ත්‍රස්ත විරෝධී පනත භයානකයි – ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා

170

රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත එයාකාරයෙන්ම සම්මත වුවහොත් රට තුළ පවත්වන ඕනෑම සාමකාමී උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් රජයට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට අර්ථ දක්වා තහනම් කිරීමේ ඉඩකඩ හා විරෝධතා මෙහෙයවන්නන් හා සහභාගි වන පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් පවතින බව ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (30 දා) පැවසීය.

එකී පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති අපරාධ වැරදි පැහැදිලිව අර්ථ දැක්වීමට අපොහොසත් වීම බලවත් අඩුපාඩුවක් වන්නේ යැයි ද පෙත්සම්කාර මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණයට පැවසීය. එම පනත් කෙටුම්පත මගින් රටේ සුවිශේෂි ආරක්ෂිත ස්ථානවලට පමණක් නොව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඕනෑම ස්ථානයකට පුරවැසියන්ට ඇතුළු වීම වළක්වමින් නියෝග නිකුත් කිරීමට ඉඩකඩ පවා විවෘතව ඇතැයි ද පැවසූ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයාගේ මඟපෙන්වීම යටතේ කතෝලික සභාව පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා පවත්වනු ලබන සාමකාමී විරෝධතා හා හඬනැඟීම් පවා ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථදැක්වීමේ අනතුරු පවතින බවත් අධිකරණයට පැවසීය.

එවැනි ක්‍රියා මගින් තරාතිරමක් නොමැතිව සෑම පුරවැසියකුගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ බලවත් තර්ජනයක් පවතින බැවින් එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පමණක් නොව, පොදු ජනතාවගේ ද අදහස් විමසන ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරනා ලෙස ද විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

එම විශේෂ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. නීතිඥ සඳුන් නාගහවත් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ දුතික පෙරේරා, ප්‍රිමාල් රත්වත්ත හා නීතිඥ රවින්ද්‍ර සිල්වා යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙත්සම්කාර මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටියේය.

එම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය අද (31 දා) දක්වා කල්තැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment