ධනවතුන්ගෙන් අය විය යුතු කෝටි 10500 ක බදු බොල් ණය ලෙස කපා ජනතාව මත බදු බර පටවනවා

277

පුබුදු ජයගොඩ

ඉදිරි අයවැය මගින් අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් තවදුරටත් කපා හරිමින් ජනතාව මත තවදුරටත් බදු බර පැටවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටියදී ධන කුවේරයන්ගෙන් අයකර ගත යුතුව තිබෙන රුපියල් කෝටි 10,500කට අධික ආදායම් බදු ප්‍රමාණයක් අයකර නොගෙන ඒවා බොල් ණය ලෙස කපාහැර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (26 දා) පැවති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ වන විටත් අධ්‍යාපන වියදම් සම්පූර්ණයෙන්ම කපා හැර ඇතැයි ද පොදු මහජනතාව මත පනවා තිබෙන භාණ්ඩ හා සේවා බදු සියයට 85ක් මේ වන විට අයකර ගන්නා පාලකයන් ධන කුවේරයන් හා ඒකාධිකාරී සමාගම්වලින් අයකර ගත යුතුව තිබූ රුපියල් කෝටි 10500ක මුදලක් අයකර නොගෙන ඒවා බොල් ණය බවට පත්කර ඇතැයි ද ඒ මහතා කීය.

ඉකුත් 2015 සිට 2020 දක්වා කාලයේදී පමණක් ධන කුවේරයන්ගෙන් අයවිය යුතුව තිබූ රුපියල් කෝටි 41415ක ආදායම් බදු මෙලෙස අයකර ගෙන නැත. ඊට අමතරව 2022 වසර වන විට එසේ අයකර ගත යුතුව තිබෙන රුපියල් කෝටි 10500ක මුදලක් අයකර නොගෙන ඒ අයට සහන සලසා දී ඇතැයි ද පුබුදු ජයගොඩ මහතා කීය.

මෙරට බදු ආදායම්වලින් සියයට අසූපහක් ම භාණ්ඩ හා සේවා මත අයකරන බදු පොදු ජනතාව ගෙවමින් සිටියදී ධන කුවේරයන් ගෙවිය යුතු ආදායම් බද්ද වන සියයට 15 අයකර නොගෙන ඉදිරි සති හය තුළ ගෙන ඒමට නියමිත අයවැය මගින් ජනතාව මත තවදුරටත් බදු බර පැටවීමට වත්මන් අගමැති මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනිමින් සිටින බව ද ඒ මහතා කීය.

මෙරට ප්‍රමුඛ පෙළේ කැසිනෝ හිමිකරුවකුගෙන් අයවිය යුතුව තිබෙන කෝටි 5750ක බදු මුදලක් බොල් ණය ලෙස කපා හැර ඇතැයි ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment