දුප්පත්කම ඩබල් වීම

945

ජීවිතය තියෙන්නේ විඳවන්න නොව විඳින්නය. නමුත් අද අප රටේ බහුතර ජනතාවට සිදුව ඇත්තේ විඳවීමටය. තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට ජනතාවට ලැබෙන ආදායම ප්‍රමාණවත් නැත. තමන්ගේ කනකර පවා උගසට තබා ජීවිත සටනේ අවසන් ගේම ගසන ජනතාවට තවමත් පෙනෙන තෙක් මානයක සැනසුමක් පෙනෙන්නට නැත. ඊයේ (03 දා) අප පුවත්පතේ මුල් පිටුවේ පුවතකින් කියැවෙන්නේ තිස්සමහාරාම රන්මුදුගම ප්‍රදේශයේ පියකු තම දරු දෙදෙනා සහ බිරිඳ ජීවත් කරවීමට ආහාරපාන ලබාදීමට නොහැකිවීම නිසා වස බිව් බවකි.

තම පවුල දින කීපයක් තිස්සේ වේලක් හැර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බව මෙම පියා පවසයි. තවදුරටත් දරුවන්ට කන්න දෙන්න නොහැකිවීම නිසා, තමන් වස බී මියයන්ට තීරණය කළ බව ද ඔහු මාධ්‍යට පවසා තිබිණි. අප රට වැටී ඇති ආර්ථික නරා වළේ අතිශය දුක්ඛිත ඛේදවාචකය මෙම පුවතින් මැනවින් පැහැදිලි වේ. මෙම තත්ත්වය තිස්සමහාරාමයේ මෙම පියාට පමණක් සීමා වී නැත. දරිද්‍රතාවයෙන් පෙළෙන මෙවැනි පවුල් දසදහස් ගණනක් අප රටේ සිටිති.

මෙම සිද්ධියට මුහුණ දුන් පියාට රජයෙන් ලබාදී තිබුණු සමෘද්ධිය මීට වසරකට පෙර කපා දමා ඇත. අස්වැසුම ප්‍රතිලාභ දෙන බව කීව ද එය ද ලැබී නැත. සමෘද්ධිය හෝ අස්වැසුමෙන් ලැබෙන සොච්චම් මුදල ලැබුණ ද මෙම පවුලට සතුටින් සැනසුමෙන් සිටිය හැකි යැයි අපි නොකියමු. එහෙත් අවම වශයෙන් ලැබිය යුතු එම සහනාධාරයවත් ලබා නොදීම තුළ පැහැදිලි වන ප්‍රමුඛ කරුණ වන්නේ අප රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව පිළිබඳව නිවැරැදි දත්ත හෝ පැහැදිලි චිත්‍රයක් නිලධාරීන්ට සහ බලධාරීන්ට නොමැති බව නොවේද? අප රටේ ආර්ථිකය නිසි පීල්ලට වැටෙමින් පවතිනවා යැයි සමහරුන් පුරසාරම් දෙඩුව ද රටේ පවතින යථාර්ථය තේරුම් ගැනීම සඳහා මෙම පවුල මුහුණපා ඇති ඛේදවාචකය වුවද ප්‍රමාණවත්ය.

ලෝක බැංකුවේ නේවාසික ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර් පවසන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය එක දිගට වසර හතරක් තිස්සේ වැඩිවී ඇති බවයි. ගිය වසරේ (2023) 25.9්‍රක් දක්වා ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය වැඩිවී ඇති බව ද හෙතෙම කියා සිටී. ශ්‍රම වෙළෙඳපොළේ පවතින ගැටලු මෙන්ම ආදායම් අසමානතාවන් මෙම තත්ත්වයට හේතුවී ඇති බව ද රිචර්ඩ් වෝකර් පවසයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගිය කාලයේදී අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බිඳවැටුණි. මෙම තත්ත්වය හමුවේ කාන්තාවන්ට සහ නාගරික ප්‍රදේශවල ජනතාවට ආදායම් මාර්ග අහිමි විය. දරිද්‍රතාවයට මෙම තත්ත්වය හේතුවී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආදායම ඉහළ යෑම සිදුවූයේ අවම මට්ටමිනි. රජයේ සේවකයන්ට පුංචි සහනයක් ලැබුණ ද සෙසු සේවකයන්ට එසේවත් නොලැබුණි. එහෙත් බඩු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය උද්ධමනය හමුවේ අප රටේ පරිභෝගික ජනතාව අන්ත අසරණ වූහ. රටේ ජනතාව දිනෙන් දින දරිද්‍රතාවයට බිලිවීම වැළැක්වීම සඳහා ඉහළ යන බඩු මිල පාලනය කළ යුතු සේම ඔවුනගේ ක්‍රය ශක්තිය වැඩි කිරීමට වහා පියවර ගත යුතුව තිබේ. යම් පුද්ගලයකුට තමන් කරන රැකියාවෙන් ලැබෙන වැටුප ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවේ නම් ඔහුට විකල්ප ආදායම්වලට යා හැකි මං විවර කිරීම බලධාරීන්ගේ වගකීමකි. පැය අටේ සේවාවෙන් පසුව පැය හතරක් හෝ තමන්ගේ ශ්‍රමය ලබාදිය හැකි කර්මාන්තශාලා පද්ධති ඇති කළ හැකිනම් එය රටට මෙන්ම පුද්ගලයන්ගේ ඒකපුද්ගල ආදායම වර්ධනය කර ගැනීමට රුකුලක් වනු ඇත.

ඊට අමතරව නිවෙස්වල රැඳෙන කාන්තාවන්ට ද ගෘහ කර්මාන්ත හරහා හෝ ඔවුන්ගේ ශ්‍රමයට මිලක් ලබාගත හැකි වටපිටාවක් සකස් කිරීමට බැරිකමක් නැත. ආර්ථිකය පහළ මට්ටමේ පැවැති බොහෝ රටවල් ආර්ථික අතින් ශක්තිමත් වූයේ මෙවැනි විකල්ප ක්‍රියාමාර්ගයන් ඔස්සේය. මේ සියල්ල පදනම් වන්නේ රටක් තුළ නිෂ්පාදන ආර්ථිකයට හිමිවන තැන අනුවය. එනිසාම අඳුරට සාප නොකර නිෂ්පාදන ආර්ථිකයක් සහිත රටක් බවට අප රට පත්කිරීම බලධාරීන්ගේ වගකීමකි.

අනෙක් අතට රටක් ආර්ථික වශයෙන් දියුණු වීමට නම් එම රටේ ආර්ථිකය මෙන්ම සෙසු අංශවල පවතින විනිවිදභාවය අතිශයින් වැදගත්ය. නමුත් අප රටේ කාලයක් තිස්සේ එවැනි විනිවිදභාවකින් කටයුතු කළ බවක් අපි දකින්නේ නැත. වංචා, දූෂණ, කොමිස් ගැහිලි, පගා ගැනීම් ඇතුළු අතයට ගනුදෙනු නිසා අප රට දූෂිත වී තිබේ. දේශපාලනය යනු මහජන හිතසුව පිණිස කළ යුතු මහත්මා සේවයකි. නමුත් කාලයක් තිස්සේ අප රටේ දේශපාලනය මහජන දේපළ සොරාකන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. දුප්පත්කම ඩබල් වීමට දූෂිත දේශපාලනය ද වගකිව යුතුය. එනිසාම රට දුප්පත්කමින් මුදා ගැනීමට නම් අපිට වැරදුණු තැන් යළි වහා නිවැරැදි කරගත යුතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment