තියුණු ආයුධයකින් පහරකෑ මල්ශාලා හිමිකරු අවමංගල රථය තුළදීම මරුට

21

ගෝලයා ප්‍රදේශයෙන් පලාගිහින්

අම්බලන්ගොඩ රෙමන් මල්ශාලාවේ හිමිකරු පෙරේදා (25 දා) රාත්‍රි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

නාඳුනන පුද්ගලයකු විසින් මල්ශාලා හිමිකරුගේ හිසට පහරදී මෙම ඝාතනය සිදුකොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මල්ශාලා හිමිකරු අවමංගල රථයේ රියැදුරු අසුන තුළදී ඝාතනය කොට ඇත. මෙසේ ඝාතනය කොට ඇත්තේ ගෝනපිනුවලගේ තුසිත කුමාර (46) නමැති මල්වැන්න, දකුණ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිව්දරුපියෙකි. මොහු තම අවමංගල ශාලවේ සේවයකරන ගෝලයෙකු රැගෙන එම සඳහා පෙරේදා (25 දා) රාත්‍රියේ දී තෙල්වත්ත ආවාසවත්ත ප්‍රදේශයට ගොස් ඇත. ඒ යන අතරතුරේ දී මෙම ඝාතනය වී ඇති බව පොලිසිය පවසයි.

පෙරේදා (25 දා) රාත්‍රි 11.35ට පමණ අවමංගල රථය තුළ පුද්ගලයකු සිටින බවට අම්බලන්ගොඩ පොලිසියට 1990 හදිසි දුරකථන ඇමතුම් මාර්ගය ඔස්සේ ඇමතුමක් ලැබී ඇත.පොලිසිය විසින් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී මොහු අවමංගල රථයේ ඉදිරිපස රියැදුරු අසුනේ දී මිය ගොස් සිට ඇත. මොහුගේ හිස ප්‍රදේශයේ බරපතල කැපුම් තුවාල තිබී ඇත. මල්ශාලා හිමියාගේ දේහය බළපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර මල්ශාලාවේ සේවය කළ ගෝලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි. ඔහුගේ ඇඳුම් බෑගය අවමංගල රථය තුළ තිබී හමුවී ඇත. සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, නියාගම – විල්සන් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment