දෝෂ රහිතව නිවසක් ඉදි කරන්නේ කොහොමද?

83

“වාස්තු මංජුසාව” නමින් නම් කරන ලද වාස්තු විද්‍යා ලිපි මාලාවක් ඇතුළත් කෘතියක් පසුගියදා මුද්‍රණයෙන් නිකුත් විය. වාස්තු විද්‍යා විශාරද ඩබ්.කේ.ඒ.එම්. චන්ද්‍රසිරි විසින් රචිත එම කෘතිය පරිශීලනය කිරීම තුළ නිවැරදි වාස්තු විද්‍යාව යනු කුමක්ද ඒ තුළින් සාර්ථකත්වය කරා ගමන් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැක. විශ්ව ශක්තිය නිවැරදි ලෙස කළමනාකරණය කිරීම වාස්තු විද්‍යාවේ මූලික හරය වන බව තම කෘතිය මගින් කතුවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත. පහත පළ වන්නේ එම කෘතිය සහ එහි ඇතුළත් කරුණු පිළිබඳව ඩබ්.කේ.ඒ.එම්. චන්ද්‍රසිරි මහතා සමඟ වැඩිදුරටත් සිදුකළ කතා බහක්ය.

● “වාස්තු මංජුසාව” නමින් මෙවැනි කෘතියක් රචනා කිරීමේ ප්‍රධාන අරමුණ කෙටියෙන් සඳහන් කළ හැකිද.

වාස්තු විද්‍යාව පිළිබඳව සඳහන් පොත්පත් බහුල ලෙස මුද්‍රණය වන වටපිටාවක මේ වගේ පොතක් මුද්‍රණය කරන්න මා තීරණය කළේ අරමුණු කීපයක් මුල් කරගෙනයි. ඒ අතරින් ප්‍රධාන දේ තමයි ප්‍රායෝගික වාස්තු විද්‍යාව පරීක්ෂණවලින් සොයා ගත්තේ දේ තවත් පිරිසක් වෙත සන්නිවේදනය කිරීම. ඊට අමතරව වාස්තු විද්‍යා දෝෂ රහිතව නිවසක් ඉදි කරන්නේ කොහොමද කියන ගැටලුවට නිවැරදි විසඳුම් ලබා දීමත් මේ කෘතිය හරහා සිද්ධ වෙනවා. ඒ තුළින් මම අදහස් කරන්නේ මේ පොත මිලදී ගත්ත පමණින් වාස්තු දෝෂ රහිතව නිවසක් ඉදි කරන්න පුළුවන් කියන කාරණය නොවෙයි. නමුත් සෑම වාස්තු දෝෂයක්ම ඇති වන්නේ කෙසේද එවැනි දෝෂ නොමැතිව නිවසක් ඉදි කරන්නේ කෙසේද කියන කාරණා සම්බන්ධව කෘතිය තුළ හොඳ විග්‍රහයක් පවතිනවා.

● මීට පෙරත් ඔබ විසින් වාස්තු විද්‍යාව සම්බන්ධව කෘතීන් රචනා කොට තිබෙනවා ද?

දෝෂ රහිතව නිවසක් ඉදි කරන්නේ කොහොමද?

කෘතියක් ලෙස ගත් විට මා විසින් රචිත ප්‍රථම කෘතිය ලෙස වාස්තු මංජුසාව හඳුන්වන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ජ්‍යොතිශ පුවත්පත් ආදියට මා විසින් ලිපි සම්පාදනය කරන්නව. විශේෂයෙන්ම මෑතක සිට දිවයින ඉරිදා සංග්‍රහයේ නැකත අතිරේකය සඳහා ලිපි සම්පාදනය කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඒක සුවිශේෂී අවස්ථාවක්. මොකද එමගින් නිවැරදි වාස්තු විද්‍යාව පිළිබඳව විශාල පාඨකයන් පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවක් මට ලැබුණා. ඒ අයගේ සහ තවත් බොහෝදෙනාගේ ඉල්ලීම මත තමයි මුද්‍රණ වියදම් අධික අවස්ථාවක වුවත් මේ වගේ කෘතියක් මුද්‍රණය කරන්න මා විසින් තීරණය කළේ.

● ඔබ දකින ආකාරයට වාස්තු විද්‍යාවේ වැදගත්කම සහ පුද්ගල ජීවිත පිණිස එහි බලපෑම මොන වගේද?

වාස්තු යන වචනයෙහි අරුත වාසය කිරීම නම් විද්‍යාව කියන්නේ එය ගවේෂණය කිරීමයි. වාස්තු විද්‍යාව කෙටියෙන් හඳුන්වනවා නම් හඳුන්වන්න වෙන්නේ එහෙමයි. වාස්තු එහෙම නැත්නම් වාසය කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ බිත්ති හතරකට වහලක් ගහලා ඒක ඇතුළෙ ජිවත් වීම නෙවෙයි. මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ පංච මහා ධාතුන්ගෙන් බව පර්යේෂණවලින් ඔප්පු කරලා තිබෙනවා. මිනිසා කියන්නේ ඒ තුළ ජීවත් වන ජන කොට්ඨාසයක් පමණයි. එතැනදී මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන නිවසක් ඉදිකිරීමේදී විශ්වයට එහෙම නැත්නම් විශ්ව නීතියට අවනතව අපි ඒ කටයුත්ත කළ යුතුයි. එතැනදී ඒ ඒ දිශාවන්ගෙන් එන විශ්ව ශක්තිය හරියට හඳුනාගෙන එය නිවැරදිව කළමනාකරණය කිරීම තුළ නිවසක් ඉදිකිරීමට කවුරුන් හෝ අදහස් කරනවා නම් අන්න එතැනදි වාස්තු විද්‍යාව කියන විෂය ඉතාමත් වැදගත් වෙනවා.

● වාස්තු විද්‍යාව පිළිබඳ අවධානය යොමු නොකොට කරනු ලබන එවැනි ඉදිකිරීමක අතුරු ප්‍රතිඵල මොනවාද?

එහෙම නොවුණොත් අසුබ ශක්තීන් ගෙන් සමන්විත නිවසක තමයි අපට ජීවත් වීමට සිදුවන්නේ. ඉදි කරපු නිවසක් විනාශ කරන්න විශ්ව ශක්තියට බැහැ. නමුත් අපි තේරුම් ගත යුතුයි ඒ නිවස තුළ ජීවත් වන අයට බලපෑම් කිරීමේ හැකියාවක් විශ්ව ශක්තිය තුළ පවතිනවා කියල. එහෙම නම් පවුලක රඳා පැවැත්ම පවතින්නේ මොන වගේ ඉදිකිරීමක් තුළ ද කියන එක ඔබ නිවැරදි අවබෝධ කරගත යුතුයි.

● ගල්, ගඩොල්, සිමෙන්ති ආශ්‍රයෙන් කරන ලද ඉදිකිරීමක් ‘නිවසක්’ බවට පත් කිරීමේදී ඔබ සඳහන් කරන වාස්තු විද්‍යාව කෙනෙකුට වැදගත් වෙනවා. ඒ තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා ද?

ඔව්… ඒ බව නිවැරදිව පෙන්වා දීම තමයි වාස්තු විද්‍යාව කියන්නේ. තමන් නිවසක් ඉදි කරනවා නම් වෙන කෙනෙකුගේ අත්තිවාරමක් දිහා බලලා තමන්ට කියලා ගෙයක් නිම කරන්න බැහැ. එහෙම කරා කියමු. අනුන්ගේ ගෙදරක පදිංචි වීම වගේ වැඩක් තමයි එතැනදි සිද්ධ වෙන්නේ. තමන්ගේ නැකතට අනුව ඒ ඉදිකිරීම සිද්ධ වුණේ නැත්නම් එතන තියෙන්නේ විපරිත ශක්තීන්ගේ එකතුවක්. විපරිත ශක්තිය එහෙමත් නැත්නම් විපරිත බලවේග එක්ක මිනිසාට වාසය කරන්න බැහැ. ජ්‍යොතිෂ තුළත් මේක පෙන්වා දෙනවා. නිවසක් ඉදිකිරීමේදී ගෘහමූලිකයාගේ නැකතට අනුව ගෘහයේ වර්ගඵලය නිසියාකාරව ගළපා ගත යුතුයි. වර්ගඵලය අනුව නිවාස වර්ගීකරණය කළොත් එහෙම නැත්නම් ගෘහ පිණ්ඩය අනුව නිවාස වර්ග අටක් තිබෙනවා. මේ වර්ග අටෙන් පදිංචියට සුදුසු නිවාස වර්ග හතරක් සහ නුසුදුසු නිවාස වර්ග හතරක් පවතිනවා. වැරදීමකින් හෝ කෙනෙක් අර නුසුදුසු නිවාස පදිංචිය පිණිස තෝරා ගත්තොත් පදිංචියට ගියදා පටන්ම විවිධ අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

දෝෂ රහිතව නිවසක් ඉදි කරන්නේ කොහොමද?

● මේ වන විට වාස්තු විද්‍යාව පිළිබඳව සමාජය තුළ පවතින ඇල්ම කැමැත්ත මොන වගේද?

වාස්තු විද්‍යාව කියන්නේ එක ජනවර්ගයකට එහෙම නැත්නම් ආගමකට සීමා වූ දෙයක් නොවෙයි. විද්‍යාවක් ලෙස එය මුළු විශ්වයටම වලංගුයි. නමුත් ඇතැම් අය ඒ සත්‍යයට පිටුපාලා කටයුතු කරන බවක් දකින්නට ලැබෙනවා. නමුත් ඒ අයත් අවසානයේ දී හෝ මේ විශ්වීය සත්‍යයට අනුගත වෙනවා.“වාස්තු මංජුසාව” කෘතිය ඇතුළේ මේ පිළිබඳව පුළුල්ව සඳහන් වෙනවා. එවැනි පිරිස් මුහුණ දුන් ප්‍රායෝගික ගැටලු සහ වාස්තු විද්‍යාව මගින් ඒවා නිවැරදි කරපු ආකාරය සාක්ෂි සහිතව මගේ කෘතියේ සඳහන් කරල තිබෙනවා.

● යම් පාඨකයකුට වාස්තු මංජුසාව මිලදී ගැනීමට අවශ්‍ය නම් මේ සඳහා යොමු විය යුත්තේ කෙසේද?

කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන නගර කීපයක ප්‍රධාන පොත් හල් රැසක මේ කෘතිය දැනටමත් අලෙවි වෙනවා. ඊට අමතරව ඉදිරියේදී ඒ ජාලය තව තවත් පුළුල් කිරීම පිණිස කටයුතු කරනවා. කෘතිය මුද්‍රණයෙන් නිකුත් කරලා මාස දෙකක් වගේ කාලයක් වෙනවා. වාස්තු මංජුසාව කියන්නේ කෙටි කාලයක් තුළ හොඳ අලෙවියක් සහිත පොතක් බව ලැබෙන ප්‍රතිචාරවලින් තේරුම් ගන්න පුළුවන්.

සාකච්ඡා කළේ
රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment