ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීම වැරැදියි

417

පුරුෂ ලිංගයක් ඩොලර් 4000යි – ඒ සැත්කම් මිල ගණන් විශාලයි – විමල් වීරවංශ
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අභියෝගයට ලක් කිරීම නුසුදුසු යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) දින සඳහන් කළහ. එහිදී ප්‍රකාශ වූ අදහස් පහත පරිදිය.

මන්ත්‍රී විමල් වීරවංශ මහතා-

ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීම වැරැදියි. එහෙම අභියෝග කරන සංස්කෘතියකට අපි ගියොත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් වැඩකුත් නෑ. ජනාධිපති සතුටු වන විදිහේ තීරණ දෙන්න නම් මොකටද අපි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා එකක් තියාගන්නේ. ඒ වගේම බරපතලම ප්‍රශ්නය තමයි කාන්තාවන් බල ගැන්වීමේ පනත ඇතුළේ තිබෙන අන්තර්ගතය හරියට නොකියවීම. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරන්න යනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය වහලා දාන්න.

අනෙක කාන්තාවන් සවිබල ගන්වනවා නම් ඒ පනත කාන්තාවන්ට විතරක් සීමා වෙන්න ඕනා. නමුත් ඒ පනත සංක්‍රාන්ති

ලිංගිකයන්ටත් අදාළ කරගෙන තිබෙනවා. ඒ අය කාන්තාවන් වෙන්නේ කොහොමද? හෝමෝන ප්‍රශ්නයක් නිසා ලිංගිකත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණා කියලා ඒ අය කාන්තාවන් කියා හඳුන්වන්න පුළුවන්ද? ජීව විiාත්මක කාන්තාව බලාත්මක කිරීම ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් ජීව විiාත්මක කාන්තාව සවිබල ගැන්වීමේ මුවාවෙන් ලෝකය තුළ විශාල ජාවාරමක් දැන් සිදු වෙනවා. ඒ තමයි ලිංග විපර්යාස කිරීම සඳහා විශාල මිල මුදල් අය කිරීම. පුරුෂ ලිංගයක් ඩොලර් 4000යි. ඒ සැත්කම් මිල ගණන් විශාලයි. ඒවා කර ගත්තහම ජීවිත කාලෙටම බෙහෙත් බොන්න ඕනෑ. ඒ නිසා අපට පෙනෙන්නේ බටහිර ඖෂධ සමාගම්වල ඕනෑ එපාකම් මේ පනත අස්සට දාලා තිබෙනවා.

එම්.ඒ සුමන්දිරන් මහතා-

අද දින කථානායකතුමා කියෙව්වේ විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දුන් තීන්දුවයි. ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැන තීන්දුවක් කියෙව්වේ නෑ. ඒක කිව්වේ පසුගිය සතියේ. ජනාධිපතිතුමා කියපු අදහස ගැන පැහැදිලියි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන සෑම තීන්දුවකට ම තේරීම් කාරක සභා පත් කරන්න ගියොත් එය අවුල්සහගත වේවි. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් විනිසුරුවරුන් 10කු ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරලා විභාග කරන්න කියලා පාර්ලිමේන්තුවට ඉල්ලීමක් කරන්න පුළුවන්.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා-

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් පසුව ඒ පිළිබඳව විවාද නොකළ යුතුයි කියලා ස්ථාවර නියෝගවල තිබෙනවා. අපි ඒ තුළ සිටිය යුතුයි කියලා අප හිතනවා. ඒ වගේම ජනාධිපතිතුමා මේ සභාවේ සභිකයෙක් ලෙස ව්‍යවස්ථාවේ සලකන්නේ නෑ. ඔහු විධායකයයි. ඔහු විධායකය විදිහට ව්‍යවස්ථාදායකය ඇතුළට ඇවිත් ප්‍රකාශයක් කිරීම වැරදියි කියලා මම හිතනවා. එහෙම කිරීම ව්‍යවස්ථාදායකයේ තිබෙන බලය විධායකය විසින් භාවිතා කළා වෙනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා-

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලබන තීන්දුවල යම් දෝෂයක් තිබෙනවා නම් යම් කිසි ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයකට යමු. නැතුව එක් ආයතනයක් විසින් තවත් ආයතනයක් යටපත් කරන ක්‍රමවේදයකට යන්න එපා. ඒ වගේම කවුරු රට ගියත් නැතත් මම මගේ කටයුතු කරගෙන යනවා.

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සම්බන්ධ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ගැන සතුටු නෑ කියලා කියා සිටියා. ජනාධිපති තනි පුද්ගලයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඇවිත් කියන්නේ ඔහුගේ පුද්ගලික මතයද නැතිනම් ආණ්ඩුවේ මතයද කියන ගැටලුව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුවේ යම්කිසි වරදක් තිබෙනවා නම් ජනාධිපති කළ යුතුව තිබුණේ ආණ්ඩුව සහ විපක්ෂය කැඳවලා ඒ අයට තම අදහස ඉදිරිපත් කරන එකයි. එහෙම කරලා ඒ සාමූහික අදහසේ ප්‍රකාශකයෙක් ලෙස කතා කිරීම තමයි කළ යුත්තේ. නමුත් ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විවේචනය කර කතා කිරීම ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේක එක කාරණයක් විතරයි. ඒ වගේම ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේ කාලය දීර්ඝ කිරීම හෝ මැතිවරණ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු ගැන කතා කරන්න ගියොත් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා.

ඩලස් අලහප්පෙරුම මහතා-

ජනාධිපතිතුමා අද කළ ප්‍රකාශය මට නම් පෙනෙන්නේ මුට්ටිය දාලා බැලුවා කියලායි. මේක වැරදි පූර්වාදර්ශයක්. මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත තීන්දුවක් දිය යුතුයි. නමුත් පළාත් පාලන මැතිවරණය නොපැවත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා පැවරූ නඩුවේ තීන්දුව තවම ලබා දුන්නේ නෑ. විධායකය එවැනි කාරණා සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කරන්නේ නම් ඒක වරදක් නෑ. නමුත් ජනාධිපති මේ සභාව අද මේ විදිහට පාවිච්චි කිරීම යම් අප්‍රකාශිත අරමුණක් වෙනුවෙන් යොදා ගැනීම මා ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපති-

අපි මෙතැන බලය තියා ගන්නවාද නැද්ද කියන එකයි ප්‍රශ්නය තිබෙන්නේ. පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාවටයි. ඒ බලය දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි, ජනාධිපතිටයි. මේ අවස්ථාවේ ඒ ආයතන දෙකම එක තැන ඉන්නේ. අධිකරණ බලතල එන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙනුයි. මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය

ගැන කතා කළේ 2011දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එහි දෙවැනි පියවර දැන් කරලා තිබෙන්නේ. අපි මේ කටයුතු කරනකොට අධිකරණය කියනවා නම් මෙහෙම කරන්න එපා කියලා එතන ලොකු ප්‍රශ්නයක් තිබෙන්නේ.

ඉරාන් වික්‍රමරත්න මහතා-

අධිකරණය මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ට විරුද්ධව තීන්දු දීලා තිබෙනවා. ඒ වගේම බලන්න ඇමරිකාවේ ජෝ බයිඩන්ට විරුද්ධව තීන්දු දීලා තිබෙනවා. ඔහුගේ පුතාට විරුද්ධව තීන්දු දීලා තිබෙනවා. ට්‍රම්ප්ට විරුද්ධව තීන්දු දීලා තිබෙනවා. ඉන්දුනීසියාවේ හිටපු නායකයන් හිරේ යවලා තිබෙනවා. ජනාධිපති දැන ගන්න ඕනා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ කියලා. පොලිස්පති පත් කිරීමේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතුයි. පුද්ගලයන් ආරක්ෂා කරලා වැඩක් නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment