පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තාවෝ අද තරග බිමට

79

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත තරගාවලියේ තෙවන තරගය අද (21දා) පෙ.ව. 10.00 ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ ප්‍රථම තරගයෙන් කඩුලු 6ක ජයක් ද, දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් ද අත්කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ වන විට තරගාවලියේ ජය තමන් සතුකර ගැනීමට සමත්ව සිටිති.

ඒ අනුව අද තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් පිටියට බසින අතර එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුවහොත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් පළමු පූර්ණ තරගාවලි ජයග්‍රහණය බවට මෙය පත් වේ.

මෙම තරගාවලියට පෙර 2008 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවන් මෙරට කළ සංචාරයකදී එක්දින තරග 5ක් පවත්වා ඇති අතර එම තරගාවලිය 3-2 දෙකක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති අතර ඉන් පසු කිසිදු තරගාවලි ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවූ අතර මේ වන විට ස්ථානයක් ඉදිරියට පිවිසීමට පැවැති තරග දෙකේ ජයග්‍රහණය ඉවහල් විය. ශ්‍රේණිගත ලකුණු 88 ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි 7වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එම ලකුණු ගණන 95 දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති අතර, ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානයට පැමිණීමට ද හැකිවිය. ලකුණු 96ක් ලබා 5වැනි ස්ථානයේ පසුවන නවසීලන්ත කණ්ඩායමට එක ලකුණක් පසුපසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිටීම ද විශේෂත්වයකි.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment