වෙනසක් ඉල්ලන මහ පාරේ අරගලය…

232

මේ රටේ බහුතරය ගෝඨාභයට ගෙදර යන්න කියනකොට කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්න ඕන…

මේ වෙනකොට ජීවිත රැකගැනීමට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග පහක බරපතළ හිඟයක් තියෙනවා…

තව සති දෙකක් යනකොට බරපතළ ඖෂධ හිඟයකට මුහුණ දෙන්න වෙනවා…

රාජ්‍ය ආදායමෙන් 70%ක් වියදම් කරන්නේ එක පවුලක්…

අපි පාරට බැස්සේ දරුවෝ බඩගින්නෙ තියන්න බැරි හින්දා

ජනතා උද්ඝෝෂණ තීව‍්‍ර වේ. උද්ඝෝෂකයන් විසින් ගෝඨාභයට ගෙදර යන්නම කියයි. බැසිල් හොරෙක් ලෙස හංවඩු ගසයි. මහින්ද රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පවුලම හොරු රැළක් බව කියති. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් දෙසීය විසිපහම ප‍්‍රතික්ෂේප කරයි. මැති ඇමැතිවරුන්ගේ ගෙවල් වටලති. මේ වන විට රාජ්‍ය සේවකයන්, වෘත්තීය සමිති මහජනතාවගේ උද්ඝෝෂණයට එකතු වෙමින් සිටිති. හතු පිපෙන තරමට රට පුරා තැන තැන කෙරෙන උද්ඝෝෂණ අතරට අපිදු ගියෙමු. ඒ බෝඞ් ඇල්ලීමට නොවේ. ගෝඨාභයට යන්න කියන්නද නොවේ. උද්ඝෝෂණ කරන මිනිසුන්ගේ පීඩිත හඬට සවන්දීමට ය.

ප‍්‍රථමයෙන් අපගේ දෙසවනේ රැඳුනේ කුරුණෑගල අග‍්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලය වෙත පා ගමනින් ගමන් කළ තරුණ විරෝධතාකරුවන් පිරිසක් පොලිස් මාර්ග බාධක දමා නතර කළ මොහොතේ ප‍්‍රකට වූ අතිශය සංවේදී කතා අහුරකි.

තරුණයෙක් –

වෙනසක් ඉල්ලන මහ පාරේ අරගලය…

‘‘අපේ තාත්තලා කෝටිපතියො නෙමෙයි… අපිව ජීවත් කරවන්නෙ කුලී වැඩ කරලා. පහුවදාට හාල් කිලෝ එක ගන්නෙ කොහොමද කියලා ඒ මනුස්සයා රෑට අඬනවා. අපි කොහොමද මේවා දරාගන්නෙ…’’ මාර්ග බාධක තද කරගෙන සිටි පොලිස් නිලධාරියකුට තරුණයෙක් එසේ කියන විට රට රකින ඒ විරුවාගේ පපු කැවුතු උණු වී දෑස් අගින් කඳුළු බේරිණි.

‘‘අපේ තාත්තා තිස්පන්දාහෙ පඩියෙන් අපි හතරදෙනෙක් හදනවා. මාව කැම්පස් යවනවා. පරිප්පු කිලෝ එක රුපියල් 500 ක් වුණාම අපිට කන්න දෙන්නෙ කොහොමද…’’ කඳුළු අතරින් තවත් තරුණයෙක් එසේ ප‍්‍රශ්න කරන විට පොලිස් දෑතට තද වී තිබූ මාර්ග බාධක ලිහිල් විය.

‘‘අපි අවුරුදු 50-60 ක් ජීවත් වෙයි. ඒ කාලයවත් මුං අපිට සතුටින් ජීවත් වෙන්න දෙන්නෙ නෑ. තව ටික කාලයක් මුං හිටියොත් අපිවත් විකුණගෙන කනවා. වැඳලා ඉල්ලන්නේ සර්… මේ වේලාවේ අපිත් එක්ක එකතු වෙන්න…’’ රුපියල් ශත හමුවේ මනුෂ්‍යත්වය තිරිසන් ආත්මයක් බවට පෙරළාගත් කාලකණ්ණින්ගේ හදවත් කම්පා නොවෙන්න ඕනෑම මනුස්ස හදවතක් ඒ තරුණ විලාප මැද උණු වෙනවා නිසැකය. ඊටත් නොදෙවෙනි කඳුළු කතාවක් තවත් උද්ඝෝෂණයක් අතරින් අපට ඇසිණි.

අසරණ පියෙක් –

‘‘මම වෙල්ඩින් බාස් කෙනෙක්. ටික කාලයක ඉඳලා හරියට වැඩ නෑ. වැඩ කරන්න මිනිස්සුන්ට සල්ලි නෑ. වැඩ නැතිව දරුවන්ට කන්න දෙන්න විදිහක් නෑ. වේදනාව ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි මෙතැනට ආවේ. වැඩ කරන ජනතාව සේරම එළියට බහින්න ඕනෑ. අපිට මේ කරන අපරාධයට මුන්ට හෙණ හත වදින්න ඕනෑ. මේ දුක අපි කාටද කියන්නේ දෙයියනේ…’’ දරුවන්ට කන්න දෙන්න පිච්චිය නැතිව හඬන ඒ තරුණ පියාගේ හඬ අකුරු කරන මගේ දෑස් ද බොඳ විය. එහෙත් ඒ මිනිසුන්ගේ වේදනාව අකුරු කරනවා විනා අපට කළ හැකි වෙනත් දෙයක් නැත. මේ ආර්ථික අර්බුදය තුළ ජීවත්වීමට අපට ද දරුණු අරගලයක නිරතවීමට සිදුව ඇත. ජාඇල පැවැති ජනතා උද්ඝෝෂණයේදී අපට අදහස් ප‍්‍රකාශ කළ ටී. හේරත් පවසා සිටියේ ද ජීවත්වීමට විශාල අරගලයක නිරත වීමට සිදුව ඇති බවය.

තේ කඩ ව්‍යාපාරිකයෙක් –

”මම කොළඹ – මීගමුව පාර අද්දර හෝටලයක් කරගෙන යනවා. මේ වෙනකොට බිස්නස් හතරෙන් තුනක් විතර අඩු වෙලා. මිනිස්සුන්ට කන්න සල්ලි නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල එදාට වඩා පස්, හය ගුණයකින් වැඩි වෙලා. ගෑස් නෑ. විදුලිය නෑ. භූමිතෙල් නෑ. ෆ‍්‍රිජ් එකක මස්, මාළු ටිකක් තියාගන්න බෑ. අයිස්ක‍්‍රීම් ටික දිය වෙලා වතුර වෙනවා. බීම බෝතලයක් කූල් කරගන්න බෑ. ඒවා නැතුව කඩ කරන්න පුළුවන්ද? වාහනයට පෙට්රල් ටිකක් දාගන්න පැය ගාණක් පෝලිම්වල ඉන්න ඕනෑ. අපේ ප‍්‍රශ්නවලට කිසිම කෙනෙක් ඇහුම්කන් දෙන්නෙත් නෑ. ඒ නිසා තමයි අපි පාරට බැස්සේ. මේ දුර්දාන්ත පාලන ක‍්‍රමය වෙනස් කරන්න ඕනෑ. ඒත් හොරු රැළක් එළවලා, තව හොරු රැළකට රට භාර දෙන්න බෑ. එහෙම වුණොත් ජනතාවට වෙන්නේ කබලෙන් ළිපට වැටෙන්න. ඒ නිසා රටේ ජනතාව හොඳට, බුද්ධිමත්ව කල්පනා කරලා නායකයෙක් තෝරාගන්න ඕනෑ…’’ දෙදරු පියෙක් වන ජාඇල හේරත් ද හැටනව ලක්‍ෂයෙන් එකෙක් බව කීවේය. එහෙත් දැන් ඔහු කතා කරන්නේ ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන්ය. පසුගිය 06 වැනිදා හැන්දෑවේ කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණය අසල උද්ඝෝෂණයක නිරත වූ ක‍්‍රීඩකයන් සියලූදෙනා පවසා සිටියේ ද හැටනව ලක්‍ෂයේ ඡන්දදායකයන් බවය.

කී‍්‍රඩකයෙක් –

වෙනසක් ඉල්ලන මහ පාරේ අරගලය…

‘‘අපි හැමදෙනාම රට වෙනුවෙන් සෙල්ලම් කළේ. අපේ සිහිනය වුණේ මේ රට දිනවන්න. ඒත් මෙවැනි අදූර්දර්ශී පාලනයක් තුළ අපි කොහොමද රට දිනවන්නේ. එක පවුලක් විසින් මේ රට විකුණගෙන කනවා. සෑම ක්‍ෂේත‍්‍රයකටම රාජපක්‍ෂ අතකොලූ දාගෙන ඒ අයට ඕන විදිහට පාලනය කරනවා. රාජපක්‍ෂලාට ඕන විදිහට රටේ දේපළ පාවිච්චි කරනවා. සංවර්ධන ව්‍යාපෘති මුල් කරගෙන රටේ ධනය කොල්ල කනවා. එක පවුලක සතුට වෙනුවෙන් දෙකෝටියකට වැඩි ජනතාවක් දුක්විඳිනවා. රටේ තරුණයො විදිහට මේ අසාධාරණය තවත් බලා ඉන්න බෑ. ඒත් මෙරට ක‍්‍රීඩකයින් බහුතරයකට ප‍්‍රසිද්ධියේ ආණ්ඩු විරෝධය පෙන්වන්න බෑ. ඒ අය අසරණයි. ඒ වගේම මෙරට තරුණ පරම්පරාවට රාජපක්‍ෂ පාලනය තිත්ත වෙලා තියෙන්නෙ. ඉදිරියේදී එන මැතිවරණයේදී තිත්ත ඇත්ත ජනතාව පෙන්වයි…’’ එසේ අදහස් ප‍්‍රකාශ කළ මලල ක‍්‍රීඩක සජිත් මධුරංගට අපි පැනයක් යොමු කළෙමු.

ඔබ කියන්නේ මේ පාලනය වෙනස් වෙන්න ඕන.

ගෝඨාභය ගෙදර යන්න ඕන. ගෝඨාභය ජනාධිපති ඉවත් වුණාට පසුව පත් කරගන්න හොඳ නායකයෙක් ඉන්නවද?

‘‘නම් කරන්න පුළුවන් නායකයෙක් නෑ. ඒත් මුලින්ම කරන්න ඕන මේ උද්දච්ච පාලනය වෙනස් කරගැනීමයි. අලූත් නායකයෙක් නෑ කියලා හිතාගෙන මේ උද්දච්ච පාලනයට තවත් නටන්න දුන්නොත් අපේ රට තවත් අරාජික වෙනවා…’’ එඩිතරව අදහස් ප‍්‍රකාශ කළ සජිත් මධුරංග මෙරටින් බිහි වූ අති දක්‍ෂ හෙල්ල වීසි කිරීමේ ක‍්‍රීඩකයෙකි. 2013 වර්ෂයේදී ආසියාතික මලල ක‍්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ තරගයෙන් තෙවැනි ස්ථානය දිනාගෙන මෙරටට කීර්තියක් අත් කර දුන් ක‍්‍රීඩකයෙකි. එහෙත් ඔහු වයස අවුරුදු විසිතුනෙන් ක‍්‍රීඩාපිටියෙන් ඉවත් වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පාලනය තුළ ක‍්‍රීඩාව දේශපාලනකරණය වීමේ විපාකය නිසාය.

රටේ ක‍්‍රීඩකයන් පවතින පාලනයේ උද්දච්චකම කතා කරන විට පසුගිය දිනක මෙරට කලාකරුවෝ ද පාරට බැස පවතින පාලනයට එරෙහිව උද්ඝෝෂණ කළහ. දරාගැනීමට නොහැකි ජීවන බරකින් ජනතාව පීඩා විඳින බව ඔව්හු කීහ. එම උද්ඝෝෂණය අතරට ගිය අපට කලාකරුවන් විඳවන ගැටලූ ගැන ප‍්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මෙසේ විස්තර කළේය.

ගායකයෙක් –

”අපේ රටේ කිසිම දේශපාලනඥයෙක්ව විශ්වාස කරන්න බෑ. බහුතරය කරන්නෙ බොරුව. හොරකෑම. මේ ජනතා උද්ඝෝෂණ තුළ කිසිදු දේශපාලනයක් නෑ. පාරට බැහැලා කෑගහලා මිනිස්සු පිට කරන්නෙ ඔවුන් අත්විඳින අසාධාරණය… පීඩනය… පාස්කු ප‍්‍රහාරය සිදු වෙච්ච දවසේ ඉඳලා අපිට තවම හරියට සංගීත ප‍්‍රසංග නෑ. දැන් විදුලිය නැතිව සංගීත ප‍්‍රසංග පවත්වන්න බෑ. ඒ වගේම අපි සිංදු කියන්නේ රටේ අහිංසක ජනතාවට. සිංදු අහලා ඒ මිනිසුන්ට සතුටු වෙන්න පරිසරයක් නැති නම් අපි කොහොමද හම්බ කරන්නේ. ප‍්‍රසංග කලාව නැතිවීම තුළ රැකියා අහිමි වෙලා තියෙන්නේ ගායකයන්ට විතරක් නෙමෙයි. ටකරන් වට කරන මනුස්සයා, සාරවිට, සරුවත් විකුණන වෙළෙන්දාගේ ඉඳලා විශාල පිරිසකට ජීවන වෘත්තීය නැති වෙලා තියෙනවා. ඒ මදිවට ගෙදර කෑමක් බීමක් හදාගන්න ගෑස් නෑ. ගමනක්, බිමනක් යන්න වාහනයට ඉන්ධන ටික නෑ. දරුවො එක්ක සතුටින් කෑම ටිකක් කන්න සල්ලි නෑ. සිංදු කියන්නත් කාලා බීලා කොන්ද පණ තියාගෙන ජීවත් වෙන්න ඕනෑ. දැන් අපිට ඒකත් නෑ. කලාකාරයො විදිහට අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කාලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහට රටේ ආර්ථිකය හදා දෙන්න කියලා විතරයි…’’ දේශපාලනඥයන්ට කඬේ නොයන කලාකරුවෙක් ලෙස චන්ද්‍රසේන හෙට්ටිආරච්චිට දේශපාලනඥයන් ගැන තියෙන අවිශ්වාසය මෙරට බොහෝ ජනතාවට තිබෙන බව සැබෑය. එමෙන්ම දූෂණය, හොරකම, නිලධාරිවාදය ඉහ වහා ගිය රටේ ගුරුවරු පීඩාවට පත්ව සිටින හැටි පසුගියදා ටොරින්ටන් වටරවුමේ පැවැති ගුරු උද්ඝෝෂණයේදී ගුරුවරියක් අපට කීවාය.

රජයේ ගුරුවරියක් –

වෙනසක් ඉල්ලන මහ පාරේ අරගලය…

‘‘කාලයක ඉඳලා ප‍්‍රශ්න ගොඩකින් අපි පීඩා විඳිනවා. අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය අපට නැති කරලා තියෙනවා. විදුහල්පතිවරයකුගේ වැරැද්දක් දැක්කත් ඊට විරුද්ධව අපිට කතා කරන්න දෙන්නේ නෑ. ඒ වගේම නිලධාරීන් ගහන පදයට අපිට නටන්න වෙලා. එහෙම කළේ නැතිනම් අපිව දුර පළාත්වලට මාරු කරනවා. නිලධාරීන් එහෙම කරන්නේ මේ රටේ හරි පාලනය නැති නිසයි. නිවැරැදි නායකත්වයක් නැති නිසයි. අපේ මේ වෑයම උගතුන්ගෙන් පිරුණු පාලන ක‍්‍රමයක් බිහි කිරීමයි. මහජන නියෝජිතයෝ පමණක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන්ගේ ඉඳලා පවතින ක‍්‍රමය වෙනස් වෙන්න ඕනෑ. රටේ නීතිය වෙනස් වෙන්න ඕනෑ…’’

පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙසීය විසිපස්දෙනා අතර ඔය කියන වෙනස කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා හිතනවද? ඇයට අපි පැනයක් යොමු කළෙමු.

‘‘ඔය දෙසීය විසිපස්දෙනා අතර නායකයෙක් ඉන්නවා කියලා කියන්න බෑ. ඒත් දැන් රට විනාශ වෙලා තියෙන්නේ අත්දැකීම් නැති පුද්ගලයෙක් ගෙනාපු නිසයි. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙසීය විසිපහ තුළින් අත්දැකීම් සහිත නායකයෙක්
තෝරගන්න වෙනවා. ඒ පුද්ගලයා හොඳ ප‍්‍රතිපත්තිගරුක, ආදර්ශවත් නායකයෙක් වෙන්න ඕනෑ…’’ එසේ අදහස් ප‍්‍රකාශ කළේ නිර්මලා දිසානායක ය. කොළඹ තර්ස්ටන් විදුහලේ ගුරුවරියකි. ගුරු වෘත්තීයේ පමණක් නොව මෙරට සියලූ රාජ්‍ය ආයතන විනාශ මුඛයට ඇද වැටී තිබෙන්නේ නිලධාරීන්ගේ මන්දබුද්ධික ක‍්‍රියාපිළිවෙත නිසාය. මතුගම ජනතා උද්ඝෝෂණයේදී අපට මුණගැසුණු තරුණ ටියුෂන් ගුරුවරයෙක් වන යසිරු ලක්ෂාන් එදිරිප්පුලි ද රට කරවන බලධාරීන්ට සහ නිලධාරීන්ට චෝදනා කළේය. හේ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන දේශකවරයෙකි. මේ ඔහු කියන කතාවය.

ටියුෂන් ගුරුවරයෙක් –

‘‘මේ වෙනකොට ළමයින්ට දෙන ටියුට් එක ප‍්‍රින්ට් කරගන්න කොළ නෑ. මුද්‍රණ කර්මාන්තය බින්දුවටම කඩා වැටිලා. අපි ටියුට් අච්චු ගහපු සමහර මුද්‍රණ ආයතන වහලා. ටියුට් එකක් නැතිව දරුවන්ට උගන්වන අසීරුයි. ඒ වගේම පන්තිවලට පැමිණි ළමයි සතියෙන්, සතිය අඩු වෙනවා. හොයලා බලනකොට ආර්ථික අපහසුතා නිසා දෙමවුපියො ළමයින්ව අමතර පන්ති යවන එක නතර කරනවා. ෆෝන් එකට ඬේටා කාඞ් එකක් දාලා දෙන්න දෙමවුපියන්ට සල්ලි නෑ. ළමයින්ට වෙලාවට පන්තියට එන්න බස් නෑ. අපිට වේලාවට පන්තියට යන්න තෙල් නෑ. ගුරුවරු විදිහට අපිට මාර දුකයි. අපි ළමයි ගැන හිතන තරම් මේ රටේ පාලකයො හිතන්නේ නැතිකම පුදුම කරුමයක්. මගේ ජීවිතේ මතක ඇති කාලයකට මේ වගේ දුර්දාන්ත පාලනයක් නම් ආවේ නෑ…’’

‘‘මමත් හැටනව ලක්‍ෂයෙන් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි

ගෝඨාභය මහත්තයාට ඡන්දය දෙන්න කියලා දෙමවුපියන්ගේ ඔළුගෙඩිත් වෙනස් කළා. අපි එහෙම කළේ ගෝඨාභය රාජපක්‍ෂ මේ රට ගොඩ ගනී කියන විශ්වාසයෙන්. කොන්ද කෙළින් තියාගෙන නිලධාරීන්ගෙන් වැඩ ගනී කියන බලාපොරොත්තුවෙන්. ඒත් අන්තිමේ වුණේ මහජනතාව ප‍්‍රතික්ෂේප කරපු බැසිල් රාජපක්‍ෂව මුදල් ඇමැති කිරීම. ජීවිතාන්තය දක්වා හිරේ ගිය දුමින්ද සිල්වා නිදහස් කර නිවාස අධිකාරියේ ලේකම්වරයෙක් විදිහට පත් කිරීම. මේවා රටේ දරුවන්ට ලබාදෙන වැරැදි පූර්වාදර්ශ. ළමා මනස විකෘති කරන මේ පාලනය මෙච්චර කාලයක් තියාගත්ත එකට රටේ ජනතාවට ස්තූති කරන්න ඕනෑ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ‘උඹට පන්ති කරන්න බෑ. දොට්ට බැහැලා පලයං’ කියලා කවුරුහරි කිව්වොත් විනාඩියක්වත් ඉන්නේ නෑ. කොන්ද කෙළින් තියාගෙන පන්තියෙන් දොට්ට බහිනවා. මේ රටේ බහුතරය ගෝඨායට ගෙදර යන්න කියනකොට කොන්ද කෙළින් තියාගෙන එතුමා ගෙදර යන්න ඕන. එහෙම කළොත් රටට ඒක හොඳ ආදර්ශයක් වෙනවා…’’ පවතින ආර්ථික අර්බුදය තුළ විවිධාකාරයෙන් ජනතාව පීඩාවට පත් වී සිටින බව පෙළගැසෙන කතාවේදී පැහැදිලිය. දිනෙන්, දින එම පීඩනය වැඩි වෙනවා විනා අඩු වන සේයාවක් හෝ නැත. පසුගිය 05 වැනිදා අනුරාධපුර නගරයේ පැවැති භික්‍ෂූන්වහන්සේගේ උද්ඝෝෂණයට පෙරමුණ ගෙන අදහස් ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දළුවේ ධම්මාවාස හාමුදුරුවෝ ද ඒ බව අපට කීහ.

හිමිනමක් –

වෙනසක් ඉල්ලන මහ පාරේ අරගලය…

”2012 වර්ෂයේ ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ආරම්භ කරපු කාලයේ ඉඳලා මේ වෙනකම් අපේ භික්‍ෂූන්වහන්සේ නමක් උද්ඝෝෂණවලට සම්බන්ධ වෙලා නෑ. අපිට එහෙම ගැටලූ තිබුණේ නෑ. ඒත් අපේ මිනිස්සු ආර්ථික අහේනියෙන් පීඩා විඳිනවා බලා ඉන්න බැරි තැනම තමයි අපිත් පාරට බැස්සේ. අද අපේ අම්මලා, තාත්තලා පොහොර නැතුව, විදුලිය නැතිව, ඉන්ධන ටික නැතිව අන්ත අසරණ වෙලා ඉන්නවා. පාර දිගට ඉන්ධන, ගෑස් පෝලිම්වල අපේ මිනිස්සු දුක්විඳිනවා. අසරණ මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙනවා.

අපි රජයෙන් ඉල්ලා හිටින්නේ මේ අසරණ මිනිස්සුන්ට බඩට කාලා නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය සහන ලබාදෙන්න කියලයි. ඒ වගේම වසර හැත්තෑපහක් අපේ ජනතාව දේශපාලනඥයන්ට රැවටුණා. නැවත චාටු බස්වලට රැවටෙන්න එපා. ඉදිරියේ එන මැතිවරණයේදී සියලූ පුරවැසියන් සිහි බුද්ධියෙන් යුක්තව නායකයෙක් තෝරාපත් කරගැනීමට කටයුතු කරන්න ඕනෑ…’’ උන්වහන්සේ කියන කතාවට සමාන කතාවක් නීතිඥ විජිත සී. පුංචිහේවා මහතා ද අප සමඟ පැවසීය.

නීතිඥවරයෙක්

‘‘යුද ජයග‍්‍රහණයත් සමග අපේ මිනිස්සු මහින්ද මහත්තයට දේවත්වයෙන් සැලකුවේ. මහින්ද මහත්තයා හොරා කෑවත්, පවුලේ අය හොරා කෑවත් රටේ මිනිස්සු ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. ඒ නිසා රාජපක්‍ෂවරු රිසි සේ ඒවා කර ගත්තා.

බලය ආරක්‍ෂා කරගැනීමට, නැවත බලය ලබාගන්න රට තුළ ජාති භේද, ආගම් භේද ඇති කළා. ගෝඨාභය රාජපක්‍ෂ රුවන්මැලිසෑ පුදබිමේ සිට ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනකොට ‘මම පත් වුණේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන්’ කියලා කිව්වා. එහෙම කියනකොට අන්‍ය ආගමික ජනතාවගේ හිත්වල ඇතිවන වේදනාව ගැන රාජපක්‍ෂලා හිතුවේ නෑ. ඒ වගේම 1977 අවුරුද්දේ ජේ. ආර්. ජයවර්ධන විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දුන්නේ අපනයන වෙළෙඳාම දියුණු කරන්න. ඒත් අද ඇඟලූම් කර්මාන්තවලට අවශ්‍ය නූල් ටිකත් පිටරටින් ආනයනය කරනවා. ටොපි, ලොසින්ජරත් පිටරටින් ගේනවා. එහෙම රටක ඩොලර් ඉතිරි වෙයිද? ඒ වගේම රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න ස්ථිර වැඩපිළිවෙළක් නෑ. කර්මාන්ත ආරම්භ කිරීමට වැඩපිළිවෙළක් නෑ. මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච හැටියේ බදු අඩු කරලා ගැති ව්‍යාපාරිකයන්ට රිසි සේ ආනයන වෙළෙඳාම කරගෙන යන්න ඉඩ දුන්නා. අන්තිමේ බංගලාදේශය ඩොලර් 10 ට ගත්ත කොරෝනා එන්නත අපි ඩොලර් 15 ට ගේනවා. ඒ වගේම මේ වෙනකොට රාජ්‍ය ආදායමෙන් 70% ක් වියදම් කරන්නේ එක පවුලක්. එවැනි කාබාසිනියාකාර පාලන ක‍්‍රමයක් තුළ ඩොලර් සංචිත සිඳී යෑම අරුමයක් නෙමෙයි. අන්තිමේ ඉන්ධන, ගෑස්, විදුලිය නැති වෙනකොට තමයි රටේ ජනතාවට ආණ්ඩුවේ කෙරුවාව ගැන තේරෙන්න පටන් ගත්තේ. කොළඹ මහල් නිවාසවල මධ්‍යම පාන්තික ජනතාවට තමයි මේ ගැටලූව මුලින්ම දැනුනේ. ඒ මිනිස්සු තමයි මුලින්ම පාරට බැස්සේ. මේ වෙනකොට රටේ සමස්ත ජනතාව ආර්ථික පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්නේ.

ජනතාවගේ ගැටලූවලට රජයෙන් විසඳුම් නොලැබෙනකොට හෙට අනිද්දා උද්ඝෝෂණ ප‍්‍රචණ්ඩකාරි ස්වරූපයක් ගන්න පුළුවන්. මේ රට ලේ විලක් වෙන්න පුළුවන්. මම ජනතාවගේ ඉල්ලා සිටින්නේ එතැනට තල්ලූ වෙන්න එපා කියලා…’’ නීතිඥ පුංචිහේවා මහතා කියන ආකාරයට ලේ විලක් නොව තව සතියක් දෙකක් යනකොට මෙරට විසාලා නුවරට එහා යන තත්ත්වයක් නිර්මාණය වීමේ පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා අප සමඟ පැවසුවේය. ඔහු ඒ බව පවසා සිටියේ පසුගිය 06 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති වෛද්‍යවරුන්ගේ උද්ඝෝෂණය අතරතුරදී ය.

වෛද්‍යවරයෙක්

වෙනසක් ඉල්ලන මහ පාරේ අරගලය…

‘‘කොවිඞ් අර්බුදය සමග මූල්‍ය අර්බුදය ඉස්මතු වෙනකොට ඖෂධ අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි දැනුම් දුන්නා. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇහුම්කන් දුන්නේ නෑ. මේ වෙනකොට අත්‍යවශ්‍ය ඖෂධ සහ ජීවිත රැකගැනීමට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග පහක පමණ හිඟයක් තියෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාම අපිව දැනුවත් කළා. එම සාකච්ඡාවේදී රටේ සත්‍ය තත්ත්වය එතුමා අපිට පැහැදිලි කළා. ඒ කතාව ඇහෙනකොට මගේ හිතටත් බියක් දැනුණා. ඇමැතිවරයා කියපු ආකාරයට මේ වසරේ පළමු කාර්තුවට ඖෂධ මිලදීගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 18 ක මුදලක් අවශ්‍යයි. ඒ මුදල ප‍්‍රමාණවත්ව නොලැබීම නිසා මේ වසරේ මුල් කාර්තුවේ ඖෂධ ටිකවත් ප‍්‍රමාණවත්ව ආනයනය කරගැනීමට නොහැකි වෙලා තියෙනවා. දැන් මුදල් ලැබිලා ඉල්ලූම් කළත් ඖෂධ ලැබෙන්න ටික දවසක් යනවා. ඒ නිසා සති දෙකකින් පසුව එන කාලයේදී විශාල ඖෂධ අර්බුදයකට අපිට මුහුණදෙන්න වෙනවා කියන කාරණය චන්න ජයසුමන මහතා සනාථ කළා…’’

‘‘මේ සෞඛ්‍ය ආපදා තත්ත්වය ගැන රටට කියන්න කියලා අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියා. සෞඛ්‍ය ආපදා තත්ත්වයක් තියෙන බව ප‍්‍රකාශයට පත් කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීම් කළා. එහෙම ප‍්‍රකාශයක් කළොත් අපිට අන්තර්ජාතික සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහයෝගයක් හෝ ලබාගන්න පුළුවන්. ඒත් මේ වෙනකම් සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ප‍්‍රකාශයක් නිකුත් කළේ නෑ. මේ වෙනකොටත් සමහර රෝහල්වල නිර්වින්දන ඖෂධ තියෙනවා. සිහිය ගන්න ඖෂධ නෑ. හෘදයාබාධ හැදිලා එන රෝගීන්ට දිය යුතුම ඖෂධය සමහර රෝහල්වල නෑ. සර්පයෙක් කාලා එන කෙනාට දෙන්න බෙහෙත් නෑ. විදුලිය නැතිව රුධිරය කල් තබාගන්න බැරි තත්ත්වයට පත් වෙලා. සමහර රෝහල්වල සැත්කම් කරගෙන යනකොට විදුලිය විසන්ධි වෙනවා. ඞීසල් නැති නිසා ජෙනරේටර්වත් ක‍්‍රියාත්මක කරගන්න බෑ. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝහලට යන්න වාහනේට තෙල් ටික දාගන්න පෝලිම්වල ඉන්න වෙලා. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සඳහා තියෙන අයිතිය තහවුරු කරගැනීමට රජය අසමත් වෙලා තියෙනවා. තියෙන ඖෂධ ටිකත්ව හරි හැටි කළමනාකරණය කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ වෛද්‍යවරුත් අසරණයි. රෝහල්වලට එන රෝගීනුත් අසරණයි. ඒ නිසා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විදිහට ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රියාදාමය අපි පටන් ගත්තා. එහෙම නොවෙන්න අමාරුවේ වැටෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය…’’ රෝහලට යන රෝගීන්ට බෙහෙත් ටික නැතිවීම අතිශය බරපතළ තත්ත්වයකි. අකැමැත්තෙන් හෝ ඒ ඛේදවාචකයට තව සති දෙකකින් පුරවැසියන් විදිහට අපට මුහුණදීමට සිදුව ඇත. ඒ නිසා සෞඛ්‍ය ආපදා තත්ත්වය ගැන විස්තරාත්මකව වෙනත් ලිපියකින් සාකච්ඡා කළ යුතුය.

එමෙන්ම ඉපදුණු රට අසතුටුදායක නම් අපට කළ හැකි කිසිවක් නැත. එහෙත් බෙහෙත් නැතිව අප මිය යන රට විසාලා මහනුවරක් නම් එහි වගකීම අපට තිබේ. අප මිය යා යුත්තේ ඉපදුණු රටට වඩා හොඳ දේශයක් අනාගත පරපුරට දායාද කිරීමේ හවුල්කරුවෙක් ලෙස ය. රටේ ජනතාව පාරට බැස උද්ඝෝෂණ කරන්නේ ඒ යුතුකම ඉටු කිරීමට ය. හෙටක් ගැන යම් බලාපොරොත්තුවක් තැබිය හැක්කේ ජනතා ජයග‍්‍රහණය මත පමණි.

තරංග රත්නවීර
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment