නිදියහනේදී අයකු අභිරහස් ලෙස ඝාතනය කරලා

706

දෙල්ගොඩ සියඹලාපේවත්ත ආරියදාස විදානගේ මාවත ප්‍රදේශයේ තම නිවසේ නිදා සිටි පුද්ගලයකු ඊයේ (09දා) අලුයම් කාලයේ සිය නිදි යහන මත ඝාතනය කර ඇතැයි මීගහවත්ත පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ සියඹලාපේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වෘතියෙන් ත්‍රිරෝද රථ රියැදුරකු වන වනසිංහ ආරච්චිගේ මධුර ඉන්දුජිත් නැමති හතළිස් අට වියැති දෙදරු පියෙකි.

තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශය කපා මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය පවසයි. මරණකරුගේ භාර්යාව විදෙස්ගතව

රැකියාවක නිරතව සිට ඇති බවත් කලක සිට මේ දෙදෙනා අතර අඩදබර නිතර සිදුව ඇති බවත් වසරකට පමණ පෙර සැමියා හැරදමා බිරිඳ වෙන්ව සිටි බවටද මරණකරුගේ පියා වන ඩබ්ලිව්. ඒ. ඩී. පියතිස්ස මහතා ‘දිවයින’ පුවත්පතට පැවසීය. ඝාතනය සිදුවූ ස්ථානයට ඊයේ දහවල් පැමිණි මහර වැඩබලන මහෙස්ත්‍රාත් දේශාන් පෝල් මහතා මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකර මළසිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රාගම මහ රෝහලේ මෘතශරීරාගාරය වෙත රැගෙන යෑමට නියෝග කළේය. මෙම ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කැලණිය සහකාර පොලිස් අධිකාරි (05) ධනංජය පෙරමුණ මහතාගේ උපදෙස් මත මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න, පොලිස් පරීක්ෂක දිසානායක, කැලණිය පොලිස් ස්ථානීය අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කහටපිටිය උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිංහ, පොලිස් සැරයන් වරුන් වන (36082) ජයසේකර, (53921) ලක්මාල්, පොලිස් කොස්තාපල්වරුන් වන (88303) ශෙහාන්, (95202) උදයකුමාර, (15179) පොලිස් රියැදුරු ප්‍රදීප් යන නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment