ශ්‍රී ලංකා ක්‍රිකට් යෞවනයෝ ආසියානු තරගාවලියට පිටත් වෙති

166

ජයග්‍රහණය අපේක්ෂාවයි – නායක සිනෙත් ජයවර්ධන

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය වන, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා ඊයේ (06 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.

ක්‍රීඩකයන් සහ නිලධාරීන් 27 දෙනකුගෙන් යුතු මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොබවනු ලබයි.

කටුනායක ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ සිනෙත් ජයවර්ධන මෙසේ පැවසීය. “අපි හොඳ මානසිකත්වයකින් ඉන්නෙ. පසුගිය පකිස්තාන ඇතුළු තරගාවලි කීපයක්ම ජයග්‍රහණය කළා. ඒ වගේම පල්ලෙකැලේ සහ ගාල්ල ක්‍රීඩාංගණවල පුහුණු තරග කීපයකටම සහභාගී වුණා. මගේ කණ්ඩායම මට අවශ්‍ය සහාය හොඳින් ලබා දෙනවා. ඒ අනුව මෙම ආසියානු ශූරතා තරගාවලිය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

මොවුන් සහභාගී වන පළමු තරගය එළඹෙන 09 වැනි දින ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.
කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment