කොමසාරිස් ජනරාල්වරයෙකු නෑ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අඩපණ වෙයි

210

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා ගිය සිකුරාදා (25දා) විශ්‍රාම යෑමෙන් පසුව මුදල් අමාත්‍යංශය විසින් නව කොමසාරිස් ජනරාල්වරයෙකු හෝ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම නිසා ඊයේ (28දා) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු මුළුමනින්ම අකර්මන්‍ය වූ බව දේශීය ආදායම් වෘත්තීය සමිති නියෝජිතයෝ ‘දිවයින’ට පැවසූහ.

සාමාන්‍යයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයෙකු විශ්‍රාම යන විට නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයෙකු හෝ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කරන බව ද මෙවර එය සිදුව නොමැති බව ද දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා පවසයි.

මේ නිසා ඊයේ විදේශිකයන්ට බදු නිශ්කාශන සහතික නිකුත් කිරීම, නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ කටයුතු, වැට් බදු ආපසු ගෙවීම් සහ ආනයන කටයුතුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ සහතික නිකුත් කිරීම ඇතුළු දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු මුළුමනින්ම අකර්මන්‍ය වූ බව ද උදයසිරි මහතා කියා සිටියේය.

මේ නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයෙකු හෝ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙකු වහාම පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එසේ නැතහොත් දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් අඩපන වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

වෙනදා නම් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විශ්‍රාම යෑමට නියමිත දිනයට කලින් දිනයේ අනිවාර්යයෙන්ම අදාළ පත් කිරීම සිදුකර, ඒ බව මුදල් අමාත්‍යංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වන බවත් මෙවර එවැන්නක් සිදුව නැති බවත් ඒ නිසා මේ වන විට දෙපාර්තමේන්තුවේ වගකීම් ගැනීමට කෙනෙක් නැති තත්ත්වයට පත්ව ඇති බවත් උදයසිරි මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment