නාලන්දයේ ශිෂ්‍යත්වය ලියූ දරුවන් පිරිසකට කටුවැඩ කොළ දී නැහැ

75

ඩෙස්ක් එකේ ලියා කටුවැඩ කරන්න කියලා

පැවැති ශිෂ්‍යත්ව විභාගයේදී කොළඹ 10 නාලන්ද විද්‍යාලයේ ශාලා අංක 06 හි සිසු දරුවන් කටුවැඩ කිරීම සඳහා විභාග පරීක්ෂකවරියගෙන් කොළ ඉල්ලා සිටියදී එම කොළ ලබානොදුන් බවට දරුවන් විසින් දෙමාපියන්ට දැනුම් දී ඇත.

එම දැනුම්දීමට අනුව දරුවන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස දරුවන්ගේ දෙමාපියන් විදුහල්පතිවරයාට පැමිණිලි කර විභාග දෙපාර්තමේන්තුව ද දැනුවත් කළ බව දෙමාපියන් කිහිපදෙනකුම ‘දිවයින’ට පැවසූහ.

දරුවන් කටුවැඩ කිරීම සඳහා කඩදාසි ඉල්ලා සිටි අවස්ථාවේදී විභාග පරීක්ෂකවරිය විසින් කඩදාසි තමාට ලැබී නොමැති බවත් ඩෙස්ක් එක මත ලියා කටුවැඩ කරන ලෙසත් එසේ නොමැති නම් මනෝමයෙන් ගණිතය ගැටලු විසඳා ගන්නා ලෙසත් දරුවන්ට දැනුම් දී ඇති බව ද එම දෙමව්පියන් පැවසූහ.

ඇතැම් දරුවන් ප්‍රශ්න පත්‍රයේ කටුවැඩ කර ඒවා මකා ප්‍රශ්න පත්‍ර භාරදී ඇති බවත්, එමගින් පිරිසිදුකම බලා ලකුණු දීමේදී තමන්ට අසාධාරණයක් සිදුවේ දැයි දරුවන් තමන්ගෙන් විමසූ බවත් එම දෙමාපියෝ පැවසූහ. මෙවැනි තත්ත්වයක් ඇති වූයේ දරුවන්ගේ වරදින් නොවන බැවින් තම දරුවන්ට සාධාරණයක් සිදුකර දෙන ලෙස ද එම දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment