නාමල්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය දෙසැම්බරයට කල් යයි

129

රුපියල් මිලියන 30 ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධිචෝදනා 11 ක් යටතේ හිටපු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට හා නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් මස 08 දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (14 දා) නියෝග කළේය.

නාමල් රාජපක්‍ෂ, සුජාන් බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානී සමරනායක යන විත්තිකරුවන්ට, අවශ්‍යතාවක් වුවහොත් 20 වැනිදා දක්වා විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසට විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අවසර ලබාදුන් විනිසුරුවරයා විදේගත වන දිනය සහ නැවත පැමිණෙන දිනය මෝසමක් මගින් අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා ලෙසට ද නියෝග කළේය.

නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදු කළ ගනුදෙනුවකදී එලෙස අයථා ලෙස මුදල් උපයාගෙන ඇති බවට චෝදනා එල්ල කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment