‍රමයක් යනු කුමක් ද

මේ කියන පිරමීඩ යෝජනා ක්‍රමයක් යනු කුමක් ද ? යම් යෝජනා ක්‍රමයක් යටතේ කිසියම් පුද්ගලයකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවා ගැනීමේ හිමිකම ලබාගැනීම සඳහා ගෙවීමක් කර ඒ සඳහා ආදායමක් (යම් ප්‍රතිලාභයක්) ලබාගන්නා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස අර්ථ දැක්විය හැකිය. මෙහි වෙනත් අය බඳවාගැනීම යන ලක්ෂණය ඉතා වැදගත්ය. කුමන නම්වලින් කවර ස්වරූපයන්ගෙන් පිරමීඩ ජාවාරම් කරළියට පැමිණියත් මේවා හඳුනා ගැනීම සඳහා මේ වෙනත් අය බඳවාගැනීම යන ලක්ෂණය ඉතා වැදගත් වේ. කෙසේ හෝ මෙවැනි යෝජනා ක්‍රමයකට අලුතෙන් බඳවාගනු ලැබූ අය ද තවදුරටත් වෙනත් අය බඳවා ගැනීමේ අයිතිය
ලබාගැනීම සඳහා ගෙවීමක් කරන අතර අලුතෙන් අය බඳවාගැනීම වෙනුවෙන් යම් ආදායමක් හෝ ප්‍රතිලාභයක් ලබයි.

සැලසුම්සහගත පාරිභෝගික වංචාවක්

කල්යෑම සමග සිදු වන්නේ නවකයන් විශාල ස්ථරවලින් මෙම යෝජනා ක්‍රමයට හඳුන්වා දීමත් සමග සහභාගි වන්නන්ගේ රාශීගත ධූරාවලිය පිරමීඩයක් ලෙස නිර්මාණය වීමයි. මෙවැනි යෝජනා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස හඳුන්වන්නේ මේ නිසාය. පිරමීඩ යෝජනා ක්‍රමයක තවත් සුවිශේෂ ලක්ෂණය තිබේ. එනම් එකිනෙක මට්ටමේ දී නවක සහභාගිවන්නන් ලෙස යෝජනා ක්‍රමයට ගොදුරුවන සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණියක ආකාරයෙන් වේගයෙන් වර්ධනය වීමයි. එවිට පිරමීඩ යෝජනා ක්‍රමයෙහි පහළ මට්ටමේ විශාල ගොදුරු වූ පිරිසක් සිටී. මේ නිසා විශාල පිරිසකට පිරමීඩ ක්‍රමය බිඳවැටෙන අවස්ථාව වන විට තමන් එම යෝජනා ක්‍රමයට යෙදූ මුදල් අහිමි වීම වැළක්විය නොහැකිය. ඒ නිසා පිරමීඩ යෝජනා ක්‍රම සැලකෙන්නේ සැලසුම් සහගත පාරිභෝගික වංචා ලෙසයි. මේවාට ගොදුරු වන පුද්ගලයන්ට පුද්ගලිකව සිදුවෙන පාඩුවට අමතරව මේ ජාවාරම් රටක ප්‍රචලිත වීමෙන් ආර්ථිකය මත ද අහිතකර තත්ත්වයක් ඇති වේ. මේ හේතුවෙන් පිරමීඩ යෝජනා ක්‍රම ලංකාවේ මෙන්ම වෙනත් රටවල ද තහනම් කර තිබේ. පිරමීඩ ක්‍රම තහනම් කිරීම සඳහා ලංකාවේ කළේ 1988 අංක 30 දරන බැංකු පනත අදාළ නියමයන් අඩංගු වන පරිදි සංශෝධනය කිරීමයි. ඒ අනුව එම පනතේ මෙසේ සඳහන් වේ.

‘සහභාගිවන්නන් උපයන ප්‍රතිලාභ

අ. සහභාගිවන්නන් සංඛ්‍යාව වැඩිවීම

ආ. යෝජනා ක්‍රමයට සහභාගිවන්නන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත

ප්‍රධාන වශයෙන් තීරණය වන්නා වූ යෝජනා ක්‍රමයක් කිසිම තැනැත්තකු විසින් කෙලින්ම හෝ අන් ආකාරයකින් ආරම්භ කිරීම, අර්පනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම නොකළ යුතුයි.

නීතියේ ප්‍රතිපාදන

බැංකු පනතේ සඳහන් මේ විධිවිධාන කඩකරන ඕනෑම තැනැත්තෙක් නීතියෙන් වරදකරුවකු වේ. එවිට බරපතළ වැඩ ඇතිව හෝ නැතිව අවුරුදු තුනකට නො වැඩි සිර දඬුවමකට හෝ රුපියල් මිලියන එකක් නොඉක්මවන දඩයකට හෝ එම සිරදඬුවම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු වේ. එසේම වරද සිදු කරන ලද්දේ සිතා මතාම හෝ දැන දැනම නැතහොත් එම ක්‍රියාව මගින් වෙනත් යම් තැනැත්තකුට අලාභයක් හෝ හානියක් සිදු වන බව දැන දැනම වන අවස්ථාවක ඔහු අවුරුදු තුනකට නො අඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන දෙකක් හෝ එම යෝජනා ක්‍රමයේ සහභාගිවන්නන්ගෙන් ලබාගත් බවට හෙළිවුන හෝ හෙළිකරන ලද එකතු වූ මුදලේ දෙගුණයක වටිනාකමින් යුත් ශ්‍රී ලංකා මුදල් යන දෙකෙන් වඩා වැඩි මුදලට සමාන දඩයකට ද ඔහු යටත් විය යුතු වේ. නීතියේ ප්‍රතිපාදන මේ ආකාරයෙන් තිබේ. මේ ගැන පසුගිය මාධ්‍ය හමුවක දී මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම මහතා මෙසේ පැහැදිලි කළේය.

‘වෙන අපරාධ නම් පොලිසිය ගිහින් අල්ලනවා, මේක බෑනේ. මහ බැංකුව කියන කම් ඉන්න ඕන කියල පොලිසියේ ඇතැම් අංශවල පවා මේ අදහස තිබුණ. නමුත් ඒක එහෙම නොවේ. මම නීතිමය තත්ත්වය පැහැදිලි කරන්නම්. මේක අපරාධමය වරදක්. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ස්ථානයක් හෝ අපරාධවලට නඩු පවරන තැනක් නොවේ. අපරාධ වරදක් බැංකු පනතේ වගේ තියෙනකොට කොහොම ද ක්‍රියාත්මක වන්නේ කියන එක අපරාධ නඩු විධාන සංග්‍රහය තුළින්ම තේරුම් ගන්න ඕන. අපරාධ නඩු විධාන සංග්‍රහය, සාමාන්‍යයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන වරදවල් සඳහා තියෙන්නේ. ඊට අමතරව වෙනත් නීතියක තියෙන වරදක් කොහොම ද සලකන්නේ කියන එක අපරාධ නඩු විධාන සංග්‍රහයෙ කියනවා. බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ තියෙන මේ වරද අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව ගත්තොත් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක්. ඒ වගේම තමයි මේ වරදේ දෙවන කොටස වෙන කෙනකුට හානියක් වන බව දනිමින්ම මේවා ප්‍රචාරය කරනවා කියන එක වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වගේම ඇප දිය නොහැකි වරදක් වශයෙන් සලකනව. මේ තත්ත්වය ගැන අප දන්නවා ප්‍රාදේශීය වශයෙන් පොලිස් ස්ථානවලට දැනුමක් නෑ. නමුත් ඇතැම් අවස්ථා තියෙනවා ඉතිහාසයේ වැල්ලව සහ මහව වගේ පොලිස් ස්ථානවල නිලධාරීන් තමන්ගේම ස්වෙච්ඡාවෙන් ගිහින් මේ වගේ ව්‍යාපාර කරන තැන් වටලලා පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ මහ බැංකුවට දැන්නුව අපට පුළුවන් නම් විශේෂඥ සහාය ලබා දෙන්න කියල. ඒ උසාවිවල නඩු පැවැත්වෙන කොට මහ බැංකු නිලධාරීන් සම්බන්ධ වෙනවා ඒ විශේෂඥ සාක්ෂිය ලබා දීම සඳහා. ඇත්තටම බැංකු පනතේ අපට තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය දෙන්න කියල. එහෙම නැතුව එම ආයතන නිශ්චය කරන්න කියලවත් බැංකු පනතේ නෑ. නමුත් අපි ඒක සමාජීය වගකීමක් විදියට මූල්‍ය පද්ධතියට වන බලපෑම සලකල කරගෙන යනවා. නමුත් ඕනෑම ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් කියන එක දැන් අපි පොලිසියටත් පැහැදිලි කරලා දීල තියෙනවා. මාධ්‍යවේදීන් වශයෙන් අපි ඔබගෙනුත් ඉල්ලනවා ඒ පැහැදිලි කිරීම තවදුරටත් ගෙනියන්න කියල.’

නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම

ඇත්ත වශයෙන්ම සිරිකුමාර මහතාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්ය. මේ පැහැදිලි කිරීම අනුවත් බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ තියෙන ප්‍රතිපාදන දෙස බලන විටත් අපට පැහැදිලි වන්නේ මේ නීතියේ සඳහන් දේ හරිහැටි ක්‍රියාත්මක නොවන බවයි. ඔහුම සඳහන් කරන පරිදි වැල්ලව සහ මහව පොලිස් ස්ථානවල වැනි දුලබ සිද්ධි දෙකක් හැරෙන්නට නීතිමය බලය සහ හැකියාව තිබුණත් පොලිස් ස්ථාන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවෙන බව ඉතා පැහැදිලිය. ඒ සඳහා අවශ්‍ය දැනුම පොලිස් ස්ථාන මට්ටමට ගොස් නැති බව අපගේ අදහසයි. ඒ නිසාම ඕනෑම ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව සිරිකුමාර මහතා කියා සිටියත් එය සිදුවන්නේ නැත. කසිප්පු ළඟ තබා ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ යම් පොලිසියක් කරන වැටලීමක් තරමට පිරමීඩ ජාවාරම් ප්‍රවර්ධනය කරන ස්ථානයක් වටලා එම ප්‍රවර්ධකයන් අත්අඩංගුවට ගැනීම පහසු කටයුත්තක් නොවෙන බව ද සැබෑය. එය වහාම කළ හැකි දෙයක් නොවේ. එහෙත් එය කළ නොහැකි දෙයක් ද නොවේ. ඒ සඳහා වන හැකියාව සහ තාක්ෂණික දැනුම ක්‍රමයෙන් සෑම පොලිස් ස්ථානයක් දක්වාම වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට තාක්ෂණික සහ විශේෂඥ දැනුම ලබා දෙමින් මහ බැංකුවට දායක විය හැකිය. ඒ සඳහා මහ බැංකුවට මෙන්ම පොලිසියට ද අවශ්‍යතාවක් මෙන්ම වැඩපිළිවෙළක් ද තිබිය යුතු වේ. මේ නිසා ඕනෑම ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව ඇත්තක් වුවත් එය මහ බැංකුව විසින් පොලිසියට කියා තිබුණත් රට පුරා තිබෙන පොලිස් ස්ථානවලට ඒ පණිවිඩය හෝ තාක්ෂණික දැනුම ගලාගෙන ගොස් නැත. ඒ නිසා මේ ගැන ඇතැම් විට පොලිසියට ක්‍රියාත්මක වීමට එතරම් උනන්දුවක් නැතුවා විය හැකිය. එහෙත් මේ ජාවාරම් පැතිර යෑම නිසා රටේ ආර්ථිකයට සහ මූල්‍ය පද්ධතියට වන බලපෑම ගැන හරිහැටි දන්නේ පොලිසිය නොව මහ බැංකුවයි. ඒ නිසා පොලිසිය ලවා මේ නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමේ වැඩේ කරගන්නට වඩා උනන්දු විය යුත්තේ මහ බැංකුව නොවේ ද ? අප දන්නා තරමින් මෙය ප්‍රමාණවත් මට්ටමින් සිදුව නැති නිසා පිරමීඩ ජාවාරම්කරුවන් ප්‍රසිද්ධියේ රිසි සේ ගම් මට්ටමට පවා ගොස් මේ ප්‍රවර්ධන කටයුතු සිදු කර විශාල පිරිසක් මේවායේ ගොදුරු බවට පත් කරගෙන අමාරුවේ දමා ඇත. මහ බැංකුවම කියන පරිදි මේ සම්බන්ධයෙන් මහ බැංකුවට බොහෝ පැමිණිලි ලැබී ඇත්තේ සහ ලැබෙන්නේ මේ නිසාය.

නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කර ගැනීම

දැන දැනම පිරමීඩ උගුලට හසුවීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතදී පිරමීඩ් ජාවාරම් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන තුනක් නිකුත් කළේය. එයින් දෙකකින්ම ආයතන කිහිපයක්ම පිරමීඩ ව්‍යාපාර බවට නම් කර ප්‍රසිද්ධියට පත් කර ඇත. මේ නිසා එම ආයතනවලට රැවටුණු බොහෝ දෙනෙක් කලබල වී ඇත. එසේම මේ දිනවල පිරමීඩ ජාවාරම් ගැන සමාජය තුළ බොහෝ කතාබහට ලක්වෙමින් තිබෙන්නේ ද මේ නිසාය. දැනට මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාවලිය අනුව නම් යම් යෝජනා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට නම් කරන අවස්ථාව වන විට බොහෝ පිරිසක් එම ජාවාරම්වලට හසුව අමාරුවේ වැටී තිබේ. මහ බැංකුව එසේ නම් නොකළේ නම් තවත් පිරිස් අමාරුවේ වැටෙන බව ද ඇත්තකි. මේ නිසා අවශ්‍ය කරන්නේ මේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන අවස්ථාවේදීම මේ ගැන නීතිය ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක් ඇති කර ගැනීමයි. බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ තියෙන ප්‍රතිපාදන අනුව නම් මේවා ප්‍රවර්ධනය කරන අවස්ථාවේ දීම නීතිය ක්‍රියාත්මක කළ හැකි වේ. සිරිකුමාර කුඩාගම මහතා පැහැදිලි කරන්නේ ද එයයි. එහෙත් තවමත් මහ බැංකුව විසින් නිශ්චය නොකළ පිරමීඩ යෝජනා ක්‍රමයක් නම් එය ඔප්පු කිරීමේ ගැටලුව තිබේ. ඒ නිසා යම් යෝජනා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට ඔප්පු කළ යුතු නිසාත් මෙය තාක්ෂණික කරුණක් නිසාත් මෙය ප්‍රායෝගිකව සිදු කිරීමේ අපහසුවක් තිබේ. මේ නිසා අප සිතන්නේ මහජන පැමිණිලි ලැබුණු වහාම මේවා ගැන මන්දගාමී නොවී අප්‍රමාදව විමර්ශනය කර එම යෝජනා ක්‍රම පිරමීඩ යෝජනා ක්‍රම ද යන්න ඉතා ඉක්මනින් නිශ්චය කිරීම ද අවශ්‍ය වේ. ඒ සඳහා තාක්ෂණික හැකියාව සහ විශේෂඥභාවය මහ බැංකුවට තිබේ.

පොලිසියේ වගකීම

මේ අප කියා සිටියේ පිරමීඩ ව්‍යාපාරයක් බවට තවමත් නිශ්චය නොකළ යෝජනා ක්‍රම ගැනය. එහෙත් මහ බැංකුව පිරමීඩ ව්‍යාපාරයක් බවට නම් කළ පසුවත් ඒ ගැන ගම් මට්ටමින් නොයෙකුත් රැවටිලි සහගත කතා කියමින් මහජනයා මුළා කරමින් ඒවා තවදුරටත් ප්‍රසිද්ධියේම ප්‍රවර්ධනය කරන බව ද අපට දැනගන්නට තිබේ. ඒවා ඈත ගම්වල පවා සිදුවේ. ඔන්ලයින් ආකාරයෙන් සහ සූම් මීටින් හරහා ද සිදුවේ. ඒවා සම්බන්ධයෙන් නම් පිරමීඩ ව්‍යාපාරයක් බවට ඔප්පු කිරීම පිළිබඳ ගැටලුවක් ඇති නොවන බව අපගේ අදහසයි. එහෙත් මෙවැනි ප්‍රවර්ධනය කරන අවස්ථා සම්බන්ධයෙන් මහ බැංකුවට ගම් මට්ටමට ගොස් වැටලීම් කළ නොහැකිය. එය මහ බැංකුවේ රාජකාරියක් නොවේ. ඒ සඳහා මහ බැංකුවේ තාක්ෂණික සහ විශේෂඥ සහාය ද ඇතිව පොලිසිය ක්‍රියාත්මක විය යුතු වේ. ඒ නිසා අප සිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය එක්ව මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ නිසා මේ ගැන මහ බැංකුවේ සහ පොලිසියේ අවධානය යොමු කළ යුතුව තිබේ. එසේ නැතහොත් මහ බැංකුව පිරමීඩ ව්‍යාපාර බවට නම් කරන ආයතන සම්බන්ධයෙන් පවා බැංකු පනතේ පවතින නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවනු ඇත.

මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම මාධ්‍ය හමුවල දී අපට කියන බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ ප්‍රතිපාදන ගැන අප කියා සිටින්නේ මේ නීතිය එම වගන්තියේ වචනවලට පමණක් සීමා වී ඇති තත්ත්වය වෙනස් කරගත යුතු බවයි. මේ නිසා අවශ්‍ය කරන්නේ නීතියේ ප්‍රතිපාදන පොලිස් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වී හෝ ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමයි. එසේ නොවීම නිසා රට පුරා පිරමීඩ ජාවාරම් පිළිබඳ ප්‍රවර්ධන කටයුතු ඉතා ප්‍රසිද්ධියේ ජයටම සිදු වේ. නීතියෙන් මේ පිරමීඩ ජාවාරම් ප්‍රවර්ධනය තහනම් නමුත් ඊට එරෙහිව කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක නොවේ. මහව සහ වැල්ලව උදාහරණ දෙක ගැන පමණක් කතාකර කර අප සතුටු විය යුතු නොවේ. ඒ තත්ත්වය අනිත් පොලිස් ස්ථාන දක්වා ද ව්‍යාප්ත කරගත යුතු නොවේ ද ?

නිශ්චය කළ ආයතනවලට නඩු පවරා තිබේ ද ?

මේ නිසා මහ බැංකුවට මහජන පැමිණිලි ලැබී යම් යෝජනා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට නිශ්චය කරන අවස්ථාව වන විට සිදුවිය යුතු දේ බොහෝ දුරට සිදුවී හමාරය. මේ නිශ්චය කළ ආයතන ගැන මහ බැංකුව විසින් අපරාධ නඩු පැවරීම සඳහා නීතිපතිවරයාට යොමු කර තිබුණත් එම ආයතනවලට නඩු පවරා තිබේ ද යන්න හෝ ඒවාට කුමක් සිදු වූයේද යන්න ගැන ද අපට දැනගන්නට නැත. මහ බැංකුව විසින් පිරමීඩ ව්‍යාපාර ලෙස නම් කර නීතිපතිවරයාට යොමු කර ඇති ව්‍යාපාරවලට හෝ ඉන් කොපමණ ප්‍රමාණයකට නීතිපතිවරයා විසින් මේ වන විට නඩු පවරා තිබේ ද ? පිරමීඩ ජාවාරම් සිදු කිරීම අපරාධමය වරදක් නම් මේ ජාවාරම් සිදුකරන ආයතන විසින් කිසිදු බයක් සැකක් නැතුව මහ බැංකුවේම නම පවා සඳහන් කරමින් කරන ඇතැම් රැවටිලිකාර ප්‍රකාශ සම්බන්ධයෙන් මහ බැංකුව හෝ නීතිය ක්‍රියාත්මක කරන අංශ මේ වන විට ගෙන ඇති පියවර කුමක් ද ? සිදු කළේ මහජනයා දැනුවත් කිරීම පමණක් ද ? එය ප්‍රමාණවත් ද ? ඒ අයට එරෙහිව පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරක් ගෙන තිබේ ද ? මේ සම්බන්ධයෙන් ලැබුණු මහජන පැමිණිලි ගැන මහ බැංකුව ගත් පියවර කුමක් ද? මේ ගැන ද මහජනයා දැනුවත් කළ මැනවි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment