විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සජබ වාර්ෂික සමුළුවේදී කියයි
නිවට ප්‍රතිගාමී කුජීත, පජාත බියගුළු බලවේග සතර අතේ සමගි ජනබලවේගය විනාශ කරදැමීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත්, රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස ජීවත්ව සිටිනා තුරු එවැනි දෙයක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11 වැනිදා) පැවැසීය.
ඒ මහතා එසේ පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පක්‍ෂයේ වාර්ෂික සමුළුවේදීය. අති විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටියහ. මෙහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
ධාර්මිෂ්ට රටක් දැහැමි සමාජයක් ගොඩනැඟීම උදෙසා නිර්මාණය වෙච්ච මේ දේශපාලන බලවේගයට ඔබ සියලු දෙනා ශක්තිය එකතු කිරීම ගැන මගේ ස්තුතිය හා ගෞරවය පුදකරන්න කැමැතියි. රට බංකොළොත් කළ දූෂිතයන් වංචනිකයන්, ප්‍රෝඩාකාරයන්, මංකොල්ලකාරයන්, පැන්නීමේ පොදුජන අරගලයේ නියමුවන්ලා ඔබයි. එයට ශක්තිය දුන්නේ ඔබයි. එදා හදිසි නීතිය දාලා මහපාරේ අපිට ගමන් කිරීම තහනම් කරපු ඒ ඒකාධිපති ආණ්ඩුවට ඒ සියලුම දේවල් කඩකරලා මහපාරට බැස්සේ සමගි ජනබලවේගය මන්ත්‍රී මණ්ඩලය. 2020 නොවැම්බර් මාසේ පොදු ජනතාවත් එක්ක මහපාරට බැස්සේ අපි ඔබ සියලු දෙනා පෙරටු කරගෙන. 2021 ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට ගිය පළවැනි සහ එකම ජනතා බලවේගය සමගි ජනබලවේගය කියලා කියන්න කැමැතියි. දින ගණනාවක ගෝඨා ගෝ හෝම් පාගමන කන්ද උඩරටින් ආරම්භ කරලා දැවැන්ත මැයි දින පෙළපාලියක් ක්‍රියාත්මක කරලා ගෝඨා ගෝ හෝම්, බැසිල් ගෝ හෝම් මහින්ද ගෝ හෝම් කියන විප්ලවයේ නියමුවන් සමගි ජනබලවේගයේ නිර්මාණකරුවන් වන අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ඔබයි කියන එක කියන්න කැමැතියි.
“අපේ පක්‍ෂය ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලියාපදිංචිය ලබලා ඉන්පසුව මාස කීපයක් ඇතුළත මහමැතිවරණයකට මුහුණ දීලා අපි ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. මේ රටේ කිසිම දේශපාලන පක්‍ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ නොලබපු ජයග්‍රහණ සමගි ජනබලවේගය 2020 අගෝස්තු පැවැත්වුණු මහ මැතිවරණයේදී අපි ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 ක්. ලක්‍ෂ 27 කට වැඩි ප්‍රමාණයක් ඡන්ද. සියයට 23.9 ක ඡන්ද ප්‍රතිශතයක් අපි ලබාගත්තා කියන එක මතක් කරන්නේ ඉතාමත්ම සතුටින්. උනුත් එකයි, මුනුත් එකයි කියන එවුනුත් එකයි කියන කණ්ඩායම් අද දැවැන්ත කුමන්ත්‍රණයක නියැළිලා සිටිනවා සමගි ජනබලවේගය විනාශ කරන්න.
“මං ඒ කුජීතයන්ට, නිවටයන්ට අභියෝගයක් කරනවා. මන්දිරවල ඉඳගෙන කරන කුමන්ත්‍රණ නෙවෙයි මහ පාරට බහින්න. වීදියට බහින්න. මාවතට බහින්න. මහපාරට බැහැලා මහපොලොවට අඩිය තියලා මේ ජනතාවත් එක්ක පුළුවන් නම් එකතුවෙලා සමගි ජනබලවේගය පරාජය කරන්න ඒ අයට බැහැ. ඒ අය බිය ගුල්ලෝ. ඒ අය නිවටයෝ. මේ රටේ මහජනතාවත් එක්ක හරි හරියට එකට හිටගන්න පුළුවන් ජනතාවාදී ප්‍රගතිශීලී බලවේගය සමගි ජනබලවේගයයි කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ප්‍රතිගාමී බලවේගවලට මං මේ මොහොතේ ආරාධනා කරනවා ඔබ නිවට වෙන්න එපා. ඔබ බියගුළු වෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ තමන්ගේ තරම දැනගන්න පුළුවන් හොදම ලිට්මස් පරීක්‍ෂණය මැතිවරණයයි. අපිට මැතිවරණයක් ඕනේ. ඕනෙ නේද? ඕනේ නේද? එකමුතුභාවය, සහෝදරත්වය, කණ්ඩායමක් හැටියට කටයුතු කිරීම ආඩම්බරයෙන් කියන්න කැමැතියි. රට ගොඩගන්න පුළුවන් රට ගොඩනඟන්න පුළුවන් රට දියුණු කරන්න පුළුවන් දක්‍ෂතම නිහතමානී ශක්ති සම්පන්නම විනයගරුක යුක්තිගරුක දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තොර කණ්ඩායම සිටින්නේ අපේ සමගි ජනබලවේගයට කියන එක කියන්න කැමැතියි. ලංකාව ලෝකයේ පළවැනි තැනට ගෙනඒම තමයි බලාපොරොත්තුව.
තරුණ පරපුරට තීන්දු තීරණ ගැනීමේ බලයක් ලබාදෙනවා. 52% ක්වූ කාන්තා පරපුර රැකගන්නවා. දරුවන්ව රැකගන්නා වැඩපිළිවෙළක් සකස් කරනවා.
රට අන්ත අසරණ කරලා රනිල් ජනාධිපති කරගෙන දැන් අඬනවා – හර්ෂ ද සිල්වා
සමගි ජනබලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
පොහොට්ටුව සන්ධානය විසින් අපේ රට ඇදලා දාපු වළෙන් අපි අපේ රට ගොඩගන්නේ කොහොමද? 2020 ඉඳලා උගුරේ ලේ රහ වෙනකම් කෑගහලා අපි කියපු දේට සවන් දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑ. අපි 2020 පාර්ලිමේන්තුවට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහතා එන්න කලින් ඉඳන් කරපු පළවැනි කතාවේ ඉඳලා රැකියා අහිමි වෙනවා. දුප්පතුන් වැඩිවෙනවා කියලා අපි කියපු දේවල් ගණන් ගත්තේ නැහැ. රට වැටුණා. අද මිනිසුන්ට වේලක් කන්න මුදල් නැහැ. ලමයි දෙතුන් දෙනෙක් ඉන්න අම්මට තාත්තට ඒ පොත් ටික ගන්න රුපියල් 40,000 ක් ඕනේ. ණයක් ගන්න බැහැ. ආයෝජන නැවතිලා. කර්මාන්ත ශාලා පටන් ගන්න බැහැ. දැන් ලීසිං එක සියයට 40 පැනලා. කුඩා ව්‍යාපාර විතරක් නොවෙයි හෙට අනිද්දා වෙනකොට මධ්‍යම ව්‍යාපාරත් කඩා වැටෙයි. ලෝකයේ ශීඝ්‍රයෙන්ම දරිද්‍රතාවය ඉහළ ගිය රට බවට මේ රට පත්වෙනවා. රට වට්ටලා බංකොළොත් කරලා රට අන්ත අසරණ කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකරගෙන දැන් අඬනවා. මේ සංකීර්ණ ප්‍රශ්න හඳුනාගත හැකි නායකයෙක් ඉන්නේ අපිට විතරයි. තරුණ ප්‍රජාවට අපිට විතරයි බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. ළඟදීම අලුත් ආණ්ඩුවක් ඇතිකරන්න අපට හැකිවේවා…!
රට මුදා ගැනීමට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරනවා – තිස්ස අත්තනායක
ජාතික සංවිධායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා:-
අපි අද මුහුණ දීලා තිබෙන්නේ රටේ වෙන කවරදාකටත් වඩා මහා භයානක අවස්ථාවකට. ආර්ථිකය භයානක ලෙස කඩා වැටිලා තිබෙනවා. ශ්‍රී ලංකාව හැම අතින්ම ලෝකය ඉස්සරහ හෑල්ලුවට පත්වෙලා තිබෙනවා. ලෝකයේ ණය ගන්න බැරි තරමට අපේ රට බංකොලොත්භාවයට පත්වෙලා තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපි මොනවද කරන්න ඕනේ. රට මේ තත්ත්වයෙන් මුදා ගැනීමට දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එය කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයට පමණයි කියන එක කියන්න කැමැතියි. තව කට්ටියක් කිය කියා යනවා 74 අවුරුද්දක් මේ රට සියලු දෙනාම කාලා විනාශ කළා කියලා. මේ කතාව අපිට පිළිගන්න පුළුවන්කමක් නැහැ. 74 අවුරුද්දක් තුළ මේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් අපේ නායකයන් මහා විශාල වැඩකොටසක් ඉටුකරලා තිබෙනවා.
අද ජනතා විමුක්ති පෙරමුණ කියාගෙන යනවා අද මේ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන් වෙන්නේ ඒ අයගේ නායකයෝ ආවොත් විතරයි කියලා. ඒ අය කියන්නේ එයාලා සුපිරිසිදුයි කියලා. ඒ අය මීට පෙර ඇමැති ධුර 8 ක් පමණ දැරුවා. අපි අහන්න කැමැතියි එයාලා එහෙම දරලත් ජනතාවට යමක් කරන්න හැකිවුණාද කියලා. මොකද මේ අය කරන්න උත්සාහ කරන්නේ රටේ ජනතාව රවට්වන්න. 2023 මැතිවරණ වර්ෂයක්. ඡන්ද පොළවල් 12,000 ක් දිනන ජාතික වැඩපිළිවෙළකට අපි යා යුතුයි.
නායකයෝ හොරා කාපු මුදල් ජනතාවගෙන් අයකරගන්න හදනවා – රංජිත් මද්දුමබණ්ඩාර
සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා
අපි දන්නවා මේ රටේ ජනතාව ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත් ඇමැතිවරුන් බලහත්කාරයෙන් ඒ අය මේ රටට කරපු විනාශයට ජනතා මතයෙන් ඒ අයව එලියට දාපු විදිහ. මොකක්ද ආපහු නැවත කළේ. ඒ පිරිසම එකතුවෙලා ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිස් එකතුවෙලා ජනමතයට ඇහුම්කන් නොදෙන ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් මේ රටට බලයට පත්කරනවා. අද මොකක්ද මේ නායකයා කරන්නේ. අපි හිතුවා මේ නායකයා එනකොට මේ රටට පිටරටින් ආධාර එයි. පෝලිම් නැතිවෙයි. ජීවන වියදම අඩුවෙයි කියලා. මේ නායකයා කළේ අර හොරකම් කරපු හොරු රැලත් එක්ක හොරකම් කරපු මුදල් එකතු කරන්නේ නැතිව ජනතාවගෙන් රාජපක්ෂ රෙජීමයේ හොරාගත් අනිත් හොර රැලත් හොරකම් කරපු මුදල් සඳහා බදු දාලා බඩු මිල වැඩි කරලා තෙල් මිල වැඩි කරලා ලයිට් බිල වැඩි කරලා ජනතාවගෙන් අය කරන්න යනවා. රජය අද මැතිවරණයකට බයවෙලයි ඉන්නේ. අපි බලකරනවා ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දෙන්න කියලා. අද අපේ මේ ජන ගංගාව අපේ ශකතියෙන් සමගි ජනබලවේගය මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා කියලා රට තුළ වෙනසක් කරන්න පුළුවන් එකම පක්ෂය සමගි ජනබලවේගය.
දූෂිත පාලනයට පින් සිද්ධ වෙන්න ජනතාවට තුන්වේල කන්න නෑ – සරත් ෆොන්සේකා
සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා
මේ වෙලාව ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න අවදියක්. තමුන්නාන්සේලා අපි සමඟ අත්වැල් බැඳගත්තා. තමුන්නාන්සේලා ඉතාම දුෂ්කර ජීවිතයක් ගතකරන මොහොතක් මේ වෙලාව. අපි හිනාවක් සතුටක් මේ කාලයේ දකින්නේ නැහැ. වර්තමාන දූෂිත පාලනයට පින් සිද්ද වෙන්න මේ රටේ සියයට 80 ක් ජනතාවට තුන්වේලක් කන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. දරුවන්ට හරියට කන්න කෑම වේලක් දෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අපි දන්නවා මේ කාලයේ එළවළුවක් එක්ක අමාරුවෙන් බත් වේලක් කන කාලයක්. මස් මාළු කන්න හම්බවෙන්නේ නැහැ. දරුවන්ට පොතක් පතක් පාසල් ඇඳුමක් අරන් දෙන්න අමාරුයි. වයෝවෘද්ධ අයට මේ කාලයේ බෙහෙත් ටික ගන්න බැහැ. ඒවා රජයෙන් දෙන්නෙත් නැහැ. ඒවා ගන්න අතේ සල්ලිත් නැහැ. ජනතාවට ගමනක් බිමනක් යන්න බැහැ. පෙට්‍රල් ගහගන්න බැහැ. විදුලි බිල එන්න එන්නම වැඩිවෙනවා.
බොරැල්ල කැම්බල් පිටියේ පැවැති සමගි ජනබලවේගයේ වාර්ෂික සමුළුවේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි නායකයා ලෙස යළි ඒකමතිකව තේරීපත් විය. සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කර තිබේ. රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්‍ෂ මහ ලේකම්වරයා ලෙසද, භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද, ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද පත්ව ඇත.
මෙම අවස්ථාවට පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්‍ෂ්මන් කිරිඇල්ල, මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර්, තලතා අතුකෝරල, හේෂා විතානගේ, නලින් බණ්ඩාර, සුරේෂ් වඩිවේල්, රාජිත සේනාරත්න, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු ද ඩලස් අලහප්පෙරුම – ඩිලාන් පෙරේරා ඇතුළු විවිධ දේශපාලන පක්‍ෂ නායකයන්ද මෙවර සමුළුවට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්