භව ගමන කෙටි කරන මීතිරිගල නිස්සරණ වනය

1545

සිංහල බෞද්ධයන් ලෙස උපන් අපට බුද්ධෝත්පාද කාලය ලැබීමත් ක්ෂණ සම්පත්තිය ඇතිව ඉපදීමත් කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රයත් මේ භව ගමන කෙටිකර ගැනීමටත්, මාර්ගඵල ලබා ගැනීමටත් උදව්වක් බව බුද්ධ දේශනාවල සඳහන් වේ. නමුත් ඒ සඳහා උපදෙස් අවශ්‍යය. බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ එක ධර්ම දේශනාවකට සවන් දීමෙන් මාර්ගඵල ලැබූ අය සිටි බව අප අසා තිබේ. බෞද්ධයන් වශයෙන් උපන් අප පින් කුසල් අධිකුසල් ලැබිය යුතුය. ඒ සඳහා අපිට කළ යුතු බොහෝ කටයුතු ඇත. දාන ශීල භාවනා ප‍්‍රධාන වේ. දන් දීමෙන් කෙලෙස් දුරු වේ. රාග ද්වේශ මෝහ ප‍්‍රහීන වේ. සිල් රැකීමෙන් බොහෝ කුසල් අත්පත් වේ. නමුත් ධ්‍යාන ලැබීමට, මාර්ගඵල ලැබීමට භාවනාව අත්‍යවශ්‍ය වේ. භාවනාවෙන් අධි කුසල් හිමි වේ.

භාවනාවේදී බොහෝවිට සතිය සතිමත් බව දියුණු වේ. බුදුරජාණන්වහන්සේ භාවනාවට උපදෙස් දී ඇති සූත‍්‍ර රාශියකි. ගිරිමානන්ද සූත‍්‍රය ආනාපානසති සූත‍්‍රය මහා සතිපට්ඨාන සූත‍්‍රවල සතිමත් වීමට අවශ්‍ය පසුබිම පෙන්වාදී ඇත. භාවනාවට සුදුසු ස්ථානයක් තෝරාගැනීමේදී අරඤ්ඤ ගතෝවා, රුක්ඛමූල ගතෝවා, ශූඤ්ඤාගර ගතෝවා යනුවෙන් දේශනා කර ඇත. භාවනාවට සුදුසු ස්ථානයක් සොයමින් සිටි ගාල්ලේ ඉපිද අධ්‍යාපනය ලබා කොළඹ ව්‍යාපාරික කටයුතු කළ අශෝක වීරරත්න මහතා භාවනාව ඉගෙනීමට සුදුසු යතිවරයාණන් කෙනෙක් සහ ස්ථානයක් සොයමින් සිටියේය. ඒ අනුව එතුමන්ට මුණගැසුණු මීතිරිගල නිස්සරණ වනය භාවනාවට සුදුසුම ස්ථානයක් ලෙස තෝරාගෙන ඇත. ඒ සඳහා භාවනාවට සුදුසු මෙම ස්ථානය සොයා ගැනීමට මාස හයක් පමණ ගත විය. ස්ථානය ලැබුණ එතුමන් භාවනා ආචාර්යවරයකු සොයමින් සිටි අතර ඒ සඳහා මාතර ශ‍්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ හමුවිය.

ගිහියකු වශයෙන් මාතර ශී‍්‍ර ඥානාරාම ස්වාමීන් සමග භාවනාවට සුදුසු ස්ථාන සොයමින් ගිය අශෝක වීරරත්න මහතා කලූගල ආරණ්‍ය, පැලවත්තෙන් හෙවැසට ගොස් පයින්ම කැලේ ගමන සිදුවිය. ඉන්පසු අරන්කැලේ ආරණ්‍ය සොයා ගොස් ඇත. අනතුරුව නිකවැරටියට මඳක් ඈතින් පිහිටි නාගම් සෝලේ නම් ස්ථානය බැලීමටද ගොස් ඇත. ගමන් දුෂ්කරතාව නිසා මෙය අතහැර දමා ඇත. වසර හැටක් ද ඉක්ම වූ උන්වහන්සේ තම අධිෂ්ඨානය අත්හැරියේ නැත. ඒ අනුව හඳුනාගත් සුදුසුම ස්ථානය මීතිරිගල රක්ෂිත වනයයි.

කොළඹ සිට සැතපුම් 30ක් පමණ දුරින් ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත් කිරිඳිවැල ආසන්නයේ පිහිටි එම කැලය එකල හැඳින්වූයේ මීතිරිගල මූකලාන යනුවෙනි. මෙම විශාල වනාන්තරයෙන් හුදෙකලා බව නිසසල බව සහ ශාන්ත බව නිසා ශී‍්‍ර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ මෙය යෝගී ජීවිතයට ඉතා සුදුසු බව අනුමත කළහ. ඒ අනුව 1964 දී අශෝක වීරරත්න මහතා අනූනව අවුරුදු බදු ක‍්‍රමය යටතේ මේ රක්ෂිත වනයෙන් අක්කර සීයක් ද නැවත තවත් අක්කර තුන්සිය අසූ හතරක් ද තමාගේ පෞද්ගලික නමට පවරා ගත්තේය. ඉන්පසු සිය පෞද්ගලික ධනය ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයගේ ආධාර ද ඇතිව සේනාසනය සඳහා ගොඩනැඟිලි තැනීම ආරම්භ කළේය. වර්ෂ තුනක් පමණ කෙටි කාලයකදී භාවනා කුටි ආදී මූලික නිමැවුම් අවසාන විය. ප‍්‍රථම භාවනා වැඩසටහන 1967 ජූලි 22 වන දින ආරම්භ විය.

මාතර ශී‍්‍ර ඥානාරාම මාහිමියන් සමඟ මේ කටයුතු කළ අශෝක වීරරත්න මහතා 1972 අගෝස්තු මස 22 වැනි දින පූජ්‍ය මීතිරිගල ධම්මනිසන්ති ලෙස පැවිදි විය. උන්වහන්සේ 1999 ජූලි දෙවන දින වසර අසූවක් ජීවත් වී අපවත් වූහ. මෙසේ ආරම්භ වූ නිස්සරණ වනය ගැන පූජ්‍ය නා උයනේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ‘‘අමා බින්දු’’ ග‍්‍රන්ථයේ මෙසේ ප‍්‍රකාශ කර ඇත.

‘‘නිස්සරණ වනය ආරම්භ වූයේම නිවන් දැකීමට යෝග්‍ය භූමියක් ලෙසිනි. නිස්සරණ වනය යන නම ම යෙදුණේ ද ඒ නිසාය. හැමදෙනාටම සසුනෙහි ඇතුළත පිටත හැඳින්වීමට ඉඩ සලසමින් මාහිමිපාණන් නිස්සරණ වනය ගොඩනැඟූහ. සියලූ දුසිරිත්වලට රජ දහනක්ව තිබූ මීතිරිගල මූකලාන අද යෝගී රජදහනක්ය. යක්ෂ පේ‍්‍රත පිසාචරයන් අරක්ගෙන සිටි මීතිරිගල කැලය අද සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට වාසස්ථානයකි.’’

භව ගමන කෙටි කරන මීතිරිගල නිස්සරණ වනය

නිස්සරණ වන සෙනසුනේ ඓතිහාසික තොරතුරු බිඳක් ඉහත දක්වන ලදී. මෙසේ බිහි වී දියුණු වූ මීතිරිගල නිස්සරණ සේනාසනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ එළි කොට බෞද්ධ ජනතාව තුළ බෞද්ධාගමික ප‍්‍රබෝධයක් ඇති කිරීම මෙම ලිපියේ අරමුණයි. දැන් ඒ පිළිබඳව විමසා බලමු. මීතිරිගල නිස්සරණ වනය අද ඇති තත්ත්වයට ගෙන ඒමට අතිපූජ්‍ය මාතර ශී‍්‍ර ඥානාරාම ස්වාමීන් වහන්සේගේ උපදෙස් හේතු වී ඇති බැව් පෙනේ. සෑමවිටම සතිමත්ව යෝනිසෝමනසිකාරයෙන් සිතන ලෙස අවධාරණය කළහ. ‘‘බුදුහාමුදුරුවෝ වැඩම කළත් භාවනාව නොකඩා දිගටම ගෙනියන්න ඕනෑ’’ යයි උන්වහන්සේ අවවාද කළ බවත් අපවත්වීමට මාසයකට පෙර ද සේනාසනයේ සියලූ සංඝයා වහන්සේලාට මෙම අවවාදය දුන් බවත් බුදුවරයකු ලොව පහළ වීම පූර්ණ මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම, බුද්ධ ශාසනයේ පිහිට ලැබීම, ශ‍්‍රමණ ජීවිතය, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය යන දුර්ලභ කාරණා සම්පූර්ණ වී ඇති මෙම භවයේදීම නිවන් සාක්ෂාත් කළ යුතුම බවත් සිය භික්ෂු සහ ගිහි ශිෂ්‍යයන්ට නිරතුරුව උපදෙස් දුන් බවත් පොතපතෙහි දැක්වේ. උන්වහන්සේ විසින් රචනා කරන ලද ලිඛිත චරිතාපදානයේ ‘‘අමා බිංඳු’’ පොතෙහි බොහෝ කරුණු දක්වා ඇත.

මින් පසුව සංඝ පීතෘ පරම්පරාවේ ස්වාමීන් වහන්සේලා කීප නමක් ම වැඩ සිට ඇත.

  • ගෞරවාර්හ පානදුරේ ඛේමානන්ද ස්වාමීන් වහන්සේ
  • ගෞරවාර්හ මීතිරිගල ධම්මවාස ස්වාමීන් වහන්සේ
  • ගෞරවාර්හ කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

දැනට වැඩ සිටින උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ 1988 නොවැම්බර් 16 දින පැවිදි වී, 1993 බුරුමයට වැඩම කොට පණ්ඩිත් ආරාමයේ පූජ්‍ය සයාඩෝ ඌ පණ්ඩිතාභිවංස හිමියන් යටතේ 1993 සිට 1996 ඉතා දැඩි භාවනා පුහුණුවක යෙදී ඇත. උන්වහන්සේ බුරුම බස පිළිබඳව පරිණත වූ අතර 2005 දී පා ඔක් සයාඩෝ ස්වාමීන් වහන්සේ ශී‍්‍ර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී නිල පරිවර්තක ලෙස කටයුතු කර ඇත. සතිමත් බව පුහුණු කිරීම කාලයක පටන් ලෝකයේ රටවල් ගණනාවකම ප‍්‍රධාන තැනක් ගත් කි‍්‍රයාවලියකි. එයින් ලැබී ඇති ප‍්‍රතිලාභ ගණනාවක් වාර්තා වී ඇත. ශී‍්‍ර ලංකාවට පළමු වරට හඳුන්වා දුන්නේ පූජ්‍ය ධම්මජීව නායක ස්වාමීන් වහන්සේය. සතිපට්ඨාන භාවනාවේ පදනම වන සතිය ඉතා වැදගත් කොට සලකන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සියල්ල කේන්ද්‍රගත කොට තිබෙන්නේ සතිමත් බව දියුණු කිරීම කෙරෙහිය. මෙයට හේතු වන්නේ උන්වහන්සේ වර්ෂ 35ක පමණ කාලයක් තුළ ජීවිත පර්යේෂණයක් ලෙස සතිය පුහුණු කරමින් පෞද්ගලික අත්දැකීමෙන් ඇති කරගත් ප‍්‍රබල විශ්වාසයයි. අති පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මුළු මානව වර්ගයාටම සතිමත් බව හා එහි ප‍්‍රයෝජන ලෝකයටම හඳුන්වා දෙමින් සිටී. මේ සඳහා වර්ෂ 2016 මාර්තු මාසයේ සති පාසල වැඩසටහන ආරම්භ කර දැනට කඩුවෙල ප‍්‍රධාන මධ්‍යස්ථානය වන අතර බොහෝ මාලාවත්වල ද ආරම්භ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය අමාත්‍යාංශය පිරිවෙන් අංශය සම්බන්ධ කරගෙන පාසල් කරා ද ව්‍යාප්ත කිරීමට කටයුතු යොදමින් පවතී.

ශී‍්‍ර ලංකාවේ පාසල් කීපයක ජාති ආගම් භේදයකින් තොරව බෞද්ධ හැර අන්‍යාගමික දරුවන් සතිමත් බව පුහුණුවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටී. දැනට මීතිරිගල නිස්සරණ වනයේ එකවිට දෙසීයකට පමණ පුහුණුව ලැබීමට පහසුකම් පවතී. විශේෂයෙන් පිරිවෙන්වල භික්ෂූන් වහන්සේලාට කණ්ඩායම් වශයෙන් පුහුණු වැඩසටහන් පැවැත්වෙන අතර දින 5, දින 10 වශයෙන් සැලසුම් කළ නේවාසික භාවනා පුහුණු වැඩසටහන් සැලසුම් කර කි‍්‍රයාත්මක කෙරේ. මෙහි පුහුණු කරන ප‍්‍රධාන භාවනා කර්මස්ථාන දෙක සක්මන් භාවනාව සහ ආනාපානසති භාවනාවයි.

දුරස්ථ භාවනා

වර්ෂ 2020 මැයි මාසයේ පමණ සිට කොවිඞ් වෛරස් රෝගය හේතුවෙන් නේවාසිකව භාවනා වැඩසටහන් පැවැත්වීමට නොහැකි විය. මේ නිසා ’දදප තාක්ෂණය යටතේ දුරස්ථ භාවනා වැඩසටහන් ආරම්භ විය. මේවා ද දිනක වැඩසටහන් ලෙස සංවිධානය වී ඇත. මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි කමල් තුඩුවගේ ඇතුුළු කීප දෙනෙක් විසින් දරන බව දැන ගැනීමට ලැබුණි. මේ නිසාම ඔස්ටේ‍්‍රලියාව, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ඩුබායි වැනි රටවලින් ද අඛණ්ඩව සහභාගි වන පිරිස් ඇත. මේ නිසා එම රටවල සති පාසල් වැඩසටහන් කි‍්‍රයාත්මක වේ.

මීතිරිගල නිස්සරණ ආරණ්‍යයේ සියලූ සංවිධාන කටයුතු පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව මීතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක වේ. නේවාසික භාවනා වැඩසටහන් ඇති විට නිතිපතා ඉන්න නේවාසික භික්ෂූන් වහන්සේලා ගිහි භාවනා යෝගීන්ට පස් දින හෝ දස දින භාවනාවලට සහභාගි වන 150ක් පමණ පිරිසට උදේ ආහාර සහ දිවා ආහාර දානපති පිරිසගෙන් ලැබේ. බොහෝ දෙනෙක් උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන්ව සිටින නිසා රාතී‍්‍ර ආහාරය නැත. ගිලන්පස පමණයි.

මේ සියලූ කටයුතු සඳහා නායක හිමියන්ට උදව් කරන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටිති. විශේෂයෙන් පූජ්‍ය පානදුරේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ, අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ, හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ වැනි හිමිවරු නාහිමිගේ පිටුපසින් වැඩ සිටිති.

මීතිරිගල නිස්සරණ සේනාසනය වෙනුවෙන්ම කැපවී කටයුතු කරන අතිපූජනීය උඩඊරියගම ධම්මජීව නාහිමියන්ගේ හැත්තෑ වන උපන් දිනය යෙදුණේ පෙබරවාරි පස්වන දිනයට ය. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් කි‍්‍රයාත්මක විය. ජනවාරි 30 සිට පෙබරවාරි 05 දක්වා පැළ 70ක් සිටුවීමට සංවිධානය කර තිබුණි. එමෙන්ම 2022.02.25 දින දවස පුරා (Felicitation Conference) පැවැත්විණි. විශේෂ සාකච්ඡා, දේශන වැනි අංගවලින් සමන්විත විය.

වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් www.nissarana.lk වෙත පිවිසෙන්න.

ඩබ්. පී. ටී. විජේතුංග
මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment