දේශීය ආදායම් වැඩ පරණයි බදු ලිපිගොනු හීනයක්

63

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සෑම පුද්ගලයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු යැයි යෝජනා කර ඇතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ පවතින පැරණි ක්‍රමවේද අනුව තවත් දශක ගණනාවකටවත් ඒ වැඩේ කරන්න හැකියාවක් නෑ යැයි ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) පැවසීය.

කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව කී සභාපතිවරයා මෙසේ ද සඳහන් කළේය.

අපිට ආදායම් උපයා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කැමතියි. මෙම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්න හා ඒවා විසඳීමට අවශ්‍ය යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන අවධානයට ගෙන මේ කරුණු විවාදයකට යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

අවුරුදු දහඅටට වැඩි අයට ආදායම් බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අඩු ගාණෙ ලක්ෂ දොළහකට බදු ලිපිගොනු විවෘත කළ යුතුයි කියලත් කතා කළා. හැබැයි මේ දෙපාර්තමේන්තුවේ පවතින ක්‍රමවේද අනුව තව දශක ගාණකටවත් ඒ වැඩේ කරන්න හැකියාවක් නැහැ. ආදායම් බදු ලිපිගොනු සඳහා ජාතික හැඳුනුම්පත අදාළ කරගන්නා ලෙස දෙදහස් දහඅටේ සිටම කෝපා කමිටුව යෝජනා කළා. දැන් පවතින ආකාරයට ජීවිත කාලය තුළවත් ඒක කරන්න හැකියාවක් තියෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ සම්බන්ධයෙනුත් විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

රේගු දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන ක්‍රියාවලියේදී වැරදි ලේඛන කටයුතු මත ඩොලර් බිලියන දෙකත් තුනත් අතර මුදලක් වසරකට රටින් පිටට යනවා. අද පවතින ආර්ථික අර්බුදයට කලින් අපේ ගෙවුම් ශේෂයත් තිබුණෙ ඒ ගාණ හා සමාන ගාණක්. ඒ තත්ත්වය පාලනය කරන හැටිත් මේ වාර්තාවෙන් අපි කියනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව ගැන විධිමත් විමර්ශනයක් පාර්ලිමේන්තුවේ කළ යුතුයි. ව්‍යාජ ස්ටිකර් හඹා යෑමේ ක්‍රියාවලියක් දැන් පටන් අරගෙන තියෙන්නේ අපි ඒ සම්බන්ධයෙන් කතා කළ නිසයි. සුරාබදු දෙපාර්තමේන්තුව කියන්නේ මත්පැන් මිල ඉහළ ගියාම මිනිස්සු කසිප්පුවලට යොමු වෙනවා කියලා. හැබැයි මේ ව්‍යාජ ස්ටිකර් නිසා එක් මත්පැන් බෝතලයකින් අහිමි වන බදු ආදායම රුපියල් දෙදහස් නවසියයක්. ස්ටිකර් එකකට වැය වෙන්නේ රුපියල් එකයි ශත අසූවක් වැනි සුළු මුදලක්.

මේ කාරක සභාවලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේදී අපිට යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. අමාත්‍යාංශවලින් ඒ වාර්තා ලබා දීම පමා කරනවා නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. ඊයේ දැන ගන්න ලැබුණා තොරතුරු ගන්නවා නම් ඇමැතිවරයා මගින් ලබාගත යුතුයි කියලා. පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන මූල්‍ය බලය පරිහරණය කිරීමේ එක ක්‍රමයක් තමයි යම් යම් විමසීම් කිරීම.

කාරක සභා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පවත්වා ගැනීමට අවශ්‍ය නම් මේ තොරතුරු ලබා ගැනීමට පවතින බාධා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. සමහර ආයතන දෙනවා.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන


advertistmentadvertistment