නල්ලූර් කෝවිලේ උත්සවයට ගිය අවු. දෙකහමාරේ දැරිය අතුරුදන්

100

දැනට දින 3යි තවමත් තොරතුරක් නෑ

යාපනය නල්ලූර් කෝවිලේ උත්සවයට රැගෙන ගිය වයස අවුරුදු දෙකහමාරක දැරිය අතුරුදන් වී දැනට දින තුනක් ගත වී ඇතත් එම දැරිය පිළිබඳ මෙතෙක් කිසිඳු හෝඩුවාවක් ලැබී නොමැති බව යාපනය පොලීසිය 17 දා පැවැසීය.

වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට එම දැරියගේ දෙමව්පියන් මෙම දැරිය යාපනය නල්ලූර් කොවිලේ උත්සවයට රැගෙන ගොස් සිටියදී එම දැරිය සැප්තැම්බර් මස 15 දා රාත්‍රී අතුරුදහන් වී ඇත.

ප්‍රීති අස්විකා නමැති දැරිය නල්ලු‍ර් කෝවිලට එසේ රැගෙන ගොස් ඇත්තේ ඇය වෙනුවෙන් දෙමව්පියන් විසින් වූ බාරයක් ඔප්පු කිරීම පිණිසය.

ඇය අතුරුදන් වූ අවස්ථාවේදීම කෝවිලේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට දැරියගේ දෙමව්පියන් මේ බව දැනුම් දීමෙන් පසුව ශබ්දවාහිනී යන්ත්‍ර මගින් ජනතාවට සිද්ධිය පිළිබඳ තොරතුරු දැනුම් දී තිබේ.

නමුත් මේ දක්වාම දැරිය හමු වී නොමැත.

පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව පොලීසිය කෝවිලේ සී.සී.ටී. කැමරා වල දර්ශන පරීක්ෂා කොට ඇතත් දැරියගේ දර්ශන දැක ගැනීමට නොහැකි වී තිබේ. යාචක කාන්තාවක් විසින් දැරිය පැහැර ගෙන යනු දුටු බවට යාපනයේ පුද්ගලයින් කීප දෙනෙකුම ප්‍රකාශ කොට තිබීම නිසා එම ආරංචිය ඔස්සේ යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ. එමෙන්ම මෙම අතුරුදහන් වූ දැරිය සොයා ගැනීම සදහා යාපනයේ ජනතාවගේ පූර්ණ සහය ලබා දෙන ලෙස යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් ඉල්ලීමක්ද කොට ඇත.
දිනසේන රතුගමගේ


advertistmentadvertistment