කෘෂිකර්මයේ වාර්ෂික සමුළුව රිදී ජුබිලිය සමරයි…

34

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික තොරතුරු වාර්ෂිකව එළිදක්වන සමුළුව ලබන 22 වෙනි සිකුරාදා 25 වෙනි වරට ගන්නෝරුවේදී පැවැත්වීමට නියමිතය. දේශීය ගොවිතැන නඟාසිටුවීම වෙනුවෙන් සිදුකළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ඉදිරිපත් කෙරෙන මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ “තාක්ෂණයෙන් මෙහෙයවන කෘෂිකර්මයක් හෙටට” (Techdriven Agriculture for Tomorrow) යන්නයි. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලියන ලද තොරතුරු පත්‍රිකා සියයට ආසන්න පර්යේෂණ පත්‍රිකා, ලුහුඬු සන්නිවේදන සහ පෝස්ටර් වැනි ඉදිරිපත් කිරීම් විෂයයන් 9 ක් යටතේ මෙදින එළිදැක්වීමට නියමිතය. ශාක අභිජනනය, පාංශු පෝෂණය, ශෂ්‍ය විද්‍යාව, දේශගුණික විපර්යාස, ආහාර තාක්ෂණය, ශාක ආරක්ෂණය, කෘෂිකාර්මික ව්‍යාප්තිය, කෘෂිකර්ම ආර්ථික විද්‍යාව සහ ජෛව තාක්ෂණය යන විෂය පථයන් මෙයට ඇතුළත්වේ. දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමතරව විශ්වවිද්‍යාල ඇතුළු වෙනත් තාක්ෂණික සංවිධානයන්හි විශාල පිරිසක් සහභාගිවෙන මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතායි.

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ වසර සියයකටත් වඩා පැරණි තාක්ෂණික ආයතනයක්. වැඩිවන ජනගහනයට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය රට ඇතුළේම නිපදවීම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තිබුණු ප්‍රධාන අභියෝගයක්. විශේෂයෙන්ම සහල් අවශ්‍යතාවය. වැඩිදියුණු කළ වී ප්‍රභේද නිපදවලා ගොවීන්ව ඒවාට හුරුකරලා මේ වනවිට එම අභියෝගය සාර්ථකව අපි ජයගෙන තිබෙනවා. තව කරන්න දේවල් ගොඩක් තිබෙනවා. විශේෂයෙන් සීමිත සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කරලා, තාක්ෂණය අවශ්‍ය පරිදි එයට මුසුකරලා, සෞඛ්‍යාත්මක අතින් ඉහළ අස්වැන්නක් ගොවිබිමෙන් පිටතට ගැනීම හෙට දවසේ අවශ්‍යතාවයක්. මේ සමුළුව මෙවර ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ එයටයි.”

මෙසේ පවසන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරමාන් මෙනෙවියයි. වසරක කාලයක් තිස්සේ අලුතින් බිහිවන තාක්ෂණික තොරතුරු හඳුනාගනිමින් සහ එකතු කරමින් සමුළුවේ කටයුතු සංවිධානය කරනු ලබන කමිටුවේ මෙවර සභාපතිත්වය හොබවන්නේ ආචාර්ය හර්ෂ කුමාර කඩුපිටියයි. ඉදිරිපත් කෙරෙන සියලු තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර සමාජගත කිරීමටද සංවිධායකයන් කටයුතු කර තිබේ.

  • සනත් එම්. බණ්ඩාර
advertistmentadvertistment
advertistmentadvertistment