තරුණයෙක් ජනපති අමාරුවේ දමන ප්‍රශ්නයක් අසයි!

218

රට පුරා පැවැති මහවැසි හා තද සුළං තත්ත්වය ටිකෙන් ටික පහව යද්දී ගංවතුර හා නාය යෑම් වැනි ස්වාභාවික විපත්වල තීව්‍රතාවය ද ටිකෙන් ටික අඩුවන්නට විය. රට කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට පටන් ගත්තේය.

එහෙත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා අතරමග නතර කරන්නට සිදු වූ ඇතැම් දේශපාලන පක්ෂවල පිට පළාත් ක්‍රියාකාරකම්වල නම් කිසිත් ප්‍රගතියක් නොවීය. විශේෂයෙන්ම පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දකුණු පළාත් ඉලක්ක කරගෙන අරඹා තිබූ දේශපාලන වැඩසටහන් සියල්ල කල් දමනු ලැබීය. සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලට ද මේ ස්වාභාවික ආපදා තත්ත්වය මහත් බාධාවක් වී තිබුණු බව රහසක් නොවීය.

ඒ අතරේ රටේ දේශපාලන කතිකාව උණුසුම් කළ මාතෘකා නම් කීපයක්ම තිබිණි. එකක් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය පිළිබඳ කතාබහයි. දෙවැන්න ජනාධිපතිවරණයක් පවතීද, එසේත් නැත්නම් මහ මැතිවරණයක් පවතීද යන දෙගිඩියාවයි. ඒ අතරට මේ මෑතකදී අලුතෙන්ම ආ ප්‍රවාදය වූයේ ඔය දෙකම නොමැතිව ජනමත විචාරණයක් පවත්වා මේ ජනාධිපතිවරයා හා මේ පවත්නා රජය තවදුරටත් තබා ගැනීමට කරන ලද යෝජනාවයි.

ඡන්ද කල් දමන්න චන්න ගෙනා යෝජනාව…

මේ යෝජනා දෙක තුනම තිබියදී පසුගිය සතියේ තවත් කරුණක් පිළිබඳ රටේ අවධානය යොමු විය. ඒ වූ කලී දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පාවිච්චි කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධුරයේ කාලය දීර්ඝ කර ගැනීමයි. පුදුමයකට කාරණාව ඔය යෝජනාව පසුගිය සතියේ සමාජයේ හමුවේ තැබුවේ දේශපාලන ප්‍රවාහයක ක්‍රියාකාරී දේශපාලනඥයකු වීමයි.

සාමාන්‍යයෙන් මෙවන් යෝජනාවක් බලාපොරොත්තු විය හැකි රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයේ අයකුගෙන් වුවත් මේ යෝජනාව පැමිණියේ මෑතකදී පිහිටුවා ගත් සර්වජන බලය සන්ධානයේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් වීම බොහෝ දෙනෙකුගේ විමතියට කාරණාවක් විය.

ඔහු එම යෝජනාව ඉදිරිපත් කළේ යෝජනාවක් ලෙස නොව අදහසක් ලෙසය. ඒ අදහස මෙසේය.

“රනිල්ට ඕන නම් තවදුරටත් බලයේ ඉන්න… පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අරගෙන ජනාධිපති ධුර කාලය නැවත අවුරුදු හයට ගෙනල්ලා ව්‍යවස්ථා සංශෝධනයකින් ඒක කරන්න පුළුවන්. ඒ මොකද ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් පවත්වා විමසන්න ඕන කාරණා. එහිදී ජනාධිපති ධුර කාලය අවුරුදු හයට වඩා වැඩි කරන්නේ නම් තමයි ජනමත විචාරණයක් පැවැත්විය යුත්තේ… ඊට මෙහා කෙරෙන ඕනම වෙනස්කමක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ප්‍රමාණවත්. මෙතන ද්විත්ව අරුතක් තියෙනවා. අවුරුදු හයේ සීමාවට මෙහා කාලය අඩු කිරීමට වගේම නැවත තිබුණු තැනට ගේන එකත් බැරිකමක් නෑ…”

මේ කතාව කීවේ පසුගිය සතියේ අනුරාධපුරයේදීය. ඒ කතාව කියන්නට හේතුව එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයන් පිරිසක් එකතු වී ඊට පෙර දිනයේ පැවති සාකච්ඡාවකදී ඔය අදහස සාකච්ඡාවට ගෙන තිබුණු නිසාය. එවන් උප්පරවැට්ටියකට එජාපය සැරසෙන්නේ යන ආරංචිය අනුව චන්න මෙම කතාව මාධ්‍ය හමුවේ කියා තිබිණි.

මේ අදහස බොහෝ දේශපාලන කථිකාවන්හි සාකච්ඡා වන්නට පටන් ගත්තේය. චන්න දැන් එතකොට ඉන්නේ රනිල් එක්කද යන සැකය මෙහිදී ඇතැම්හු මතු කර සිටියහ.

එහෙත් ඒ කතාවේ ඇතුලාන්තය පිළිබඳ ගැඹුරින් විමසා බලන්නෙකුට චන්න ඒ කතාව කියන්නට ඇත්තේ කුමක් නිසාදයි සැක හැර දැනගත හැකි විය. යම් හෙයකින් එවන් යෝජනාවකින් ජනාධිපතිගේ ධුර කාලය වැඩි කරගත්තා යනු පාර්ලිමේන්තුවේ ධුර කාලය ද වැඩි කරගන්නට අවස්ථාවකි. ඒ සඳහා තුනෙන් දෙකේ බලයක් කොයින්දැයි ඇතැම් විට පොහොට්ටුවෙන් තර්ක මතු කළ ද ගණන් මිනුම් සාදා සසඳා බලන විට ප්‍රතිලාභය පොදු නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ඊට ලබා ගැනීම අපහසු කාර්යයක් වන්නේ නැත.

දේශපාලන විශ්ලේෂකයන්ගේ අනාවරණවලට අනුව දැනට සමගි ජන බලවේගයේ දහනම දෙනකුම ඉන්නේ ජනාධිපති රනිල් සමගය. පසුගියදා විමධ්‍යගත අරමුදල්වලින් ඒ 19දෙනා වෙනුවෙන් ජනාධිපතිවරයා මුදල් ලබාදීමෙන්ම ඒ පිළිබඳ සැකයක් තබා ගත යුතු නැත. දෙමළ ජාතික සන්ධානයේ දහ දෙනාගෙන් හත් දෙනෙකුම දැන් ජනාධිපති රනිල්ගේ පාර්ශ්වය හා මිත්‍රය. මුස්ලිම් කොංග්‍රසයේ පහෙන් හතරක්ම දැන් රනිල්ගේය. පොහොට්ටුවේ සැලකිය යුතු පිරිසක් මේ වන විට නව සන්ධානයක් ආදී බලවේග හරහා රනිල් වෙත විශ්වාසය පළ කොට ඇත. තවත් අවුරුද්දකට හෝ දෙකකට පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ වන්නේ නම් එමගින් මන්ත්‍රී විශ්‍රාම වැටුපට හිමිකම් කීමට හැකිවන නවක මන්ත්‍රීවරුන්ද මේ යෝජනාවට අකැමැති වන්නට හේතුවක් නැත. අකැමැති වන්නේ නම් ඒ නාමල්, සාගර ඇතුළු පොහොට්ටුවේ යම් පිරිසක්, ජවිපයේ තිදෙනෙක් සජිත් ඇතුළු සජබයේ ටික දෙනෙක් හා විමල්ලා උදයලා ගෙවිඳුලා චන්නලා ඇතුළු සර්ව ජන බලයේ කිහිප දෙනෙක්ම පමණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ පොදු මතය ඉතා වැදගත්ය. සැබැවින්ම ජනතාව බහුතරයකට වුවමනා තමන්ගේ පාලකයා තමන්ම තෝරා ගන්නට අවස්ථාවකි. එනම් ඡන්දයකි. අද ජනාධිපතිවරණයෙන් දිනා දිවුරුම් දෙන්නට පමණක් බලාසිටින ඇතැම් පක්ෂ තමන්ගේ හැබෑ තරම දැනගන්නේ එවිටය. ජනතාව හැබෑවටම සිටින්නේ කා සමගදැයි සමීක්ෂණවලින් ජයග්‍රහණය කර අධිතක්සේරුවෙන් සිටින කණ්ඩායම් තමන්ගේ පමණ දැනගන්නේ ද එවිටය. එපමණක් නොව මේ රටේ නිහඬව මේ සියල්ල දෙස බලා සිටින පොදු ජනතාවගේ අභිලාෂය කුමක්දැයි රට දැනගන්නේද ඡන්දයක් තුළින්ය. එහෙයින් දැන් රටට අවශ්‍ය ඡන්දයකි. ඡන්දයක් කීවාට මහ මැතිවරණයක් නොව, ජනාධිපතිවරණයකි.

ජනාධිපතිවරණය ගැන රනිල් කියවුණ කතාව

නිසි කලට මැතිවරණ නොතබා ජනතාවට වෙට්ටු දමන්නට සූදානම් වන්නේ නම් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වනවා යැයි පසුගිය දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේය. ආණ්ඩුවට යැයි කියා ඔහු ඒ කීවේ ජනාධිපතිවරයාට බව නිසැකය.

එහෙත් ජනාධිපතිට ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් පැහැදිලි මතයක් ප්‍රකාශ කරන්නට මේ වෙලාවේ නොහැකි වී ඇත්තේ පොහොට්ටුවේ ක්‍රියා කලාපය නිසාය. ඔවුන් මේ වෙලාවේ ජනාධිපතිවරයා වෙත ඊළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නිරවුල් අදහසක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුව වෙනුවෙන් දැනටමත් අපේක්ෂකයෙක් නම් කර අවසන් යැයි ජනාධිපතිවරයාට සම්බන්ධ ප්‍රකාශකයෝ පවසති. සැබැවින්ම ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇත්තේ දීර්ඝ සාකච්ඡාවලියකි. එකක් දෙකක් නොව, සාකච්ඡා වැලකි.

කෙසේ වෙතත් දැන් පවතින තත්ත්වයෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයත් රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් පොහොට්ටුවත් වෙන වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නට සූදානම් බවකි. එහෙත් මේ දෙපාර්ශ්වයටම ඇත්තේ එකම එක පොදු ප්‍රශ්නයකි. ඒ ඉදිරිපත් කරන්නේ කාවද කියා ය.

මේ අතර පසුගිය අඟහරුවාදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ ජනාධිපතිවරයාගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ මේ රටේ සුවිශේෂී තරුණ කණ්ඩායමක් සමගයි.

පාර්ලිමේන්තුවේ මේ වන විට විවිධ අමාත්‍යාංශවල වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා කියා කාරක සභා දාහතරක් පිහිටුවා තිබේ. ඒවායේ සාමාජිකයෝ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. ඊට අමතරව ජනාධිපතිවරයා මෙම කාරක සභා දාහතර වෙනුවෙන් අධීක්ෂණ මට්ටමෙන් තරුණ ක්‍රියාකාරිකයින් පිරිසක් පත් කර එවීය. පසුගිය කාලයේ අරගල පිටියේ සිටි තරුණ ක්‍රියාකාරිකයින් තෝරාගෙන ඔවුන් අතරින් දහදෙනා බැගින් කණ්ඩායම් 14 ක් මෙසේ කාරක සභා සඳහා සහභාගී වන්නට වූහ.

ජනාධිපතිවරයා එදා වෝටර්ස් එජ් හෝටලයට කැඳවා සාකච්ඡා කළේ මෙම තරුණ පිරිස සමගයි. අනාගතයේදී මේ රට ගොඩනගනා ආකාරය ගැන ජනාධිපතිවරයා මෙහිදී සවිස්තරාත්මක අදහස් දැක්වීමක් කළේය.

තමන් රට භාර ගන්නාවිට රට තිබූ තත්ත්වය හා තමන් මේ අවුරුදු දෙක තුළ රට ගෙන ආ අන්දම මෙන්ම 2048 වන විට මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන අන්දම ගැන මේ හමුවේදී කතාබහ කළේය.

සාකච්ඡාව මැද තරුණයන්ට කරුණු දක්වන්නට ද අවස්ථාවක් ලබා දුන්නේය. විශේෂයෙන්ම ඔවුන්ට ජනාධිපතිවරයාගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි වූහ. මේ අවස්ථාවේ එම ඉඩකඩ ලබාගත් තරුණයෙක් හරි අපූරු ප්‍රශ්නයක් විමසා සිටියේය.

“දැන් ඔබතුමා 2048 වන විට රට දියුණු කරන හැටි ගැන කතා කළා. නමුත් එළඹෙන ජනාධිපතිවරණයේදී ඔබතුමා ඡන්දෙන් පැරදුණොත් මොකද කරන්නේ…?”

එහිදී තරුණයා එවන් අසීරු ප්‍රශ්නයක් අසාවි යැයි සංවිධායකයෝ මොහොතකටවත් නොසිතන්නට ඇත. එහෙත් ජනාධිපති රනිල් එකෙන්ම ඊට මෙවන් උත්තරයක් දුන්නේය.

“මං පරාද වෙන්න මං ජනාධිපතිවරණය ඉල්ලන්න එපායැ…?”

තමන් දුන් උත්තරේ තේරුම දන්නේ තමන්ම බව සැකයක් නැත. එහෙත් එහි තේරුම ජනාධිපතිවරණය පවත්වන්නේ නැති එකද, එසේත් නැත්නම් තමන් නොඉල්ලා ආණ්ඩුව නියෝජනය කරන්නට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද යන ආදී වශයෙන් ප්‍රශ්න බොහොමයකි. එහෙත් ජනාධිපතිවරයා එය කීවේ සැහැල්ලුවෙන් මෙන්ම ඉන් පසුව සිටියේ ද සැහැල්ලුවෙනි. සමහර සංවිධායකයෝ නම් ඒ උත්තරයෙන් කලබල වූ බවක් පෙනෙන්නට වූහ.

මෝදිට සුබ පතන්නට රනිල් ගියපු ගමනක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙවන වරටත් එරටේ අගමැතිවරයා බවට පත් වී, එහි වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගි වන්නැයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට කළ ආරාධනය රනිල් වික්‍රමසිංහ මහතා උණුසුමින් පිළිගත්තේය. ඒ අනුව පසුගිය ඉරිදා උදේ ඔහු නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

“සර්ට මේ ගමන ඉතාම වැදගත්… මේ ගමනට මාධ්‍ය කණ්ඩායමකුත් එක්ක යන එකයි හොඳ…” ජනාධිපතිවරයාට එම යෝජනාව කළේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරුණාරත්නයි. ඒ අනුව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකාවෙන් මාධ්‍යවේදීන් පිරිසකුත් ඉරිදා උදේ එයාර් ඉන්දියා ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබිණ.

උත්සවය පැවැතියේ ඉරිදා පස්වරුවේ ඉන්දියානු ජනාධිපති මන්දිරය වූ රාෂ්ටපති භවන් හි දීය.

තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණි රාජ්‍ය අමුත්තන් ඉතා උණුසුමින් පිළිගත් ඉන්දීය අගමැතිවරයා ඔවුන් සියලුදෙනාට තමන් සමග ප්‍රධාන පීඨිකාවට පැමිණෙන්නයි ආරාධනා කළේය. එහිදී අගමැතිවරයා යාබද රට වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව තමා අසලින්ම තබා ගැනීම විශේෂත්වයකි.

එම අවස්ථාවේදී අසල්වැසි රාජ්‍යවල රාජ්‍ය නායකයින් සමග කතාබස් කරන්නට ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාවක් ලැබිණි. ආසන්නයේම සිටියේ සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති අහමඩ් අෆිප් මහතාය.

ඔහු විමතියෙන් රාෂ්ටපති භවන්හි වටපිට බලනු දුටු ජනාධිපතිවරයා ‘ඔබ මේ ස්ථානයට ආවේ පළමු වතාවට’ දැයි විමසා සිටියේය. සැබැවින්ම ඔහු පළමු වතාවටය. ඔහු එම ප්‍රශ්නයම පෙරළා ජනාධිපති රනිල්ගෙන් ද විමසීය.

“මම මුලින්ම මෙතනට ආවේ 1984 දී රජීව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා මියගිය වෙලාවේ ශෝකය පළ කරන්න. මෙතනදී එවකට ඉන්දීය ජනාධිපති මුණගැහුණා. ඒ කාලේ මම තරුණ ඇමැතිවරයෙක්. මාත් එක්ක අපේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු වන ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ඒ.සී.එස්. හමීඩ් වගේ කට්ටියකුත් ආවා…” සීෂෙල්ස් උප ජනාධිපති මවිතයට පත් කරමින් කීවේය.

ඉන්දීය ක්‍රමයට සකසා තිබූ ප්‍රධාන භෝජන සංග්‍රහයේදී ද ඉන්දීය අගමැතිවරයා ජනාධිපති රනිල් තමා ආසන්නයටම ගෙන්වා ගත්තේය.

“ඔබටත් දැන් ඉදිරියේදී ඡන්දයකට මුහුණ දෙන්න තියෙනවා නේද…” ඊට කිසිවක් නොකියා සිනහවෙන් පමණක් උත්තර දුන්නේය.

“මැතිවරණය ජයග්‍රහණය කිරීමට මම ඔබට සුබ පතනවා. ඒත් එක්කම ඔබ ජයග්‍රහණය කළාට පස්සේත් මගේ රටට නිල සංචාරයකට එන්න…” එය ඉන්දීය අගමැතිවරයාගෙන් ලැබුණු සුහද ආශිර්වාදයක් සේම ආරාධනාවකි.

නිල උත්සව ආචාර සමාචාර කිරීම්වලින් අනතුරුව අප ජනාධිපතිවරයාට සිදු වූයේ විවිධ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවන්ට සහභාගි වන්නටය. අතර බංග්ලාදේශ අගමැතිනිය හමුවීම, ඉන්දීය විදේශ ඇමැතිවරයා හමුවීම ආදී විශේෂ හමුවීම් ගණනාවකි.

ඉන්දීය සංචාරය නිමවා සඳුදා දින කොළඹට පැමිණි රනිල් අඟහරුවාදා පෙරවරුවේ පුරුදු පරිදි නිල රාජකාරී වැඩ කටයුතුවලට සම්බන්ධ විය. මුලින්ම ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් තිබිණි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බලන්නට පත්කළ කමිටුවේ සාකච්ඡාවක්ද පැවතිණි. ඉහත සඳහන් කළ අධීක්ෂණ කාරක සභාවන්හි තරුණයන්ගේ සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා වෝටර්ස් එජ් හෝටලය වෙත පිටත්ව ගියේ ඉන් පසුවයි.

අත්වැලට යටින් තියන වැල් පාලමේ ගීතය

බදාදා දිනයේ ජනාධිපතිවරයාට ඉතා වැදගත් ආරංචියක් ලැබිණි. ඒ වූ කලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලංකාව වෙනුවෙන් නිදහස් කරන්නට මූල්‍ය අරමුදල ගත් තීන්දුව දැනුම්දීමයි. එම ආරංචිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්තායක විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙන විට ඔහු සිටියේ වෙනත් වැදගත් සාකච්ඡාවකය. ඒ මොහොතේම එම ණය වාරිකය ලබා ගැනීම සඳහා ඇප කැපවෙමින් වගකීම් ඉටුකළ අමාත්‍යවරුන්ට හා නිලධාරීන්ට ස්තුතිය පළ කළේය.

රාත්‍රියේ ජනාධිපතිවරයාගේ භෝජන සංග්‍රහයක් පැවැත්විණි. කැබිනට් ඇමැතිවරුන් හා දේශපාලන සමීපතමයින් එම භෝජන සංග්‍රහයට සහභාගි වී සිටියහ. එම සභාව අමතමින් ජනාධිපතිවරයා පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ඉතා අසීරු අභියෝග ජය ගන්නට තමන්ට ශක්තිමත් අත්වැලක් බවට පත්වෙමින් රට ඉදිරියට ගෙන යෑම සඳහා වෙහෙස මහන්සි වූ මැති ඇමැතිවරුන්ට විශේෂ ස්තුතියක් පළ කළේ හැඟුම්බරවය.

“ඒ අමාරු කාලෙක අමාරු අවස්ථාවක ඔබ තමුන්නාන්සේලා මට සහයෝගය ලබා දුන්නා. ඔබතුමන්ලාගේ සහයෝගය නැති වෙන්නට මට මේ වැල් පාලමේ මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නෑ…”

එහිදී ඇමැතිවරුන් අත්පොළසන් දෙමින් ජනාධිපතිවරයාගේ කතාව අනුමත කළහ. අනතුරුව ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කංචන විජේසේකර ඇතුළු කීපදෙනෙක් ජනාධිපතිවරයාගේ මෙහෙවර අගයමින් කතා කළහ.

ජනාධිපතිවරයාගේ මෙම ස්තූති කතාව පිළිබඳ ආරංචිය නෙලුම් මාවත කාර්යාලය වෙත යන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. එහිදී එය ඇසූ පොහොට්ටුවේ ටයිකෝට් ඇඳ පැළඳ සිටින නිලධාරියෙක් මහ අමුතු කතාවක් කීවේය.

“එයා ස්තුති කළේ අත්වැල අල්ලන් ඉන්න කට්ටියට විතරයි. හැබැයි වැල්පාලමේ අත්වැලට යටින් කකුල තියල යන ලන්ඩාවකුත් තියනවා. ඒක ශක්තිමත්ව තියෙන්නේ මොකක් හින්දා ද කියලා එතුමට අමතකයි… අපි ඒක අතඇරල තිබුණ නම් අත්වැල තිබිලා වැඩක් නෑ. ඔක්කොම ප්‍රපාතේ තමයි…”

පසුගිය සතියට පෙර සතියේ ස්වාධීන රූපවාහිනියේ පැවැති අනුර කුමාර දිසානායක සහභාගි වූ සංවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ විශේෂ කතාබහක් ඇති විය.

සමගි ජන බලවේගය ඉල්ලා තිබුණේ මේ රටේ අනාගත ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකි. එහෙත් අන්තිමේ එම විවාදය නායකයන් දෙදෙනකු අතර විවාදයක් දක්වා වර්ධනය විය. අනවශ්‍ය විවාදවලට නොයා ජනතාව අතරට ගොස් ජනාධිපතිවරණයට අවශ්‍ය පසුබිම සකස් කරගන්නයි කියා අදහසක් සමගි ජන බලවේගය අභ්‍යන්තරයෙන් මතු වූයේ ඔය අතරයි. එහෙත් සමග ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් ජාතික ජන බලවේගය සමග පවත්වන විවාදය ගැනම පුන පුනා දොඩවන්නට වූහ.

කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ අනවශ්‍ය සමාජ උනන්දුවක් ඒ විවාදය කෙරෙහි යොමුවීම බව සමගි ජන බලවේගයේ ප්‍රබලයන්ගේ අදහස වූහ. ඔවුහු මුල පටන්ම සිටියේ එවන් විවාදයකට නොයා යුතුය යන අදහසේය.

ස්වාධීන රූපවාහිනිය හා ජාතික ජන බලවේගය ඒකපාර්ශ්විකව එම විවාදය පැවැත්වීම තුළ සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ යළිත් වතාවක් එම කතිකාව මතුවී ආවේ එකී විවාදයට අනවශ්‍ය වටිනාකමක් දුන් තරුණ මන්ත්‍රීවරු දෙදෙනාට එල්ල වූ අභ්‍යන්තර විවේචනයක් හැටියටය.

“ඒ අනවශ්‍ය විවාදයෙන් අන්තිමේ වුණේ කොහෙවත් හිටපු මනුස්සයෙක් පොරක් වුණ එක….” ජ්‍යෙෂ්ඨයෝ දිගින් දිගටම විවේචන නගද්දී අනවශ්‍ය වාදයක් ගොඩනඟා ගත්තාය යන චෝදනාව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් ද මතුව ආවේය. නලින් බණ්ඩාර ප්‍රමුඛ කීපදෙනාට නිහඬ වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය.

රැල්ල හැරුණ විදිය අමරවීර කියාදීලා

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම දවසින් දවස අතිශයින් අවාසනාවන්ත එකක් බවට පත්විය. පක්ෂයේ අභ්‍යන්තර වැඩි බලය පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගෙන් ගිලිහී ගියේ පසුගිය දිනවල දෙනු ලැබූ නඩු තීන්දුවල ප්‍රතිඵලත් සමගය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් වැඩි අයිතියක් ඇත්තේ නිමල් සිරිපාලගේ අධීක්ෂණයෙන් සංවිධානය වූ දුමින්ද, අමරවීර, ලසන්ත හා ජගත් පුෂ්පකුමාර පාර්ශ්වයට ය. එහෙත් එම පාර්ශ්වය දැන් කටයුතු කරන්නේ නව සන්ධානය නමින් පිහිටුවාගෙන තිබෙන ලන්සලාගේ නලින් ප්‍රනාන්දුලාගේ අනුර යාපලාගේ පාර්ශ්වය සමගය. නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම දැන් එකහෙළාම සහයෝගය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ය. ඒ අනුව බලන විට මෛත්‍රිපාල සිරිසේනලාගෙන් වැඩි අයිතියක් හිමි කරගත් නිමල් සිරිපාලලා නව සන්ධානය හරහා මේ උත්සාහ කරන්නේ බණ්ඩාරනායකලාගේ ලෙයින් දහඩියෙන් ඔප් නැංවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් බවට පත්කරන්නට ද… ඒ වූ කලී පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බොහෝදෙනකුට වූ උභතෝකෝටික ගැටලුවකි.

තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයත් නව සන්ධානයත් ඒකාබද්ධව පවත්වන ලද රැලියක් පසුගිය සෙනසුරාදා අම්බලන්තොට නගර පරිශ්‍රයේ පැවැත්වුණේ සැලකිය යුතු ජන සහභාගිත්වයක් ද ඇතිවය. එම පක්ෂයේ බොහෝ දෙනකු එම රැලිය පැවැත්වීම සඳහා මීට ටික දොහකට පෙර සමගි ජන බලවේගයත් ඊටත් ටික කලකට පෙර මාලිමාවත් රැලි පැවැත්වූ එකම පිටිය තෝරා ගෙන තිබුණේ වැඩිම ජන සහභාගිත්වය ඇත්තේත් කාටද කියා පැහැදිලිව මැන නිශ්චය කිරීම සඳහාය. නිමල් සිරිපාල පාර්ශ්වයේ ප්‍රකාශකයන් පවසන අන්දමට අන් රැලි දෙකටම වඩා ලොකු සෙනඟක් තම පක්ෂය වෙනුවෙන් පහුගිය සෙනසුරාදා අම්බලන්තොටට පැමිණ සිටි බවයි.

එම රැලිය පිළිබඳ පසුගිය දිනක නව සන්ධානයේ පිරිසක් පසු විපරමක සිටියේ මෙසේය.

“අමරෙගේ රැස්වීම තිබ්බ හරියේ තවත් රැස්වීම් දෙක තුනක් තිබ්බලු නේද” නිමල් සිරිපාල ඇමැතිවරයා කතාව පටන් ගත්තේය.

“ඔව්… ඔව් අපෙන් කාලක්වත් ඒවගේ හිටියේ නෑ. මගේ රැස්වීමට ආපු ස්වාමින් වහන්සේලාගෙන් දැන් පලිගන්න අරං, මට කෝල් කීපයක්ම ආව, පහුගිය දවසක තිබ්බ රැස්වීමකදී උන්වහන්සේලා කියල තියනවා දැන් ඔබතුමලත් එකතුවෙලා රනිල් මහත්තයට උදව් කරන්න කියල, ඒකට නාමල්ට හොඳටම කේන්ති ගිහිල්ල කිව්වලු “මගේ තාත්ත බේරගත්ත රට රනිල් විකුණනව කියල” අමරවීර දීර්ඝ විස්තරයක් කියාගෙන ගියේය

“රනිල් නං රට විකුණුවේ නෑ. ඒක ඕන මනුස්සයෙක්ට තේරෙනවනේ. හැබැයි අපි එපා කියද්දී එයාගේ බාප්පා එක රැයකින් ගැසට් ගහල මේ රටේ කෘෂිකර්මාන්තය කණපිට හරවල රට බංකොලොත් කරා… ඔය පුතාල කොහෙද හිටියේ, කටක් ඇරියේ නෑ ඒ කාලේ” නිමල් ලාන්සා මන්ත්‍රීවරයා කීවේ තරමක් කේන්තියෙනි.

“ලන්සා කිව්වා වාගේ ඒ කාලේ රට බංකොලොත් කරද්දීත් ඕවා කියන්න තිබ්බනේ” පියංකර ජයරත්න කීවේය.

“ඒ විතරක් නම් කමක් නෑ අපි මිනිස්සුන්ට වැඩ කරලා අමාරුවෙන් හදාගත්තු දේශපාලනෙත් විනාශ කරලා දැම්මා” ලන්සා කියාගෙන ගියේය.

“ජගත් කොහොමද රැස්වීමේ වැඩකටයුතු” නිමල් සිරිපාල ඇසුවේ ජගත් පුෂ්පකුමාර දෙස බලමිනි.

“මොනරාගල රැස්වීම ගැනත් කට්ටිය බලාගෙන ඉන්නේ” දුමින්ද කීවේය.

“බය වෙන්න එපා දැන් රැල්ල අපිට” අමරවීර සිනාසෙමින් කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment