පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ – ගිනිසිළුව ශ‍්‍රී ලංකාවට පැමිණේ

165

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය. ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා ඇතුළු පිරිස ගිනිසිළුව සමග

එංගලන්තයේ බර්මිංහැම් නුවර එළඹෙන ජුලි මස 28 දින සිට අගෝස්තු මස 08 දින දක්වා පැවැත්වීමට නියමිත 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට පූර්වගාමීව, ලොව පුරා එම සංගමයට අයත් රටවල් 72 ක් පුරා රැගෙන යන  ‘ගිනිසිළුව’ ඊයේ (03 වෙනිදා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ‍්‍රී ලංකාවට රැගෙන පැමිණ තිබුණි.

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට මාලදිවයින ඔස්සේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 506 දරන ගුවන් යානය මෙම ගිනිසිළුව ඊයේ දින පස්වරු 01.53 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන පැමිණ තිබුණි.

ගිනිසිළුව පිළිගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය සාරා හල්ටන්, ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම්, එහි මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, යෂ්ටි කළමනාකරු චන්ද්‍ර ලියනගේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

ඉන්පසුව මෙම ගිනිසිළුව කොළඹ නිදහස් චතුරස‍්‍රය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා මධ්‍යස්ථානය සහ ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය වෙත රැුගෙන යෑමට නියමිත අතර එම ස්ථානවලදී විවිධ උත්සව සංවිධානය කර ඇත.

ඊට පසුව අද දින (04 දින) මහනුවරටත් හෙට (05) හැටන් වෙතත් රැුගෙන යන මෙම ගිනිසිළුව අනිද්දා (06 දින) ආපසු රැුගෙන යෑමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment