“මාසික වැටුප මදි” කියා ලියා තබා පොලිස් කොස්තාපල් ගෙදර යයි

2340

මාසිකව ලැබෙන වැටුප රාජකාරි කිරීමට තරම්වත් ප්‍රමාණවත් නොවන බව දෛනික තොරතුරු සටහන් පොතෙහි සටහනක් තබා නුංගමුව පොලිස් ස්ථානයේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21දා) පෙරවරුවේ සිය නිවස බලා පිටත්ව ගොස් ඇති බව එම පොලිසියෙන් වාර්තා වේ.

මෙලෙස පොලිස් සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ පොලිස් සේවයේ වසරක පමණ කාලයක් සේවය කළ පොල්ගම්පල වරලස්පිටිය ප්‍රදේශයේ තරුණයෙකි. පොලිස් සේවය අතහැර දමා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයා සිය පුහුණුව අවසන් වීමෙන් අනතුරුව වේයන්ගොඩ නුංගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත.

රාජකාරි කිරීමේදී ලැබෙන වැටුප සේවය කිරීමටවත් ප්‍රමාණවත් නොවන බවත් රාජකාරියේදී ඇතිවූ විවිධ අපහසුතාවලට මුහුණ දීමෙන් තමන් දැඩි ලෙස මානසික පීඩනයකට ලක්වූ බවත් ඔහු සේවය හැරදා පොලිස් ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ අදාළ තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇති බව ද වාර්තා වේ.

තොරතුරු සටහන් පොතේ අදාළ සටහනට අමතරව තමා පදිංචි වරලස් පිටිය පොල්ගම්පල ලිපිනයට යන බවටද එහි සටහන් කර මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා කිසිවෙකුටත් නොදන්වා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත.

අදාළ සිද්ධිය දැන ගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් වෙත මේ බව වාර්තා කිරීමට ද පොලිසිය පියවර ගෙන ඇත.
වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment