ජනපතිගේ සාකච්ඡාවට ජාජබ එක්වන්නේ නෑ – සුනිල් හඳුන්නෙත්ති (ජාජබ)

74

පාර්ලිමේන්තුවේ අනුමැතිය නොගත් බැසිල්ගේ අයිඑම්එෆ් හොර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බැසිල් රාජපක්ෂ හොර රහසේ අත්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා පවත්වන සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය සහභාගී නොවන බව එම පක්ෂයේ ආර්ථික සභාවේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ ඉකුත් 12 වැනිදා පැවති ජාතික ජන බලවේගය පක්ෂයේ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

එයි.එම්.එෆ්. එකත් එක්ක අපේ පාලකයෝ එකතුවෙලා කාමරවල හදපු ගිවිසුම් ක්‍රියාත්මක කරන්න කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගත්තේ නෑ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරන වෙලාවේදී, නිව්යෝර්ක්වලදී එයි.එම්.එෆ්. එකත් සමග කළ සාකච්ඡාවල ලේඛන, අත්සන් කරපු ගිවිසුම් ලේඛන ඉදිරිපත් කරන්න කියලා, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව අර බැසිල් රාජපක්ෂ හොර රහසේ අත්සන් කරපු ගිවිසුම අද ක්‍රියාත්මක කරනවා. රනිල් වික්‍රමසිංහත් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒවා වෙබ්සයිට්වල පළ කළාට පස්සේ අපි ඒවා අරගෙන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. මේ රට අර්බුදයට පත් කළෙත්, ඒ අර්බුදයට පත්කරන්න ගිවිසුම් අත්සන් කළෙත්, රනිල් වික්‍රමසිංහලා විපක්ෂයේ අපිත් සමග සාකච්ඡා කොට එකඟතාවයන්ට ඇවිත් නොවෙයි.

අද ඒවායේ ප්‍රතිඵල විඳවා ගන්න බැරි වුණාට පස්සේ තව තවත් අර්බුදයට ගිහින් අපට සාකච්ඡාවලට කතා කරන එකේ තේරුමක් නැහැ. මේ සාකච්ඡාවට අපට එන්න කියන්නේ, සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා, රනිල් වික්‍රමසිංහගෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීමකට අනුවයි. මේ අර්බුදයෙන් ගොඩයන්න අපිව හවුල්කර ගන්නවා කියන මතයක් සමාජගත කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. අපවත් පටලවාගන්න උත්සාහ ගන්නවා. අයි.එම්.එෆ්. එකට අප සමගත්, අපට අයි.එම්.එෆ්. සමගත් සාකච්ඡාවකට යන්න අවශ්‍යයි නම් ඒ සඳහා ක්‍රමයක් තිබෙනවා. මීට ප්‍රථමත් අයි.එම්.එෆ්. එක සමග අපේ ආර්ථික කවුන්සිලය සාකච්ඡා කළා.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති තැනින් තැන අහුලාගෙන රනිල් වික්‍රමසිංහ කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කුලියාපිටිය රැස්වීමේදී මතු කරන්නේ 2019 දී ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරපු ‘දේශයේ අපේක්ෂාව’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන යෝජනා ප්‍රායෝගික නෑ කියන එක. වික්‍රමසිංහලා, රාජපක්ෂලා හවුලේ වට්ටපු රට ගොඩගන්න අපේ යෝජනා ප්‍රායෝගික නැහැ කියලා කියන්නේ රට ණය කරපු, රටේ උපදින දරුවෙක් ලක්ෂ 12කට වැඩිය ණයකාරයෙක් කරපු, දෙකෝටි විසිලක්ෂයක් ජනතාවට ඉන්න රටක් නැති කරපු, බෙහෙත් පෙත්තක් බොන්න විදිහක් නැති කරපු, අධ්‍යාපනය නැති කරපු, විශ්‍රාමිකයාට විශ්‍රාමික ජීවිතයක් නැති කරපු රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා. රනිල් වික්‍රමසිංහ කියනවා රනිල් වික්‍රමසිංහලා මේ රට වට්ටපු තරමට මේ රට ගොඩගන්න ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මදියි කියා. අපි මේ ප්‍රතිපත්ති සකස් කරන්නේ 2018 මහ බැංකු වාර්තා දත්තවලට අදාළව. ඒ දත්තවලට අනුව 2025දී ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළක් යටතේ අපි රට නගා සිටුවන හැටි කියා තිබෙනවා. මහ බැංකු කොල්ලකන විදිහට, අර්ථසාධකේ කොල්ලකන හැටියට 2022 රට බංකොලොත් කරන හැටි, බංකොලොත් කරන සැලැස්ම දන්නේ රනිල් වික්‍රමසිංහලා තමයි.

ජනතාව රවට්ටන්න රනිල් වික්‍රමසිංහලාට, සජිත් ප්‍රේමදාසලාට අදටත් කරන්න තිබෙන්නේ තුට්ටු දෙකේ වැඩ. හාල් කිලෝ දහයක් විස්සක් බෙදාදෙන එක. මිනිස්සු හිඟමනට පත්කරලා, නැවතත් ඒ ඇස්බැන්දුමක් හදන්න උත්සාහ ගන්නවා.

යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා මේ මාස දෙක තුන තුළ සූදානම් වෙනවා මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න. ඔවුන් දන්නවා ඔවුන්ට නැවත බලය ලබාගන්න බැහැ කියලා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කන්ඩම් කර, විකුණන්න නිමල් සිරිපාල කැසකවමින් ඉන්නවා. ලෝකයේ වටිනාම ගුවන් ගමනාන්තයක් තිබෙන, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ලෝකය තුළ නිමල් සිරිපාල ඇමතිවරයා මාධ්‍යවලට ඇවිත් අවිශ්වාසයක් ඇති කරනවා. මේ උත්සාහ ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කුණු කොල්ලයට විකුණා දැමීමටයි.

ටෙලිකොම් එක, ගෑස් එක විකුණන්න සූදානම් වෙනවා. මන්නාරම් ද්‍රෝණියේ සුළං බලාගාර ව්‍යාපෘතිය අදානිලාට දෙන්න සාකච්ඡා කරමින් තිබෙනවා. මන්නාරම ගැන විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා. එය අධි සංවේදී ප්‍රදේශයක් හැටියට ජාත්‍යන්තරව හඳුනාගත් සංචාරක කුරුල්ලන් යන තැනක්. මිලියන 15ක පමණ සංචාරක කුරුල්ලන් අවුරුද්දකට ලංකාව හරහා ගමන් කරනවා. මේක කියන්නේ “ග්ලෝබල් බයොලොජිකල් සෙන්ටර්’ එක සමීක්ෂණයක් අනුව කරන ලද ප්‍රකාශයක්. ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයන් සමීක්ෂණය කර තිබෙනවා. එවැනි තැනක සුළං බලාගාර හදන්න යනවා. අක්කර 10,000ක් පමණ මිනිසුන් පදිංචි ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුම් හදා තිබෙනවා. අවුරුදු 25කට ඩොලර් සත 97ක ස්ථාවර මිලකට සුළං බලය මිලදී ගන්න සැලසුම් හදා තිබෙනවා. මෙය දැන් ඩොලර් සත 22කට ගත හැකි දෙයක්. අපට 2044 වෙනකම් මිලදී ගැනීමට සිදුවෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා :

අද වන විට රටේ ආර්ථික තත්වය ඇති වුණේ කොහොමද? එයට වගකිව යුත්තේ කවුරුද? එය විසඳාගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හදනවා වෙනුවට ඒ සියල්ලට වගකිවයුතු කණ්ඩායම විසින්ම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න තිබෙන එකම පාර අයි.එම්.එෆ්. බවත්, අයි.එම්.එෆ්. එක සමග ගනුදෙනු කිරීමට සුදුසු කණ්ඩායම එම කණ්ඩායම බවත් එම ගනුදෙනු ඉදිරියට ගෙනයෑම තුළින් මෙම ප්‍රශ්න විසඳිය හැකි බවත් පවසමින් සමාජය තුළ මිථ්‍යාවක් හදාගෙන යනවා. අපිට මේ ප්‍රශ්නයේදී මහජනතාවගෙන් වරමක් ඉල්ලන්න සිදුවෙනවා. නැවතත් අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කර, විශේෂයෙන්ම ඉහළ මට්ටමේ තිබෙන විචල්‍යයන් පාලනය කරන්නෙත්, ආණ්ඩුවේ පිස්කල් කළමනාකරණය කරන්නේත් කොහොමද කියා සැලසුම් කිහිපයක් සකස් කොට තිබෙනවා. විශේෂයෙන් ආණ්ඩුවේ ආදායම සකස් කර ගන්නා ආකාරය, විදේශ විනිමය උපයා ගන්නා ආකාරය කොහොමද කියන එක. ඒ වගේම මේ ගත්ත ණය පිළිබඳව විමර්ශනයක් කොට, ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් සමග අනාගතයේදී රටේ ආර්ථිකය දියුණු කරන සංවර්ධන සැලැස්මක් එක්ක ඔවුන් එක්ක නැවත සාකච්ඡාවක් කරන්න අපට පුළුවන්කම තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment