නීතියේ සිදුරු සහ අඳුරු වෙන ළමා ජීවිත!

85

කාලාන්තරයක් තිස්සේ අපේ රට ප්‍රසිද්ධව තිබුණේ ධර්මද්වීපය කියලා. ලෝකය පුරා ලංකාව පිළිබඳව කීර්තියක් හැදුනේ ආගමික සහජීවනය, සහනශීලී ප්‍රතිපදාව තිබුණු හැම මනුස්සයකුටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් කියලා.

ආගන්තුක සත්කාර අතින් ලෝකයේ අංක එක බවට පත් වෙච්ච රටක් විදිහට තමයි අපේ රට ප්‍රසිද්ධව තිබුණේ.

එහෙම රටක අද වෙනකොට අහන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්ති මොනතරම් කනගාටුදායක ද? පසුගිය දිනවල බාල වයස්කාර දැරියන් කිහිප දෙනකුගේම ජීවිත ඉතාම කනගාටුදායක ඉරණමකට ගොදුරු වුණු හැටි අපට මතකයි. මල් වගේ කුඩා දරුවන්ගේ ජීවිත මේ තරම් වියරු ලෙස ගල් වගේ වේදනාකාරී තත්ත්වයට පත්වුණේ කොහොමද?

මීට දශක ගණනාවකට කලින් අපව කම්පනයට පත් කළ සිදුවීමක් වුණේ මතුගම සමන් කුමාර ඝාතනය.

ඒ වියරු ඝාතනය තුළින් මොනතරම් කම්පාවට පත් වුණාද කිව්වොත් මාස ගණනාවක් මුළුල්ලේ මුළු රටම ගත කළේ භීතිය සහිත දවස්.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් සේයා දැරිය පිළිබඳවත්, ඉෂාලිනී පිළිබඳවත්, සමාජ ජාල හරහා බරපතළ ලෙස අපයෝජනයට අලෙවි කරමින් ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරියක් පිළිබඳවත් අපට ඇත්තේ කම්පනීය මතකයන්. දිනෙන් දින මෙවැනි අමිහිරි සිදුවීම් වැඩි වෙනවා විනා අඩු වීමක් නම් නැහැ.

වර්තමානය සහමුලින්ම සමාජ මාධ්‍ය විසින් විශාල ලෙස සමාජය ග්‍රහණයට ගෙන තිබෙනවා. තාක්ෂණික ලෝකයක් සමඟ ගනුදෙනු කිරීමේදී නවීන තාක්ෂණය රටකට ගලා ඒම අත තබා නතර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කළ යුතු නැහැ. කළ යුතු වන්නේ නව තාක්ෂණය සමීප කර ගන්නවා වගේම මානසික හික්මීමක් සහිත සමාජයක් ගොඩනැඟීම උදෙසා සියලු දෙනාම දායක වීම.

සාමාන්‍යයෙන් දරුවන්ට වැඩිහිටියන්ගේ රැකවරණය අවශ්‍යයි. නමුත් අවාසනාවකට බොහෝ අවස්ථාවල දරුවන්ට ඒ ලැබිය යුතු නිසි රැකවරණය අහිමි වන අවස්ථා දකින්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දරුවන් ගොදුරු බවට පත්වීම.

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය වන බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝගත කර සීඩී තැටිවලට නඟා යුරෝපයේ, ඇමෙරිකාවේ සහ ඔස්ටේ්‍රලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කිරීම පිළිබඳව චෝදනා ලබා තිබෙන පුද්ගලයන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් අනුගමනය කළේ ඉතා මන්දගාමී පිළිවෙතක්. බොහෝ අවස්ථාවල දරුවන්ව අපහරණයට ලක් කිරීම් පිළිබඳව ඇතැම් දේශපාලඥයන් පවා චෝදනා එල්ල වුණා.

දූෂණය වූ දරුවා යනු ශෝකයේ සංකේතයක්. දූෂණය කැමැත්තෙන් සිදුවීද, අකැමැත්තෙන් සිදුවීද, එයට ලක් වූ දරුවා පහත් යැයි සම්මත හැඟීමකින් පෙළෙන්නට පටන් ගන්නවා. ඒ දරුවන් ඉලක්ක කරගෙන අනන්ත අප්‍රමාණ පීඩාවන් එල්ල වෙනවා.

80 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාව තුළ ළමා කායික දණ්ඩනය වරදක් බවත්, 90 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපයෝජනය බරපතළ වරදක් බවටත් හඳුනා ගත්තා. එතැන් සිට ළමා අපයෝජනවලින් සිදුවන කෙටිකාලීන මෙන්ම දිගුකාලීන අයහපත් බලපෑම් පිළිබඳව කටයුතු කිරීම පිණිසත් ළමුන්ට සිදුකරන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා සහ කෲරත්වයන්ට එරෙහිව පියවර ගැනීම සඳහාත් ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමග අත්වැල් බැඳගත්තා.

අපචාරයන්ට ගොදුරු වූ වින්දිත දරුවන් වැඩිහිටියන් වන තෙක්ම නඩු එක තැන පල්වෙනු දක්නට ලැබෙනවා. ඒවායෙහි කිසිදු ප්‍රගතියන් නැහැ. අපරාධකරුවන්ද නිදැල්ලේ සිටීම මෙහි බරපතළ තත්ත්වයක්. මෙය එක්තරා ආකාරයකට අපයෝජකයන් දිරිමත් කිරීමක්. ළමා වින්දිතයන් යුක්තිය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමති තැනට පත් වීම ඛේදවාචකයක්.

සියලු ආගම්වලින් කියාදෙන්නේ අනෙකාට ගරු කිරීම ගරු කිරීම සෙනෙහස සහ රැකවරණය දැක්වීම වගේ යහ කරුණු. නමුත් සියලු ආගම්වලින් උගන්වන මානවවාදී කාරණා සියල්ල බැහැර කරමින් බොහෝ අවස්ථාවල ඇතමුන් තමන්ගේ සිත යට සැඟවුණු යක්ෂයාට අවදිවන්නට දීම බරපතළ කනගාටුවට කරුණක්.

අනෙක් අතට ළමා අපයෝජනයන්ට එරෙහිව විවිධාකාර අණ පනත් අපේ රටේ පනවා තිබෙනවා. නමුත් ක්‍රියාත්මක වීම අතින් එය අතිශයින් කනගාටුදායකයි.

අප කවුරුත් දන්නා පරිදි ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ කොටස් 13ක් සහ තවත් කොටස් 4ක් ළමයකුට එරෙහිව කිසියම් භාරකාරයකු සිදු කළොත් එය ළමා අපයෝජනයක් ලෙස සැලකෙනවා. ඒ අනුව 2016 වසරේදී ක්‍රියාත්මක වුණු පරිදි දරුවකුට අවුරුදු දහසය දක්වා අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදිය යුතු වෙනවා.

දරුවන් වෙනුවෙන් තිබෙන අණපනත් දෙස බලනකොට ලංකාව තරම් ළමා අයිතිවාසිකම් ගැන ලොකුවට හිතන රටක් ලොව නැති තරම් යැයි සිතෙනවා. නමුත් ලොව බොහෝ රටවල් නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක කලද ලංකාවේ නීතියේ “සිදුරු” තිබෙනවා.

ඒ සිදුරු අතරින් බොහෝ දෙනා රිංගා යෑම කනගාටුවට සහ ඛේදවාචකයට කරුණක්. උදාවී ඇති ඛේදනීය තත්ත්වයන්ට අපරාධකරුවන්ට ඇඟිල්ල දික් වෙනවා මෙන්ම අප සමාජය වෙතද ඒ පිළිබඳ ඇති වගකීම බැහැර කළ හැක්කක් නොවේ. දේශපාලන, ආගමික, අධ්‍යාපන හා මාධ්‍ය ඇතුළු සමස්ත සමාජයම මේ තත්ත්වය ගැන අවදි විය යුතුව ඇත. බැරෑරුම්ව සිතිය යුතුව ඇත. තම වගකීම ඉටුකිරීමේ භූමිකාව පිළිබඳව බැරෑරුම්ව කල්පනා කළ යුතුව ඇත.

ඉමිතියාස් බාකීර් මාකර්

advertistmentadvertistment
advertistmentadvertistment