පර්යටනික කුරුමිණි කුරුල්ලෙක් ශ්‍රී ලංකාවට ඇවිත්

236

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ පර්යටනික කුරුමිණි කුරුල්ලකු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය, ප්‍රවීණ පක්ෂිවේදී සම්පත් සෙනෙවිරත්න මහතා තහවුරු කළේය.

ශ්‍රී ලංකාවෙන් මෙම කුරුල්ලා වාර්තා වන පළමු අවස්ථාව මෙය වේ. වත නිල් කුරුමිණි කුරුල්ලා (Blue Cheeked Bee-eater) නමින් හැඳින්වෙයි. මෙම කුරුල්ලා පාකිස්ථානය සහ වයඹ දිග ඉන්දියාව නිජබිම කරගනිමින් දිවිගෙවන අතර මේ දිනවල කෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේ සැරිසරන බවට පක්ෂිවේදීන් විසින් හඳුනාගනු ලැබ ඇත.

කුරුමිණි කුරුල්ලන් ලෙස හඳුන්වන කුරුලු පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් මේ වන විට ශ්‍රී ලංකවේ වාසය කරති. ඒ නීල පෙද බිගුහරයා (Blue Tailed Bee-eater), පුංචි බිගුහරයා (Green Bee-eater) සහ තඹල හිස් බිගුහරයා (Chestnut-headed Bee-eater) ලෙසිනි.

නීල පෙද බිගුහරයා ද කලක් ශ්‍රී ලංකාවට පැමිණෙන පර්යටනික කුරුල්ලකු ලෙස සැලකූව ද එම කුරුල්ලාගේ එක ගහනයක් ශ්‍රී ලංකාවේ නැවතී කැදලි තනන කුරුල්ලකු ලෙස පසුව හඳුනාගනු ලැබීය.

මේ දිනවල කෝට්ටේ බැද්දගාන තෙත් බිම් ප්‍රදේශයට පැමිණ සිටින වත නිල් කුරුමිණි කුරුල්ලකු ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී ලසිත් සුරංගන කුළුගම්මනගේ කැමරාවේ සිකුරාදා (24) සවස සටහන් වූ අයුරු මෙහි දැක්වේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment