පුරාණ ඉන්දියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

59
විශ්වවිද්‍යාලය රටක තිබෙන උසස් ම අධ්‍යාපන ආයතනයයි. මෙම විශ්වවිද්‍යාලයේ ආරම්භය ගැන සොයාබැලීමේ දී පුරාණ ඉන්දියාවේ තිබූ තක්ෂලාව හා නාලන්දාව සිහියට නැඟේ. එයින් පැරණි ම විශ්වවිද්‍යාලය තක්ෂලාවයි. තක්ෂලාවේ ආරම්භය බුද්ධෝත්පත්තියටත් පෙර කාලය තරම් දුරට දිවෙන අතර මුස්ලිම් ආක්‍රමණ දක්වාම ඉන්දියාව හා අවට රාජ්‍යවල ශිෂ්‍යයනට අධ්‍යාපනය ලබාදුනි. දඹදිව සෑම ප්‍රදේශයකම ශිෂ්‍යයෝ තක්ෂලාවේ ඉගෙනුම සඳහා පැමිණියහ. බරණැස තවත් විශ්වවිද්‍යාල තිබියදීත් එහි රජවරු තම දරුවන් තක්ෂලාවට එවීමෙන් එහි අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයක තිබූ බව සිතිය හැකිය. මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය දරන ලද්දේ “දිසාපාමොක්” ආචාර්යයන් විසින්ය.

තක්ෂලාවට ශිෂ්‍යයෝ ඇතුළත් කර ගනු ලැබුවේ නියමිත පරීක්ෂණයකින් පසුවය. එම පරීක්ෂණය පවත්වනු ලැබුවේ ‘ද්වාර පණ්ඩිත’ නමැති පරීක්ෂකවරයකු විසිනි. එසේ ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍යයකුගෙන් මසුරන් දාහක් අය කළ බව “තීලමුටඨි” ජාතකයෙන් විස්තර කෙරේ. මුදල් වියදම් කිරීමට නොහැකි ළමයි වෙනුවෙන් ද අධ්‍යාපන ක්‍රමයක් තිබුණි. ඒ මුදල් නොමැති ළමුන් ගුරුවරුන්ට අත් පා මෙහෙවර කර ඉගෙන ගැනීමයි. එම ළමුන් ගුරුවරයාට ගෞරවය දක්වමින් ඉගෙන ගත් අතර මුදල් ගෙවා අධ්‍යාපනය ලැබූ ළමයි ගුරුවරයාට එතරම් ගෞරවයක් නොදැක්වූ බව තීලමුටඨි ජාතකයෙන් කියැවෙන බරණැස රජුගේ පුත්‍රයාට තක්ෂලාවේ ගුරුවරයා දඬුවම් කළ පසු ඔහු කෙරෙහි වෛර බැඳගත් ශිෂ්‍යයා, රජවීමෙන් පසු ගුරුවරයා මැරීමට තැත් කිරීමෙන් පැහැදිලි වේ. පසු කාලයේ දානපතියන්ගේ ආධාර උපකාර ලැබ නිදහස් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෝ ද තක්ෂලාවේ අධ්‍යාපනය ලැබූහ.

මෙම තක්ෂලාවට ශිෂ්‍යයෙක් ඇතුළත් කර ගනු ලැබුවේ වයස අවුරුදු 16දීය. මෙම වයසේදී අධ්‍යාපනය ඇරඹීමෙන් පෙනී යන්නේ මෙම ආයතනය උසස් අධ්‍යාපනයක් දෙන ආයතනයක් බවයි. මෙම වයස් සීමාව අපේ විශ්වවිද්‍යාලයකට ළමුන් ඇතුළත් කර ගන්නා වයසට සමානය. මේ වයස වන තෙක් ශිෂ්‍යයෝ ඉගෙනුම ලැබ ඇත්තේ සාමාන්‍ය පාසල්වල හා ගුරු ගෙවල්වලය.

තක්ෂලාවේ සිසුන් අලුයම කුකුළා හඬලනවිට අවදි විය. ඒ සඳහා හැම නේවාසිකාගාරයකම කුකුළෙකු ඇති කළ බව ජාතක කතාවලින් පැහැදිලි වේ. ශිෂ්‍යයනට ලැබුණේ සාමාන්‍ය ආහාර වේලකි. උදේ ආහාරය වූයේ කැඳය. සමහර ත්‍යාගශීලීහු ආහාරය සඳහා ළමුන් තම නිවෙස්වලට කැඳවාගෙන ගියහ. මුළුතැන්ගෙට අවශ්‍ය දර දිය සපයා දීම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ අතින්ම කෙරුණි. බොහෝවිට මුදල් නොගෙවා ගුරුවරුන්ට අත් පා මෙහෙවර කරන ශිෂ්‍යයෝ මේ සඳහා තෝරාගැනුණි.

තක්ෂලාවේ එක් අංශයකට ශිෂ්‍යයෝ පන්සීයකට වඩා ඇතුළත් කර නොගනී. තමන් කැමැති විෂයයක් ඉගෙන ගැනීමට ශිෂ්‍යයාට නිදහස තිබුණි. බමුණන් වැඩිපුරම ඉගෙනුම ලැබුවේ වේදයයි. වේදය ශාස්ත්‍රය ඉතා දියුණු අන්දමින් තක්ෂලාවේ උගන්වන ලදී. බුදුන් වහන්සේ දවස සිටි “ජීවක” වෙදැදුරු ද තක්ෂලාවේ උගත් අයෙකි. වර්තමානයේ කෙරෙන සියුම් ශල්‍යකර්මවලට සමාන සැත්කම් මෙහි උගත් වෛද්‍යවරු කර ඇති බව ජාතක කතා කිහිපයකම විස්තර කෙරුණි. නැකැත් බැලීම ආකාශ වස්තු බැලීම, අනාවැකි කීම, මන්ත්‍ර ශාස්ත්‍රය” මෙහි ඉගැන්වූ විෂයන් අතර විය. කත්ෂලාවේ ධනු ශිල්පය ඉතා උසස් අන්දමට ඉගැන්වූ බව “චුල්ල ධනුග්ගහ” ජාතකයෙන් පෙනේ. මෙසේ ඉගෙගත් “මනමේ කුමරු” ධනු ශිල්පයේ කෙළ පැමිණියෙකි. ඔහු වැදි පිරිස පන්සීයක් පරාජය කොට වැදි රජු සමග සටන් කර ජය අත්කරගෙන සිටියදී ඔහුගේ කුමරියගේ සහාය නොලැබීම නිසා මරණයට පත් විය. ඔහු මරණයට පත්වූයේ උගත් ශිල්පයේ අඩුවකින් නොවේ. තක්ෂලාවේ සිටි උගතුන් ගැන කීමේදී මන්ත්‍රයක් මතුරා අහස දෙස බලා රත්රන් වැස්ස වූ බමුණකු ගැන “වේදබ්භ” ජාතකයේ සඳහන් වේ.

තක්ෂිලාව අධ්‍යාපන ආයතනයේ කුල හීන, දරුවනට දොර වැසී තිබුණ බව ජාතක කතා තුළින් හෙළි වේ. ජාතක කතාවල වැඩි වශයෙන් සඳහන් වන්නේ ක්ෂත්‍රීය හා බ්‍රාහ්මණ දරුවන් මෙම ආයතනයේ ඉගෙනුම ලැබුව බවයි. වෙනත් වෘතීන් කරන්නන්ගේ දරුවෝ ද මෙහි අධ්‍යාපනය ලැබුව අතර චණ්ඩාල කුලයේ දරුවන්ට එහි ඉඩ නොලැබුණි. බමුණන් ලෙස වෙස්වළාගෙන මෙහි ඉගෙන ගත් ළමුන් දෙදෙනකු පසුව හඳුනාගත් නිසා ඔවුන් ආයතනයෙන් නෙරපා හැරිය බව ජාතක කතාවක සඳහන් වේ. අනෙක් ශිෂ්‍යයෝ පන්ති භේදයකින් තොරව උගත්හ. ගාස්තු නොගෙවා ඉගෙන ගත්තා යැයි කියා ඔවුන්ට ඉගැන්වීමේදී අඩුපාඩුවක් නොකෙරුණි. සැම දරුවකුටම නිරහංකාර ජීවිතයක් ගත කිරීමට හුරු කර තිබේ. බරණැස බ්‍රහ්මදත්ත රජුගේ පුතුට මෙන්ම සාමාන්‍ය පන්තියේ දරුවකු වරදක් කළා නම් දඬුවමේ වෙනසක් නොවුණි. ඉගෙනීමෙන් දක්ෂකම් දැක්වූ ශිෂ්‍යයාට දෙන ලොකුම සම්මානය වූයේ දිසාපාමොක් ආචාර්යවරයාගේ දුව සරණ පාවාදීම බව ජාතක කතාවලින් පැහැදිලි වේ. මෙසේ ලබාගත් සම්මානයෙන් ජීවිතය අහිමි කරගත් මනමේ කුමාරයා ගැනත් ලැබුව සම්මානය වැළඳ නොගෙන එය “වේදේහ” රජුට හිමිකර දුන් “පින්ගුත්තර” කුමාරයා ගැන ජාතක කතාවල කියැවේ.

තක්ෂලාව වැනි උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස නාලන්දාව එදා ප්‍රසිද්ධව තිබුණි. දේශටකයන්ගේ වාර්තාවලින් හා නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ නටබුන්වලින් පෙනී යන්නේ මෙම අධ්‍යාපන ආයතනය ආසියාවේ ප්‍රකටව තිබූ ස්ථානයක් බවකි. මෙම විශ්වවිද්‍යාලයේ දියුණුම යුගය වූයේ අධිරාජ්‍ය ගුප්තයන්ගේ කාලයේය. නාලන්දා විශ්වවිද්‍යාල ගැන වටිනා විස්තරයක් ඉන්දියාවේ වසර දහයක් විසූ දේශ ගවේෂක චීන ජාතික පාහියන් භික්‍ෂුව විසින් කර තිබේ. (ක්‍රි.ව. 4-01-411) නාලන්දාවේ ආරම්භක මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත්තේ “නාගර්ජුන” නමැති පඬිවරයෙකි. මහායාන බුද්ධාගම පිළිබඳ උසස් දැනීමක් තිබූ මෙතුමාගේ කාලයේ නාලන්දාව උසස් තත්ත්වයකට පත්වී තිබුණ බව “හ්‍යු සං” නැමැති චීන භික්ෂුව සඳහන් කරයි. ඔහු දුර්භික්ෂ කාලයකදී ඖෂධ බලයෙන් රත්රන් නිපදවා ඒවා අලෙවි කර ලැබුව මුදලින් භික්ෂුන්ට දානය දුන්නේ යැයි චෝදනා ලැබ නාලන්දාවෙන් නෙරපුව බව හ්‍යු සං සඳහන් කරයි. නාගර්ජුන පඬිතුමා මිනිසුන් තිරිහන් කරවා දීර්ඝ කාලයක් ජීවත් කරවීමට හැකි “අමෘතය” නමැති ඖෂධයක් නිපදවූ බව හ්‍යු සං වැඩි දුරටත් කියා ඇත.

නාලන්දාව ගැන විමසා බැලීමේදී මෙහි විශ්වවිද්‍යාලයකට අවශ්‍ය සෑම අංගයක්ම පැවැති බව හෙළිවේ. ප්‍රධාන වශයෙන් මහායාන විශ්වවිද්‍යාල ලෙස හැඳින්වුවද මෙහි ආගමික විෂයන්ට සීමා නොවී විවිධ විෂයන් ඉගැන්වීය. ඒ විෂයන් අතර “බ්‍රාහ්මණ ශාස්ත්‍රය, ආයුර්වේදය, ඉන්ද්‍රජාල, ශබ්ද විද්‍යා, ජ්‍යොතිෂය” ප්‍රධාන තැනක් ගනී. ඉන්දියාවේ සිට පැමිණි හ්‍යු සං භික්ෂුව පස් අවුරුද්දක් මෙහි බුද්ධාගම සමග ලෞකික විෂයන් ද ඉගෙන ගත්තේය. එකල එහි අධිපතිව සිටියේ “සීලභද්‍රා” නමැති පඬිවරයෙකි. නාගර්ජුන පඬිවරයා නාලන්දාවේ කුලපතිව සිටි යුගයේ “තෘණ විද්‍යාව, ලෝහ විද්‍යාව හා රසායන විද්‍යාව” පිළිබඳ ඉගැන්වීම එහි තිබූ බව ආචාර්ය සුබ්‍රමනියම් මහතා පවසයි. මේ අනුව බලන කල නාලන්දාව ආගමික විෂයන්වලට මුල්තැන දුන්න ආයතනයක් නොව, විවිධ විශ්ව දැනුමක් ලබාදුන් විශ්වවිද්‍යාලයක් බව සිතිය හැකිය.

දේශ ගවේශකයකු ලෙස ක්‍රි. ව. 5 වන සියවසේ මුල්කාර්තුවේ මෙහි පැමිණි පාහියන් හිමි ද නාලන්දාවේ ශිෂ්‍යයකුව අධ්‍යාපනය ලබා ඇත. ඔහු ඉගෙනුම ලබද්දී එහි ශිෂ්‍යයෝ 10,000ක් පමණ ඉගෙනුම් ලබමින් සිට ඇත. එම ශිෂ්‍යයෝ අතර චීන, ටිබට්, මොන්ගෝලියා, කොරියන් හා බුරුම” ආදී රටවල ශිෂ්‍යයෝ සිටිය බව පාහියන් හිමියන්ගේ විස්තරයේ සඳහන් වේ. නාලන්දාවේ නටඹුන් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එය ක්‍රමාණුකූලව ඉදි කරන ලද නේවාසිකාගාර සහිත විශ්වවිද්‍යාලයක් බවයි. මෙම විශ්වවිද්‍යාලයේ නඩත්තුව සඳහා ගම්වර 20ක් පූජා කර තිබූ බව පාහියන් හිමිගේ විස්තරයේ සඳහන් වේ. දහදාහක් පමණ ශිෂ්‍යයනට හා ගුරුවරුන්ට කෑම් බීම් පමණක් නොව, ඇඳුම් පැලඳුම් මෙන්ම වෛද්‍ය උපකාර ලබාදෙන ලද්දේ නොමිලයේය. මෙම ආයතනය නඩත්තුව රජය මගින් දැරීම ගැන විමසා බැලීමේදී ගුප්ත යුගයේ රජවරු අධ්‍යාපනයට මොන තරම් සැලකිල්ලක් දැක්වූවා දැයි පැහැදිලි වේ. පාහියන් හිමිගේ විස්තරයෙහි නාලන්දාවේ එක් ශිෂ්‍යයකු සඳහා මාසයකට වෙන් කරන දෑ මෙසේ විස්තර කර තිබේ. පලතුරු ගෙඩි 120යි. පුවක් ගෙඩි 30යි. ඇල් හාල් බුසල් 1/4ක්, මාසයකට වරක් තෙල් නැලි 3ක් ද මීට අමතරව වෙඬරු හා කිරි ද ලැබුණි.

*නාලන්දා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයෝ ඇතුළත් කරගනු ලැබුවේ තරග විභාගයකිනි. එය පවත්වනු ලැබුවේ “ද්වාර පන්ඬිත්” නමැති නිලධාරියකු විසිනි. ඔහු තෝරාගන්නා ශිෂ්‍යයන්ගේ කාල සීමාව අවුරුදු 9න් පටන් ගෙන අවුරුදු 30 දක්වා වූ බව හ්‍යු සංගේ විස්තරයේ සඳහන් වේ. කාලසටහනකට අනුව ශිෂ්‍යයන්ගේ දින චරියාව සකස් වී තිබුණි. ඉගෙනුම පැය 8ක් වූ අතර ආහාර ගැනීම, පාඩම් කිරීම, ක්‍රීඩා කිරීම, ස්නානය, නිදා ගැනීම ආදී සෑම දෙයක්ම කාලයක් අනුව කෙරුණි. මෙම කාලය හැඟවීමට බෙරයක් වැයීමෙන් හෝ සක් පිඹීමෙන් කළේය. ප්‍රධාන අධ්‍යාපන මාධ්‍ය වූයේ සංස්කෘතයි. නාලන්දාවේ මහල් 9කින් යුත් පුස්තකාලයක් තිබී ඇත. මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයෙන් මෙම පුස්තකාලය ගිනි බත් වී තිබේ. එහි තිබූ වටිනා පොත්පත් රාශියක් ගිනි තබා විනාශ කරන ලදී.

නාලන්දාවේ වසර දහයක් ඉගෙන ගත් චීන ජාතික ‘ඉත් සිං’ විසින් මෙම විශ්වවිද්‍යාලය ගැන මෙසේ විස්තර කරයි. “මෙහි භික්ෂුන් උගත් භාෂාව සංස්කෘත නිසා ඔවුන් සංස්කෘත භාෂාවෙන් බෞද්ධ පොත්පත් ලියා ඇත. මෙහි ඉගෙනීමට පැමිණි භික්ෂූන් මූලික අධ්‍යාපනයක් ලැබිය යුතුය. සිද්ධිරස්තු නම් මුල්පොත අවුරුදු 6දී ප්‍රගුණ කළ යුතුය. අකුරු 49ක හෝඩියකින් හා ශ්ලෝක 300කින් යුත් පළමු පොත මාස 6කින් කියා නිම කළ යුතුය. වයස අවුරුදු 8දී ශ්ලෝක 1000කින් යුත් ප්‍රාණීන්ගේ සූත්‍ර නමැති ග්‍රන්ථය මාස 8දී කට පාඩම් කළ යුතු විය. වයස අවුරුදු 10දී “ධාතු” නම් ග්‍රන්ථය ද අවුරුදු 15 දී ශ්ලෝක 10,000කින් යුත් කාසිකාර වෘත්ති නමැති ප්‍රාණීන්ගේ සූත්‍ර පිළිබඳ අර්ථ කතා ග්‍රන්ථ කියැවිය යුතුය. ඉත් සිං කියන ආකාරයට මෙම බෞද්ධ අධ්‍යාපන ආයතනයේ මූලික පරමාර්ථය වූයේ බුද්ධිය හා ආචාරශීලී බවයි. ගිහියෝ මෙන්ම භික්ෂුන් ද මෙම ආයතනයේ දක්ෂකම් අනුව වර්ග කරන ලදී. භික්ෂුන් අතර පහළම මට්ටම වූයේ සාමණේරවරුය. භික්ෂුන්ට ප්‍රධානය කරන ලද උසස්ම උපාධිය ‘බහුශ්‍රැත’ විය. මෙම උපාධිය ලබාගැනීම සඳහා ග්‍රන්ථ රාශියක් පරිශීලනය කළ යුතුය. උගත් භික්ෂුන්ට විශේෂ සැලකිල්ලක් දැක්විණි. නේවාසිකාගාරවල කාමර වෙන් කර තිබුණේ භික්ෂුන්ගේ උගත්කම අනුවය. මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ගුරුවරුන්ට උසස් මට්ටමකින් සලකනු ලැබූහ.

නාලන්දා විශ්වවිද්‍යාලය පාලනය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටය. එහි නිලධාරීන්ගේ පාලනයක් නොවීය. ආහාර පිළියෙල කිරීමත්, උත්සව සංවිධානය කිරීමත් පමණක් “කර්මදාන්” නැමැති නිලධාරියකු අතින් සිදු කෙරුණි. ආයතනයේ යම් යම් ප්‍රශ්න විසඳන ලද්දේ සභාවක් මගිනි. භික්ෂුන් පිළිබඳව ද ක්‍රියා කිරීම සංඝ සභාවක් මගින් කෙරුණි. සංඝ සභාවේ තීරණය පිළිනොගන්නා භික්ෂුන් ආයතනයෙන් පලවා හරිනු ලැබීය. විනය නීති කඩන භික්ෂුන් පිළිබඳව ද සංඝ සභාව විශේෂ සැලකිල්ල දක්වන ලදී. මෙම විශ්වවිද්‍යාලයේ සෑම ශිෂ්‍යයකු පිළිබඳවම වෙන වෙනම ලියන ලද විස්තර පොතක් තිබුණි.

සියවස් ගණනාවක් උසස් අධ්‍යාපන ආයතනයක්ව පැවැති නාලන්දාව මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශයට පත් විය. මහන්මදාගම්කරුවෝ භික්ෂුහු දහස් ගණනක් මරණයට පත් කළහ. තක්ෂලාව මේ කාලය වනවිට විනාශ වී තිබුණි. පස්වන සියවසේ තක්ෂලාව හරහා පැමිණි පාහියන් හිමි මෙම අධ්‍යාපන ආයතනය මෙන්ම තවත් සාමාන්‍ය අධ්‍යාපන ආයතන කිහිපයක් ගැනම සඳහන් කර තිබේ. මෙම කරුණු විමසා බැලීමේදී නිදහස් අධ්‍යාපනය යුරෝපීයන් ඇරඹුව බව කිව නොහැකිය. මීට සියවස් 15කට පෙර භාරතයේ තිබී ඇත්තේ ද නිදහස් අධ්‍යාපනයක් බව පැරණි විශ්වවිද්‍යාල තුළින් පැහැදිලි වේ.

පරකඩුවේ –
සෝමපාල මෙනේරිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment