ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිම පක්ෂයක් සමග සන්ධානගතව බලය පිහිටුවන්නේ නෑ

70

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ඡන්ද දායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත වී පළාත් පාලන ආයතන පිහිටුවීමේ අදහසක් ජාතික ජන බලවේගයට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (07දා) පැවසීය.

එසේ වුවද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති වලට එකඟ ස්වාධීන පුද්ගලයන්ට සිය බලවේගය සමග එක්වීමට අවස්ථාව ඇති බවත්, එසේ එක්වන්නේ නම් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමේ ගැටලුවක් නොමැති බවත් හෙතෙම කීවේය.

මෙවර මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයක් ලබා ඇති බව කී හෙතෙම විපක්ෂයේ පක්ෂ එකට එකතු වී “අපේ ගොඩ වැඩි” යැයි කීම යථාර්ථය නොවන බවත් පැවසීය.

අනෙකුත් පක්ෂ, කොට්ඨාස පරාජයට පත්වූවත් මන්ත්‍රී ධුර සැලකිය යුතු ප්‍රමාණයක් හිමිකර ගත්තේ පවතින ඡන්ද ක්‍රමයේ ගැටලුව නිසා බවද ඒ මහතා කීවේය.

මේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය පටන් ගත් නව දේශපාලන සංස්කෘතිය ගමට ගෙනයෑමට හැකිවීමක් බවත් එය රටක් වශයෙන් ජයග්‍රහණයක් බවත් හෙතෙම කීවේය.

ජාතික ජන බලවේගය දිනවා රටත් ගමත් දිනවීමට ශක්තිය දුන් සියලුදෙනාට ස්තුතිය පුද කරන බව පැවසූ හෙතෙම ජනතාව පැතූ වෙනස අනිවාර්යයෙන්ම සිදුකරන බවත් කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (07දා) එම අදහස් පළ කළේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්න රත්නසේකර


advertistmentadvertistment