ආසියානු යොවුන් මලල ක්‍රීඩාවකදී වසර දහයකට පසු අප රටට රන් පදක්කමක් දිනා දුන් තරුෂි අභිෂේකාට ඇයගේ විදුහල වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලෙන් උපහාර පැවැත්විය.
සවුදි අරාබියාවේ පැවැති හයවන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ තරුෂි අභිෂේකා රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ලංකාවට පැමිණි පසු පැවති පළාත් පාලන මැතිවරණය හා එම විද්‍යාලය විභාග මධ්‍යස්ථානයක් වීමත් එයින් පසු නිවාඩු කාලය මෙන්ම වෙසක් පෝය ලැබීමත් සමඟ මෙම උපහාර උළෙල කල්ගියද වික්‍රමබාහු ජාතික පාසල හා එහි ආදි සිසු සංවිධානය එක්ව මෙම උපහාර උළෙල ඉතා ඉහළින් පැවැත්විය.
උපහාර උළෙලේදී ඇය පිළිගැනීම සඳහා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන ගම්පොළ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) දමිත් සමරතුංග ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ විදුහල්පතිනි කෝකිලා එදිරිසිංහ, ආදි සිසු සංගමයේ සභාපති මහින්ද උයන්වත්ත, එහි ලේකම් ගාමිණී ජයසේකර, රුවන්තිලක හා පාසලේ ආචාර්ය මණ්ඩලය මෙන්ම ආදි සිසුන් මේ සඳහා එක්ව සිටියහ.
වැලිගල්ල නගරයේ සිට ගම්පොළ නගරය දක්වා රථ පෙළපාලියකින් කැඳවාගෙන පැමිණි අභිෂේකා හට මග තොටේදී මහත් හරසර දැක්විය.
ගම්පොළ උඩ පළාත අධිකරණ සංඝනායක රතනඝර විහාරාධිපති බෝවල විමලධම්ම නාහිමියන් අභිෂේකාට පිරිත් කියා ආශිර්වාද කළ අතර ගම්පොළ නගරයේ ජනතාව මෙන්ම සහිරා ජාතික පාසල, හින්දු පාසැල සිසුන් ද ඇයට මග තොටේදී උපහාර පිදීය.
ගලේවෙල නිලගම උපන් තරුෂි 2023 වසරේදී ගම්පොළ වික්‍රමබාහු ජාතක පාසලට ඇතුළත්ව එහි ක්‍රීඩා ආචාර්ය බුද්ධික නුවන් මධුසංක පුහුණුකරු යටතේ පුහුණුව ලබා ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමෙන් තරග විස්සක රන් පදක්කම් ලබා ඇත.
එසේම ඇය සතු තරග වාර්තා ගණන දහයකි. ඒ අතුරින් ධම්මිකා මැණිකෙ විසින් මෙයට වසර 39 කට පෙර මීටර් 1500 න් තබා තිබූ වාර්තාවක්ද ඇය බිඳ දමා ඇත.
මීටර් අටසීයෙන් ආසියානු රන් පදක්කම දිනූ තරුෂි මීටර් 400 හා 1500ද නියෝජනය කරයි. මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුළ ජයවර්ධන ප්‍රකාශ කරන ආකාරයට මේ වන විට මෙරටින් බිහිව ඇති තරුෂිලා තුන්දෙනාම මධ්‍යම පළාතේය.
එයින් තරුෂි කරුණාරත්න හා ඇගේ නැගණිය වළල ජාතික පාසලේ වන අතර තරුෂි අභිෂේකා ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේය. වික්‍රමබාහු ජාතික පාසලේ විදුහල්පතිනි කෝකිලා එදිරිසිංහ සඳහන් කරනුයේ තරුෂි දක්ෂ ක්‍රිඩිකාවක් මෙන්ම අධ්‍යාපනයට ද ඇය දක්ෂ බවය.
තරුෂිගෙ මීළඟ ආසන්නතම බලාපොරොත්තුව බහරෙන්වල පැවැත්වීමට නියමිත ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් දිනා ගැනීම හා ඉන්පසු ඔලින්පික් තරගාවලියට සහභාගි වීම බව ඇය පවසන්නීය.
ගම්පොළ – සුරංග දිල්හාන්