විධායක ජනාධිපති ක්‍රමය නැතිව රට ස්ථාවර කළ නොහැක

157

(දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 117 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ජයවර්ධන කේන්ද්‍රයේ ඉකුත්දා පැවති සැමරුම් වැඩසටහනේදී එතුමන්ගේ මුණුපුරු ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් කරන ලද කතාවේ සාරාංශයකි.)

දිවංගත ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 117 වැනි ජන්ම දිනය සමරණ මේ අවස්ථාවේ අපේ රට ඉතාමත් අභියෝගාත්මක කාලයක සිටින බව අප දන්නවා. මතුව ඇති එම ප්‍රශ්නවලට විසඳුම් බොහෝ දෙනෙක් අද සොයනවා. විවිධ මත අද සමාජය තුළ පැතිරෙනවා. එක මතයක් තමයි එතුමා හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බව. ඒ කියන්නේ අවුරුදු 30 ක කාලයක් තුළ වෙස්මිනිස්ටර් ක්‍රමය යටතේ 1965 -70 රජයත් 1970-77 රජයත් යන රජයවල් 2 කට පමණයි ඔවුන්ගේ පාලන කාලය සම්පූර්ණ කරගැනීමට පුළුවන් කම ලැබුණේ. එම රජයවල් දෙක හැර අනෙක් සියලු රජයන්වලට ඔවුන් පත්වූ කාලය තුළ ඔවුන්ගේ ධුර කාලය සම්පූර්ණ කරගැනීමට නොහැකි වුණා.

විධායක ජනාධිපති ක්‍රමය යටතේ අපි දැන් අවුරුදු 46 ක් ගතකර ඉවරයි. මේ කාලයේදී එක් රජයක් හැර සියලු රජයන්වලට කාලය සම්පූර්ණ කරගැනීමට පුළුවන් වුණා. ජේ. ආර්. එදා බලාපොරොත්තු වූ ස්ථාවර භාවය ඇත්ත වශයෙන්ම ඇති වී තිබෙනවා. එමෙන්ම විශාල අභියෝග රාශියක්, දරුණු යුද්ධයක්, ජනාධිපතිවරයකුගේ ඝාතනයක්, විශාල කෝලහාල මැඬපවත්වා ගනිමින් රට ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලාංකික අපට හැකි වුණා.

ගිය අවුරුද්දේ සිදුවුණු සමාජ අරගලය නිසා ජනාධිපතිවරයාට පලා යෑමට සිදුවුණා. එහෙත් කිසිම බල හිඩසක් නැතිව පත්වුණු නව ජනාධිපතිවරයාට මේ රට කඩාගෙන වැටෙන්නට නොදී, රටට අවශ්‍ය ඉන්ධන, බලශක්තිය, ලබාදී, ආහාර හිඟයකින් ඇතිවිය හැකි විශාල සමාජ විපර්යාසයකින් වැළැක්වීමට හැකි වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ ගත්ත නිර්භීත තීන්දුවට අද අපි ප්‍රශංසා කරනවා. එතුමාගේ ශක්තිය, දැනුම නිසා මේ රට බේරුණා. ජනාධිපති පුටුව නැතිව මේ කාර්ය එතුමාට කරන්නට පුළුවන්ද?

අපේ රාජ්‍ය ක්‍රමය තවමත් වෙස්මිනිස්ටර් ක්‍රමයේ තිබුණානම්, එදා අරාජික තත්ත්වය, අවුරුදු ගණනාවක් තිබෙන්නට පුළුවන්. සමහර විට මිලිටරි පාලනයකට අපි යනවා. වෙස්මිනිස්ටර් ක්‍රමය තුළ කොතරම් ශක්තිමත්, කොතරම් ජනප්‍රිය නායකයෙක් වුණත් ඔහුගේ ඉරණම පාර්ලිමේන්තුවට භාරයි. අපි ළඟකදී දැක්කා මෑත ඉතිහාසයේ පකිස්ථානයේ බිහිවුන හොඳම නායකයා පාර්ලිමේන්තුවේ බල අරගලයකින් පරද්දනවා. එතුමා අද හිර ගෙදර.

සමහර කණ්ඩායම් විධායක ජනාධිපති ක්‍රමය නැතිකරන්න විශාල ප්‍රයත්නයක් ගෙනියනවා. ඔවුන් මිතුරෝ නොමෙයි. සතුරෝ. ඔවුන්ගේ පරමාර්ථය තමයි මේ රට දුර්වල කිරීම, අරාජික කිරීම. ඒ තුළින් මේ රට තුළ ඔවුන්ට අවශ්‍ය දේ කරගැනීමට පුළුවන්. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය තිබෙනතාක් ඔවුන්ට මෙය කරන්නට ඉතාම දුෂ්කරයි. විධායකය පත්වන්නේ සියලුම ජනතාවගේ ඡන්දයෙන් සමහර විට මෙය අපට අමතකයි. 1987 ඉන්දීය සාම ගිවිසුමට පසු ඇතිවුණු විශාල ජන අරගලය මැද ජේ. ආර්. කියපු වචන මට මතකයි. “මේ පුටුවේ මම ඉන්නකම් මේ රට වැටෙන්නේ නෑ”. ”This Country will not Fall as long as I am in this Chair˜’.

අපි බලන්න ඕන, මේ ක්‍රමය වෙනස් කරන්නට සම්බන්ධ පිරිස් කවුද?, ඔවුන් ශ්‍රී ලාංකිකයන්ද ? නැතිනම් වෙන රටවල්වල පදිංචි ද්විත්ව පුරවැසිභාවය තිබෙන වෙනත් රටවලට, නැතිනම් NGO බලපෑම්වල යටත් අයද? ඔවුන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියන එක.

ඒ වගේම අද චැනල් 4 වීඩියෝව ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඒත් අපට අමතකයි මීට පෙර චැනල් 4 නාලිකාව උතුරේ යුද්ධය ගැන වැඩසටහන් දෙකක් තුළින් අපේ හමුදාව උතුරේ අහිංසක ජනතාවටත්, උතුරේ ඉස්පිරිතාලයකටත් කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවට චෝදනාවක් කර, අපේ හමුදාවට යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාවක් ගෙනාවා. හිටපු UN නිලධාරියකු වූ Gordon Weiss ඔහුගේ පොතේ සඳහන් කරනවා කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ජනතාවටත්, එම ඉස්පිරිතාලයටත් කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවත්, වෙඩි නොතැබීමේ නිදහස් කලාපය තුළින් (No Fire Zone) ඔවුන් එම කාල තුවක්කු ප්‍රහාර එල්ල කළ බව. මේ කරුණු වසංකර කාලතුවක්කු ප්‍රහාර අපේ හමුදාව පමණක් කළ බවට ව්‍යාජ මතයක් ඇති කිරීමට චැනල් 4 නාලිකාව වෑයම් කළා. එහෙත් මේවා අනාවරණය කළ පසු ඔවුන්ට මෙම සත්‍ය පිළිගැනීමට සිදු වුණා. ඒ වගේම අදත් නිකුත් වී තිබෙන චැනල් 04 වැඩසටහන ගැන අපි බැලිය යුත්තේ ඉතා පරිස්සමෙන්. එදා වගේම අදත් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ විදේශ සහ ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීමටයි. සමහර අය චැනල් 04 නාලිකාවේ අවශ්‍යතාවය සනාථ කිරීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා. කිසිම රටක් තමන්ගේ රට තුළ ඇති වූ දෙයකට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ නෑ. අප මේ අවස්ථාවේ කළ යුත්තේ අපේම පරීක්ෂණයක් කර සත්‍ය සොයා ගැනීමයි. මෙයට අවශ්‍ය නම් ජාත්‍යන්තරයේ පිළිගත් පුද්ගලයන් අපට ඇතුළු කළ හැකිය.

2001 සැප්තැම්බර් 11 නිව්යොක් නගරයේ විශාල ප්‍රහාරයට සුමාන දෙකකට පසු මම ඇමෙරිකාවට ගියා. හිටපු හෝටලයේ තවත් පිරිසක් මට හමුවුණා. ඔවුන් මට කිව්වා අපි බුෂ් ජනාධිපතිතුමාට විරුද්ධයි. ඒත් මේ වේලාවේදී අපි සම්පූර්ණයෙන් එතුමා සමඟයි. ඇමෙරිකාව ලෝකයේ බලවත්ම රාජ්‍යය වීමට හේතුව එයයි.

අද අප කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දීමත්, එතුමා ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දීමත්ය. එතුමා හරිද වැරදිද වශයෙන් තර්ක කිරීමට අපට කාලය නෑ. රටේ විශාල අර්බුද රාශියක් තවමත් තිබෙනවා. අප එකතුවෙලා මේවා විසඳන එක අප සියලු දෙනාගේ යුතුකමයි.

විධායක ජනාධිපති ක්‍රමය නැතිව රට ස්ථාවර කළ නොහැක

ප්‍රදීප් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment