බිලියන 20ක රන් බඩු උකස් කර බඩගින්නට කන්න හොයපු මිනිස්සු

127

ආර්ථික අහේනියේ පතුලටම වැටුණු ශ්‍රී ලාංකිකයන් තම ජීවිතය රැකගැනීමට සියලු සේසතම මේ වනවිට වියදම් කොට හමාරවී ඇත.

රැකියාවක් කොට ලැබෙන මාසික පඩියෙන් මාසයක් ජීවත්වීමට තබා සතියක්වත් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. පවතින ආර්ථික දුෂ්කරතාව කොපමණද කිවතොත් තමන් සතු සියලු මුදල්ද වියදම්කොට එයින්ද ජීවත්වීමට නොහැකි තැන තම සන්තකයේම ඇති අන්තිම වත්කම වන කණකර පවා බැංකු හෝ පෞද්ගලික ස්ථානවලට උකස්කොට ජීවත්වීමට වෙර දරන මිනිසුන් මෙරට තුළ නැවතුවාම නොවේ. එහෙව් රටක මන්දපෝෂණය ගැන කවර කතාද? මේ ඒ කටුක යථාර්ථය පිළිබඳ කියැවෙන කතාවය.

මාස 10 ක් තුළදී උකස්කළ භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 20,000 ක් මේ වනවිට රට තුළ පවතින ආර්ථික දුෂ්කරතාව හමුවේ රටේ ජනතාව ජීවත්වීම උදෙසාම මේ වසර තුළ ප්‍රධාන බැංකු සහ මූල්‍ය ආයතනවල පමණක් රුපියල් කෝටි 20,000 ක් වටිනා තම රන් භාණ්ඩ උකසට තබා ඇත. මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකින්ය. එහිදී අනාවරණය වී ඇති පරිදි මෙම වසර මුල් මාස 10 තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු 13 ක සහ උකස් ආයතන 10 ක පමණක් රුපියල් බිලියන 193 ක, එනම් කෝටි 19300 ක රන් භාණ්ඩ උකස්කොට ඇත. අපේ රටේ මිනිසුන් මෙසේ තම සන්තකයේ ඇති රන් බඩු උකසට තැබුවේ ‘නයිට් ක්ලබ්’ ගොස් කැසිනෝ ගැසීමටවත්, තරු පහේ හෝටල් වලට ගොස් කෑමෙන් බීමෙන් හොඳට සප්පායම් වී නිවාඩු ගතකිරීමටවත් නොවේ. ඔවුන් එසේ තම රන් බඩු උකස් කළේ ආණ්ඩුව විසින් අලුතින් එක්කල බදු හා විදුලිබිල්, දුරකථන බිල්, ජල බිල් ගෙවා දැමූ කල ඉන්පසු තම කුටුම්බිය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමටය. නැතහොත් තම ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තයේ යෙදීමටය. එසේත් නොමැතිනම් තම දුවා දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පොත්පත්, ඇඳුම්, සපත්තු ආදිය මිලදී ගැනීමටය. හේතුව කුමක් වුවත් රටේ මිනිසුන් මේවනවිට ජීවත්වීම උදෙසා කණකර පවා උගස්කොට හමාරය.

මේ පිළිබඳ අප කළ සොයා බැලීමේදී එක්තරා පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් අංශයේ සේවයේ නියුතු නිලධාරියකු අප සමඟ කියාසිටියේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවත්වීම උදෙසා මේ වන විට රටේ මිනිසුන් පුදුමාකාර කැපවීම් සිදුකරන බවකි. එහිදී ඔහු පවසා සිටි සිද්ධීන් අතුරින් ඉතාමත් සංවේදී පුවතක්ද ඒ අතර විය. එනම් තම උකස් අංශයට එක් පුද්ගලයකු විසින් උකස් කිරීමට රේඩියෝවක් උකසට තැබීමට රැගෙන ආ පුවතකි. එහිදී මෙම පුද්ගලයා විසින් අදාළ නිලධාරියාට පවසා ඇත්තේ තමන් සතු සියලු ආභරණ මේ වනවිටත් බැංකු වලට සින්නවී ඇති හෙයින් මේ වන විට තමා සන්තකයේ ඇත්තේ රේඩියෝවක් පමණ බවත්ය. එහිදී අදාළ නිලධාරියා උකසට ගන්නේ රත්‍රං පමණක් බවත් ඔහුට පවසා ඇත. පසුව එම පුද්ගලයා පවසා ඇත්තේ අදාළ නිලධාරියාට කැමති මුදලක් එම භාණ්ඩයට ලබාදෙන ලෙසයි. සැබවින්ම රටේ තත්ත්වය එසේය. රටේ මිනිසුන් අද තමන් සතු දේපළ පවා බැංකු වලට උකස් කොට ඇත්තේ ජීවත්වීම උදෙසාය. රජයේ බැංකු සේවකයකුද අප හා පවසා සිටියේ මිනිස්සුන්ට දැන් බැංකුවේ උකස් තියන්න දෙයක් නැති තරම් බවය.

● ඉඩම් උකස් වී උකස්කරුවන් ණය සහන මණ්ඩලයට ඇපකරුවන්ටත් ඇප නෑ

පවතින ආර්ථික අර්බුද හේතුවෙන් පීඩා විඳින විශාල පිරිසක් තමන් සතු ගේ දොර, වතුපිටි, ගොඩමඩ කාර්මික ඉඩම්වල ඔප්පු විවිධ පුද්ගලයන්ට සහ ආයතනවලට උකස්කර ණය මුදල් ආපසු ගෙවීමට නොහැකිව ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මෙසේ ණය සහනදායී මණ්ඩලයීය දෙපාර්තමේන්තුව මගින් ජනතාවගෙන් ලැබෙන අයැදුම්පත් හැටක් පමණ දිනපතා විභාග කරන බවද එහි සඳහන් වේ. තවද රාජ්‍ය බැංකු මගින් හා පෞද්ගලික බැංකු මගින් ලබාගත් ණය මුදල් ණයකරුවන් විසින් පැහැර හැරීම නිසා මේවන විට එම ණය මුදල් සඳහා ඇපකරු වී ඇති ඇපකරුවන්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වී ඇත.

● ලංකාවේ ලක්‍ෂ 62 ක් ආහාර අර්බුදයක

අපේ රටේ පවතින ආර්ථික අර්බුදය දැඩිලෙස බලපාන්නේ මෙරට ජීවත්වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයටය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පසුගියදා ප්‍රකාශ කළ අන්දමට මේ වනවිට ලක්‍ෂ 62 ක් ආහාර ආර්බුදයක සිටින බව ඔවුන් පෙන්වාදෙයි. එයින් ලක්‍ෂ 29 ක්ම සිටින්නේ ළමුන්ය. මෙම තත්ත්වය එළඹෙන වසරේ පෙබරවාරි වන විට තවත් උග්‍රවනු බවද ඔවුන්ගේ විශ්වාසයයි. එම නිසා අප ලංකාවේ මන්දපෝෂණය ගැන කතාකළ යුතුය.

● ලංකාවේ මන්දපෝෂණය ගැන යුනිසෙෆ් නවතම වාර්තාව ළමයින් පනස්හය දහසකට උග්‍ර මන්දපෝෂණය

බිලියන 20ක රන් බඩු උකස් කර බඩගින්නට කන්න හොයපු මිනිස්සු

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමගම මේ වනවිට මෙරට ළමයින් විසිදෙලක්‍ෂ හැටතුන්දහස් දෙසිය විසිහත් දෙනකු (22,63,227) සඳහා මානුෂීය ආධාර අත්‍යවශ්‍ය බවත් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු ළමයින් 56,000 ක් සඳහා හදිසි ආධාර අවශ්‍ය බවත් එහි සඳහන්ය. ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ අධි උද්ධමනය, ආහාර අනාරක්‍ෂිතභාවය සහ දරිද්‍රතාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව පෙන්වාදෙන එම වාර්තාව මෙම වසරේ පසුගිය ඔක්තෝබර් සහ 2023 වසරේ පෙබරවාරි කාලය අතරතුර මෙරට ජනගහනයෙන් මිලියන 6.2ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පෙළෙන්නන් බවට පත්විය හැකි යැයි ද එයින් 66,000ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පීඩා විඳිය හැකි බවද ඇස්තමේන්තු ගතකර ඇත.

● අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙලා

මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5ට අඩු දරුවන්ගේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසා ඇත. ඔක්තෝබර් මාසයට යෙදී ඇති පෝෂණ මාසයේ සිදුකරන ලද නිර්ණයන්වලට අනුව ලබාගත් වාර්තාවලින් ඒ බව තහවුරු වී ඇතැයි ද ඇය සඳහන් කරයි. එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 95 ක පෝෂණ තත්ත්වය පිළිබඳ වාර්තා ලැබී ඇති බවද එහිදී අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය යම් වැඩිවීමක් ඇති අතර විශේෂයෙන්ම බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15 ක් බවයි. එමෙන්ම මිටි බව කෘෂ බව ඇති දරුවන්ගේ සියයට 2ක වැඩිවීමක් පසුගිය වසරවලට වඩා වැඩිබව ද පෙන්වා දෙයි. වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් උග්‍ර මන්දපෝෂණයට ලක්ව ඇති දරුවන් සංඛ්‍යාව 18420ක් වැඩිම සංඛ්‍යාවක් ගාල්ලෙන් හා පොළොන්නරුවෙන් රටේ දරුවන්ගෙන් හතරෙන් එකක් මන්දපෝෂණයේ මුල් අවස්ථාවේ

● පවුල් සෞඛ්‍ය කාර්යාංශය

මන්දපෝෂණයට ලක්ව ඇති දරුවන් 18420ක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි. ඉන් වැඩිම දරුවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පොලොන්නරුවෙන් හා ගාල්ලෙන් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කෞශල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පසුගියදා පවසා ඇත. මෙම තොරතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, උඩවලව සහ ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුන හැරුණුකොට දිවයිනේ අනෙකුත් සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාස 353න් අවුරුදු 5 ට අඩු දරුවන් 1363743 කගේ බර හා උස මැන බැලීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බව ඇය එහි දී සඳහන් කර ඇත.

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ගෝලීය වශයෙන් 06 වැනි ස්ථානයට පත්ව ඇති පුවත් පසුගිය දා වාර්තා විණි. කලාපීය වශයෙන් ගත් කල දකුණු ආසියාව තුළ ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව පසුවන්නේ 02 වන ස්ථානයේය. උද්ධමනය ඉහළ යන රටවල් අතරින් අපට හිමිවන්නේ 05 වැනි ස්ථානය ය. මෙසේ අපේ රට ගැන දිනෙන් දින අසන්නට ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කවුරුත් අසන්නට අකැමැති අපේ අනාගත පරම්පරාව ගැන රතු එළි දල්වන පුවත්මය.

අපේ රටේ උද්ධමනය 94.9% දක්වා ඉහළ යෑමත් සමග රටේ ළමා මන්දපෝෂණය ඉහළ යමින් පවතින අතර මේ නිසා දෙමාපියන් බොහෝ දෙනකුට තම දරුවන් පාසල් යැවීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටියි. දරුවන්ට මස්, මාළු හෝ බිත්තර වැනි පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබාදීමේ හැකියාවක් මේ දෙමාපියන්ට නැත. ඔවුන් ලබාගන්නා කිසිම ආහාර වේලක දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරද ඇතුළත් වන්නේ නැත. වෙළෙඳපොළ තුළ මේ වනවිටත් කුකුළු මස් කිලෝවක් රුපියල් 1200ක් පමණ වන අතර මාළු කිලෝවක් රුපියල් 700-2000 යේ සීමාවත් පසුකරයි. බිත්තරයක මිල ද රුපියල් 50-55 අතර මිලකි. සැබැවින්ම මෙවන් අධික මිල ගණන් යටතේ විකිණෙන ආහාර වර්ග අපේ රටේ සාමාන්‍ය පවුලකටවත් දැන් මිලදී ගැනීමට හැකියාවක් නැත. මේ නිසා මස්, මාළු, කිරි, බිත්තර වැනි පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාර මිනිස්සුන්ගේ බත්පතින් මේ වනවිට ඈත් වී ඇත. මේ වනවිට මේ ආහාර දුරස්ථ මතකයන් බවට පත්ව ඇති අතර බහුතරයක්ම ජීවත් වන්නේ සරල ආහාරයක් වන බත්, පරිප්පු සහ පොල්සම්බල් වැනි දේ ආහාරයට ගෙනය. ඇතැම් අය මේ ආහාර නොමැතිව ආහාර වේල් මඟහරින අවස්ථා ද මේ වනවිට වාර්තා වී ඇත. රට තුළ දිගින් දිගට වාර්තා වන්නේ පාසල් ළමුන් උදය රැස්වීමේ දී ක්ලාන්තය දමා ඇදවැටෙන පුවත්ය.

පසුගියදා ගාඩියන් පුවත් සේවය ශ්‍රී ලංකාවේ ආහාර අහේනිය හා ළමා මන්දපෝෂණය ලොවටම කියාපෑවේය. එම පුවත්වල පළවී ඇත්තේ පාසල් දරුවන් හාමතේ ක්ලාන්ත දමා ඇදගෙන වැටෙන දර්ශන පසුගිය මාස කිහිපය තිස්සේ සුලබ දර්ශනයක් බවට පත්වූ බවය. ඔවුන් එයට හේතු දක්වා තිබුණේ ද දෙමවුපියන් ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින බැවින් බොහෝ දරුවන් පාසල් එන්නේ කුසගින්නේ බවයි. එසේ ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ වාර්තාවක් ද පළකරමිනි.

දිනෙන් දින මෙරටින් වාර්තා වන්නේ රටේ දරුවන් කුසගින්නේ පසුවන පුවත් හා මන්දපෝෂණයෙන් පෙළෙන පුවත්මය. ආණ්ඩු පක්‍ෂයෙන් හා විපක්‍ෂයෙන් ද රටේ මන්දපෝෂණය සඳහා නැඟෙන චෝදනා සුළුපටු නොවේ. සැබැවින්ම ආණ්ඩුව දිනෙන් දින පනවන බදු බර, මිල වැඩිකිරීම් අපේ රටේ ජනතාවට තවත් දැරිය නොහැකිය. බඩු මිල ඉහළ ගිය ද මිනිසුන්ගේ වැටුප තාමත් එක තැනය. එහෙව් රටක මිනිසුන් ජීවත් වන්නේ කෙසේද? රටේ ප්‍රශ්නය මන්දපෝෂණය හෙළිදරව් කරන පුද්ගලයන් නොව එය සිදුවූයේ කෙසේදැයි සොයා බලා එයට පිළිතුරු සෙවීම නොවේ ද? ඉදිරියේදී කුසගින්නේ සිටි දින ගණනින් පවා වාර්තා තැබීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවුවහොත් එය පුදුමයක් නොවනු ඇත.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment