අයවැයෙන් 1.3% කට වැඩි ආර්ථික වර්ධනයක් ලබාගත හැකියි – රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

48

බදු පිට බදු ගැහැව්ව කියලා රටක් හැදෙන්නේ නැහැ – කබීර් හෂීම් (සජබ)

ආර්ථිකය ගැන අපිට නගන චෝදනා ප්‍රතික්ෂේප කරනවා අයිතීන් නැති කරන්න කතා කරන අය කරපු දේවල් අපිට මතකයි – මහින්ද රාජපක්ෂ (ශ්‍රීලපොපෙ)

මොන බාධක තිබුණත් ජනාධිපති රට යම් මට්ටමකට ගෙනාවා – නිමල් ලංසා (ශ්‍රීලපොපෙ)

මෙම අයවැය ක්‍රියාත්මකවීම තුළින් ලබන වසරේදී සියයට 1.3 කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආර්ථික සංකෝචනයවීම ද මේ වසරේ අවසන් කාර්තුවේදී නැති වන බවද ඒ මහතා කියා සිටියේය.

අයවැය පිළිබඳව 7 වැනි දිනටත් ඊයේ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

විවාදය ආරම්භ කරමින් කතා කළ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ)

මෙරට ආර්ථිකය විනාශ කරපු අයට දඬුවම් දීමට කොමිසමක් පත් කරන්න කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලුවා. නමුත් ඔහුට ඒ ක්‍රියාමාර්ගය ගන්න බැරි වුණා. නමුත් අධිකරණය ආර්ථිකය ඝාතනය කළ වැරදිකරුවන්ට හරි තීන්දු දුන්නා.

ආයෝජන ශක්තිමත් කරන්න දිරිගැන්විය යුතුයි. අපනයන දිරිගැන්විය යුතුයි. ඒ කිසිවක් නොකර බදු වලින්ම ආදායම ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. බදු වලින්ම රටක් හැදෙන්නේ නෑ. ණය අඩු වෙන්නේ නෑ. 2023 වසරේ පොලිය පමණක් රුපියල් බිලියන 2123ක්. මේවා ගෙවන්න ක්‍රම ජනපති යෝජනා කළේ නෑ.

රාජ්‍ය ණය දැන් ඩොලර් බිලියන 96යි, බිලියන 56 කට තිබුණේ. මේ රට බංකොලොත් කළෙත් වුවමනාවෙන්මයි. ඒ නිසා වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුයි.

ණය ගෙවීමේදී සම බිමක් හදලා දුප්පතුන්ට පෝසතුන්ට බෙදී යන ආකාරයට හැදුවේ නෑ. එක කණ්ඩායමකට පමණක් බර පැටෙව්වා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපි විරුද්ධ වුණා. ආර්ථසාධක අරමුදල පමණයි මීට යොදා ගත්තේ.

අරගලයෙන් පස්සෙවත් ආණ්ඩුව හැදුනේ නෑ. සිස්ටම් චේන්ජ් කරන්න නම් ආණ්ඩුව මුලින්ම ඉවත් විය යුතුයි.

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවසන් අදියරට පැමිණ තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළා. තම ගැටලු විසඳාගත යුතුයි. දැන් ගෝලීය ප්‍රශ්නත් ඇති වී තිබෙනවා.

සංචාරකයෝ මේ මාසේ 17 වැනිදා වන විට 75000 ක් පමණ ඇවිත් තිබෙනවා. දැන් කාටත් ඕන විදිහට ණය ගන්න බැහැ. ආර්ථිකය මෙහෙයවීම ක්‍රමිකව කරනවා.

කවුරු ආණ්ඩු කළත් අවශ්‍ය මුදල් සොයා ගත යුතුයි. ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක විය යුතුයි. දුෂ්කර අවස්ථාවක් වුවත් අධ්‍යාපන, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගන්න.

අපනයන සියයට 33 ක් වැටිලා. ජාත්‍යන්තර ප්‍රශ්න නිසා මේ වැටීම සිදුව ඇත්තේ. මේ හැම තත්ත්වයකටම අපි මුහුණ දිය යුතුයි. කවුරු බලයේ හිටියත් යථාර්ථයට මුහුණ දිය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ (ශ්‍රීලපොපෙ)

පෞද්ගලික අරමුණුවලින් බැහැර වෙලා අපි අයවැය දිහා බැලිය යුතුයි. හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් පෙන්වාදීමට හැකිවිය යුතුයි. රට සුබවාදී දිශාවකට ගෙනයෑමට මෙය අවස්ථාව කරගත යුතුයි.

අපි ජනතාවගේ පැත්තේ ඉන්නේ. ඔවුන්ට වැඩදායි අයවැය යෝජනාවලියකට අපගේ උපරිම සහයෝගය ලබාදෙනවා. එහෙම සහාය දෙන්නේ අයවැයේ අඩුපාඩු වහා නිවැරදි විය යුතු තැන් නැති නිසා නොවෙයි. අපි විශ්වාස කරනවා ජනතාව සමග රටේ ආර්ථිකය ඉක්මනින් නැගිටිය යුතුයි කියලා. ඒ සඳහා අවශ්‍ය පසුබිම හදන වැඩපිළිවෙළකට අපි හැමදාම සහාය දෙනවා.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය අනාගතවාදී අයවැයක් සේ අපි දකිනවා. පසුගිය අයවැය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය සකස් කර තිබුණා. මේ අවස්ථාව අපි අගය කළ යුතුයි. අයවැය තුළ දැඩි මූල්‍ය විනයක් පේනවා. එය රටකට අවශ්‍ය දෙයක්. මේවා පෙන්වමින් ජනතාව උසි ගන්වනවා පේනවා.

ජනතාවට අවශ්‍ය රට තිබෙන තැනින් ඉහළට එසවීම මිසක් කබලෙන් ළිපට වැටෙන්න නොවෙයි. ආර්ථිකය ගැන අපිට විශාල චෝදනාවක් නැඟුවා. මම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. එක එක අයගේ අයිතීන් නැති කරන්න කතා කරන උදවිය ඒ කාලේ කරපුව අපිට මතකයි. නමුත් චෝදනාව නැගූ පමණින් මඩවලට උත්තර දිය යුතු නෑ. මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේ හරි අයිතියක් නැති කරන්න කතා කරන අයගේ අයිතියත් රැකගන්න අමාරු බව දැන්වත් වටහාගන්න. බොහෝ දෙනකුට ව්‍යවස්ථාදායකයේ බලතල අමතක වෙලා. දශක දෙකක් ආපස්සට ගත්තත් මූල්‍ය කළමනාකරණයේ තීරණ ගත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්වයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (ශ්‍රීලපොපෙ)

අපි රජයේ දෙයක් පෙන්වාදෙන විට පොදුජන පෙරමුණ අයවැය පරාජය කරනවා කියලා හිතනවා නම් විපක්ෂයේ සමහරු මෝඩ චූන් ගන්නවා, ආණ්ඩු හදන්න හිතනවා. සමහරු හිතනවා හොද්දට ලුණු වැඩි වුණා කියලා බත බෙරි වුණා කියලා ගෑනිව දික්කසාද කරයි කියලා. දික්කසාද කරලා කාවද බඳින්නේ. කලින් දෙන්න හදලා බැහැ කියපු අයට බලය දෙන්න බැහැ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න (සජබ)

ජපානය, ජර්මනිය අර්බුද පාවිච්චි කරලා ඒ මතින්ම නැගී සිටියා. ඉන්දියාව අර්බුදයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර එමගින් නැගී සිටියා. ජාත්‍යන්තරය අද ආර්ථිකය කළමනාකරණය නොකරන හොඳම උදාහරණය ලංකාව කියනවා. උසාවිය ආර්ථික අර්බුදයේ විත්තිකරුවන් කවුද කිව්වා. අපි මේ ප්‍රශ්න කිව්වා. අවසානයේ අපිට හිරේ යන්න වුණා. අරගලයත් ඇති වුණේ මේ හේතු නිසයි. මේකට පහර ගහන්න එපා. දරාගන්න බැරි තත්ත්වයකට ආර්ථිකය පත් වුණා.

අර්බුදය තුළ මිනිස්සු අලුතෙන් හිතනවා. පක්ෂ හිතන්නේ පැරණි ක්‍රමයට.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

2022 දී අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් පසුබිමක නොවෙයි ජනාධිපති එදා හිටියේ. අස්ථාවරභාවයක් හා කඩා වැටීමක් සිදු වෙලා ගිනි ජාලාවක් මැද රට තිබුණේ. 2023 අයවැය හදන්න පුළුවන් වුණේ ජාත්‍යන්තරව සහාය දෙන නායකයන් සමග සාකච්ඡා කළ නිසයි.

ආර්ථික සංකෝචනය 4 වන කාර්තුව වනවිට නැති වේවි යැයි හිතනවා. මේ අයවැය ලේඛනය තුළින් සියයට 1.4 කට වැඩි ආර්ථික වර්ධනය වේගයක් අපට ලබන අවුරුද්ද වෙද්දි ලබාගන්න පුළුවන්.

එදා උද්ධමනය සියයට 90 යි. පසුගිය ඔක්තෝබර් වෙද්දි සියයට 1.5 ට අඩු වුණා.

ඉදිරියේදී අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථික ගමන් මගක යද්දී ලොව අන් රටවල ප්‍රතිපත්ති අනුගමනය කරලා ලබන වසර පළමු කාර්තුවේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ඉදිරිපත් කරනවා. ශක්තිමත් මූල්‍ය රාමුවක් හදාගන්න ඒ තුළින් පුළුවන්. අද පවතින ස්ථාවරත්වය නැගිටීමක් පෙන්නුම් කරන අවස්ථාවක්. එහි ප්‍රතිලාභ ජනතාවට බෙදී යනවා.

පවුල් ලක්ෂ 48 කට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන අයවැයක් බවට පත් වෙනවා. නැවත ආර්ථික කඩා වැටීමකට ගමන් නොගන්නා ශ්‍රි ලංකාවක ජනතාවක් බවට පත් වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

වර්ෂ 3 ක් ඇතුළත මිලියනයකට විදුලිය අහිමි වී තිබෙනවා. ආර්ථිකයේ දියුණුවක් මේ තුළින් පේන්නේ නෑ. රටේ ව්‍යාපාර කඩා වැටිලා. රැකියා නැති වෙලා. ජනතාවගේ අතට මුදල් ලැබෙන මේ ව්‍යාපාරවල දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. බදු කරණය මගින් පමණක් අයවැය පියවනවාද නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් ස්ථිරසාර ආදායම් මාර්ගයක් ඇතිකර ගන්නවාද කියා සිතා බැලිය යුතුයි.

මේ වෙලාව වනවිට නිෂ්පාදනය කඩා වැටෙනවා. රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. ජාතික සම්පත් සංවර්ධනය මුවාවෙන්, විකිණීමෙන් ජාතික සම්පත් විනාශ වෙනවා. මහල් නිවාස අයිතිය ලබාදීම ගැන අපි සතුටු වෙනවා. පැල්පත් වාසීන් ලක්ෂ ගණනක් ඉන්නවා ඔවුන්ට සරණක් අවශ්‍යයි.

ග්‍රාමීය මාර්ග හදන්න මුදල් වෙන් වෙනවා. නමුත් ගමේ පාරවල් පාලම් කැඩිලා.

කඳුළු ගෑස්වල ප්‍රහාරවලට වෙන් කරන සල්ලි හා තව මුදල් දාලා ශිෂ්‍ය සුබසාධනයට වැඩපිළිවෙළක් හදන්න. රුපියල් මිලියන 200 කින් විශ්වවිද්‍යාල හදන්න බෑ

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා (ශ්‍රීලපොපෙ)

ණය සීමාවීම ඉතා හොඳයි. රටක් විදිහට ඡන්ද පොරොන්දු නැතිව නිවැරදි තීන්දු ගන්න රජය සමත් වුණා.

ආර්ථික සංඛ්‍යා ලේඛන වර්ධනය කරගන්න අයවැය ලේඛනයට හැකි වුණා.

අද රට තිබුණු තත්ත්වය හැමෝටම අමතක වෙලා. ජනාධිපති රට භාර ගනිත්දී හැම අංශයක්ම කඩා වැටිලා තිබුණේ. රටපුරා උද්ඝෝෂණ, ණයවර ලිපි පිළිගන්නේ නෑ. මෙවැනි තත්ත්වයක් රටේ තිබ්බේ. මොන බාධක තිබ්බත් ජනාධිපති රට යම් මට්ටමකට ගෙනාවා. සංචිතය එදා බින්දුවට තිබ්බේ. අද ඩොලර් බිලියන 3.5 ක් වෙලා. ඇත්ත පිළිගන්න පුරුදු වෙන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ)

මේ රට තව තවත් ණය උගුලේ හිර කරන තැනකට යන්නේ. ණය ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 3500 කින් වැඩි කරගෙන.

ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අපනයන වැඩි කරන්න කතා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයක් අවශ්‍යයි. අපනයන වඩි කරගන්න කිසිම යෝජනාවක් අයවැයේ නෑ. ඩොලර් බිලියන 8 ට වැටී ඇති අපනයන ආදායම වැඩි කරගන්න ක්‍රම ඉදිරිපත් වී නෑ. අයෝජන අඩු වෙලා. ආයෝජන වැඩි කරගන්නත් කිසිම වැඩපිළිවෙළක් මෙහි නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment