මුවන් දඩයමේ ගිය දඩයක්කරු ගිනිඅවිය පත්තුවී එතැනමයි

122

සහායට ගිය පිරිස අත්අඩංගුවට

දුම්මලසූරිය කොවුල්වැව ප්‍රදේශයේ මුවන් දඩයමේ ගිය බව කියන සිව් දෙනෙකුගෙන් එක් අයෙකු තමා අත තිබූ ගිනිඅවිය ක්‍රියාත්මක වී ජීවිතක්ෂයට පත්වූ බව දුම්මලසූරිය පොලිසිය කියයි.

එලෙසින් එම අවස්ථාවේදීම මරුමුවට පත්ව තිබුණේ මොහොමඩ් අන්සාර් මොහොමඩ් රිකාස් නමැති වයස 40ක පමණ නාරංගොඩ කූඩලු‍පොත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

දඩයමේ ගොස් ඊයේ (17) අළුයම 2.30 ට පමණ කොවුල්වැව පාලු‍ වත්තකදී ගිනි අවිය අතැතිව සිටියදී ඉත්තෑවෙකු මරණකරු දෙසට පැමිණි බවත් එම ඉත්තෑවාට වෙඩි තැබීමට යාමේදී මරණකරු අසලටම පැමිණි බවත් එම අවස්ථාවේ දඩයමේ ගොස් සිටි අය පොලිසියට ප්‍රකාශ දී ඇත. එහිදී ගිනි අවියෙහි බඳෙන් ඉත්තෑවාට පහර දීමේදී ක්‍රියාත්මක වූ ගිනිඅවියෙන් නිකුත්වූ උණ්ඩය මරණකරුගේ පපුව ප්‍රදේශයට වැදුන බවත් එම අවස්ථාවේදීම දඩයක්කරු මියගිය බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබිණ.

පසුව රාත්‍රියේම වෑන් රථයක් වත්තට ගෙන්වාගෙන මරණකරු රෝහල්ගත කිරීමටද සහායකයින් කටයුතු කර තිබිණ.

එහිදී මරණකරු සමගින් දඩයමේ ගිය සෙස්සන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතුකර තිබිණ.

අදාළ ගිනි අවිය සඳහා නිසි බලපත් තිබේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

අත්අඩංගුවට ගෙන තිබූ ගිනි අවිය හා සෙසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකරි සුජීව විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් අනුව දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. අධිකාරි මහතා ඇතුලු‍ පොලිස් කණ්ඩායම් මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවති.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment